දුවේ පුතේ මතින් මිදී දහමෙන් සැනසීම ලබන්න – පෝදා සිතුවිලි

376

මනුෂ්‍ය ආත්මයක් ලබන්නට අප සැම සංසාරේ සැරිසරන තාක් කල් අප‍්‍රමාණ පිං කුසල් කළ යුතුය. ඉතින් දුවේ පුතේ අපි මේ තරම් පිං කුසල් කර මනුෂ්‍ය ආත්මයක් ලබා ඉපදුණු පසු දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය බීමට ඇබ්බැහි වන්නේ නම් ඔබ මෙලොවට බිහිකළ ඔබේ අම්මා, තාත්තා මොන තරම් දුක් වේදනාවට පත්වන්නේ ද? ඔබ මෙලොවට බිහිකර ලේ කිරිකර දී මළ මුත‍්‍රා පවා අදිමින් ඔබ පිරිසිදු කර, ඔබ අසනීපයක් වූ විට අම්මයි තාත්තයි ? නිදි නොලබා ඔබ සුවය ලබන තුරු මොන තරම් දුක්වේදනා විඳ ඇතිද?

ඔබට බහ තේරෙන වියේදී අම්මා ඔබට කවා පොවා ඔබව පාසල වෙත ගෙන ගොස් උගත් හොඳ ළමයෙක් කරන්නට මොන තරම් නම් කැපකිරීමක් කළාද? තාත්තා රැුකියාවට ගොස් ඔබ වෙනුවෙන් මුදල් හොයන්න මොන තරම් දහදිය මහන්සිය දැරුවාද? අම්මා ඔබ පාසල වෙත ගෙනගොස් ඔබ එනතුරු කුසට ආහාරයක් පවා නොගෙන පාසලෙන් ගෙදර එනතෙක් බලා සිටියාය. මොන තරම් නම් වෙහෙසක් දුකක් වින්ඳද? පාසලෙන් ගෙදර එන අතර අම්මා අතේ මුදල් නැති වුවත් මුදල් තියෙන ප‍්‍රමාණයෙන් ඔබට මොනවා හෝ රස කැවිලි අරන් දී එය ඔබ රසවිඳින හැටි බලා අම්මාගේ කුසගිනි පවා තුනී වී ගොස් තිබුණේ ඔබට තියෙන ආදරය නිසා නොවේද?

රැුකියාවට ගිය තාත්තා කිරිතේ එකක් බොනවා වෙනුවට විවේකීය වේලාවේ කහට තේ එකක් පමණක් බී ඔබ වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න තාත්තා මොන තරම් නම් ඔබගේ කටයුතු සඳහා මුදල් ඉතිරි කර ඔබට ආදරය දැක්වූයේද?

අම්මයි තාත්තයි මේ හැම දේම කළේ ඔබ උගත් පිංවන්ත හොඳ දරුවෙක් කර හොඳ රැුකියාවක් කරනවා දකින්නයි. ඉතින් පුතේ ඔබ ඇයි ඔබේ අම්මාගේ තාත්තාගේ බලාපොරොත්තු නැති කරමින් මත්ද්‍රව්‍යවලට පෙළඹෙන්නේ. පුතේ ඔබ ඇබ්බැහි වීම් නැති කරන්න. ඔබේ දුක් වේදනා නැති කරගන්නට අම්මා වැනි වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් පුළුවන් බව ඔබ නොදන්නවා ඇති. පුතේ අම්මා වැනි වූ බුදු පියාණන් වහන්සේ දැනට අවුරුදු 2500කට ඉහතදී දඹදිව් තලයේ වැඩ සිටින කාලේ අංගුලිමාල, සෝපාක, පටාචාර වැනි දුකට පත් වූ බොහෝ දෙනෙකුට පිහිට වී ඔවුන් දුකින් මුදවා සසර දුකින් එතෙර කරවීමේ අවබෝධය ලබා දුන්නේය.

ඉතින් පුතේ ඔබ නිතිපතා පන්සලට යන්න. බෝධි සත්ත්ව ගුණ ඇති අපේ හාමුදුරුවරුන්, ඔබ ගිය දහම් පාසලේ පොඩි සාදුලා දහම් පාසලේ ඔබේ බෝසත් යාළුවන් ඔබ එනතුරු තවමත් මග බලා සිටිනවා විය හැකිය. ඔබ පන්සලට ගොස් හාමුදුරුවන්ට ඔබට සිදුවුණු දේ නොසඟවා කියන්න. උන්වහන්සේලා ඔබට මේ දුකින් මිදෙන්න මාර්ගය කියාදෙනු ඇත. පුතේ ඔබ නිතරම පන්සලට යන්න. බුදු පියාණන්ට බුදුවීමට පිටදුන් බෝධිරාජයාණන්ට ඔබට වූ විපත කියා වතාවත් කරන්න. ධාතු වන්දනා කර ධාතුන් වහන්සේලාට වතාවත් කර ඔබව මේ දුකින් මුදවන ලෙස වැද නමස්කාර කර ආයාචනා කරන්න. පුතේ අම්මා සංසාරේ සැරිසරන තාක් කල් ඔබ වෙනුවෙන් හෙලූ කඳුළු මේ මහා සාගරේ මෙනි. තාත්තා සංසාරේ ඔබ වෙනුවෙන් හෙලූ දහදිය කඳුළු ද මේ මහා සාගරය මෙනි. ඉතින් පුතේ ඇයි ඔබ ඔබේ ජීවිතේ දුකට පත් කරගෙන අම්මාගේ තාත්තාගේ සිතට දුක් වේදනා දෙන්නේ. පන්සලේ වැඩ සිටින දේවතාවුන් වහන්සේලාට ඔබ සුවපත් කරන්න යැයි නිතර නිතර යදින්න.

ඉතින් පුතේ ඔබට මේ උතුම් පොහෝ දිනයේ බුදු පියාණන් වහන්සේගේ පිහිටි ආරක්‍ෂාව ලැබේවා. අම්මේ තාත්තේ ඔබේ පුතා මත්ද්‍රව්‍යයට ලොල්වූවෙකු නම් ප‍්‍රතිකාර ලබාදෙන අතරම පන්සලට ගොස් දානමානා දී පුතාට බණ අසන්න සලස්වන්න. දුගී මගී යාචකයන්ට දානය දෙන්නට දරුවාට මඟ පෙන්වන්න. ලොවේ වැඩ සිටින සියලූ දෙවි දේවතාවුන්ට වතාවත් කරන්න. ඔබ සැමට අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව ලැබේවායි පතමි. බුදු සරණයි

සරත් රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment