දුෂ්කරම කාලය  අද නොවේ හෙට

398

අප මෙතෙක් කල් සිතුවේ ඒ ඒ අවස්ථාවලදී අප ගත කරමින් සිටින්නේ වර්තමානයේ අප මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයේ දුෂ්කරම අවස්ථාවට බවය. එහෙත් එය එසේ නොවන බව වැටහෙන්නේ ඊට පසුව ඊටත් වඩා දුෂ්කර තත්ත්වයකට අපට මුහුණ දීමට සිදුවන නිසාය. මෙය දිගින් දිගටම සිදු වී දැන් අති දුෂ්කරම කාලයක් උදා වී ඇත. එනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ඉදිරි සති තුනක කාලය ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉතා දුෂ්කර කාලයකට මුහුණ දීමට ජනතාවට සිදුවන බවයි. ඒ බව මහ මඟ ඉන්ධන පිරවුම්හල් දෙස බලන විට ද පැහැදිලි වන්නකි. තෙල් පෝලිම් විශාල වශයෙන් දික් වී ඇත. ඇතැම් ෂෙඩ්වල තෙල් නැත. එසේ තෙල් නැති ෂෙඩ්වලට තෙල් බවුසරයක් එන වෙලාවක් හරිහැටි දන්නේ ද නැත. එහෙත් මහජනයා තම වාහනය තෙල් පෝලිමක ගාල් කරගෙන පැය ගණන්; දවස් ගණන් දුක් විඳිමින් සිටින්නේ කොයි මොහොතක හෝ එම ඉන්ධන පිරවුම්හලට තෙල් පැමිණෙන තෙක්ය. මේ දක්වා විඳීමට සිදුව ඇති මහජන පීඩා දෙස බැලීමේ දී පෙනෙන්නේ බලධාරීන් කියන දුෂ්කර කාලය ගත කිරීමෙන් පසු ඊටත් වඩා දුෂ්කර කාලයකට සහ පීඩාකාරී තත්ත්වයකට මහජනයාට මුහුණ දීමට සිදුව ඇති බවයි. මුදල් තිබුණත් තෙල්, ගෑස් හෝ ඇතැම් විට වෙනත් භාණ්ඩ (මේ දිනවල සහල්) ද වෙනදා මෙන් මිලදී ගැනීමට හැකියාව නැත. මේ තෙල්, ගෑස් සහ වෙනත් භාණ්ඩ පෝලිම් නැති වන්නේ කවදා ද? මේ දිනවල හැම කෙනෙක්ම පාහේ අසන ප්‍රශ්නය එයයි. එහෙත් රජය පැත්තෙන් හෝ මහ බැංකුව පැත්තෙන් අපට ඒ සඳහා නිසි පිළිතුරක් ලැබෙන්නේ ද නැත.

 ● විදේශ ණය ගෙවීම අත්හිටුවීමෙන් පසු…

 මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ පරිදි ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වන විට විදේශ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිව ගොස් තිබුණි. ඒ වන විට පැවති විදේශ මුදල් සංචිතයෙන් චීන මුදල් හුවමාරු පහසුකම අයින් කළ විට අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පසු පැවති විදේශ ණය හෝ පොලී ගෙවීමට පවා අපට විදේශ විනිමය නොතිබුණි. මේ නිසා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූ අදහස් අනුව අපට පැහැදිලි වූයේ අනිවාර්යෙන්ම විදේශ ණය ගෙවීම පැහැර හැරීමකට රටට මුහුණ දීමට සිදුව තිබුණ බවයි. ‘සොෆ්ට් ඩිෆෝල්ට්’ ද ‘හාර්ඩ් ඩිෆෝල්ට්’ ද යන වචන හරඹ කෙසේ වෙතත් කවරෙක් මහ බැංකු අධිපති ලෙස සිටියත් විදේශ ණය ගෙවීමට අපට විදේශ මුදල් නැත්නම් අනිවාර්යෙන්ම විදේශ ණය ගෙවීම පැහැර හැරීමට සිදුවේ. මේ අනුව රජය විසින් 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම අත්හිටුවන ලදී. මේ බව රටට නිවේදනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී එදින පැවැති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු කී අදහස් අනුව රටට ලැබුණු පණිවිඩය වූයේ විදේශ ණය ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයනවලට මුදල් ගෙවීම යන දෙකම එකවර කිරීම අපහසු බවයි. එය අපට තේරුම් ගත හැකිය. එහෙත් මේ ආර්ථික බලධාරීන්ගේ අදහස් අනුව විදේශ ණය ගෙවීම අත්හිටුවීමෙන් පසු තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමාදයකින් තොරව අපට මුදල් ගෙවීමට හැකිවනු ඇති බව සහ ඒ අනුව පෝලිම් තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවට මහජනයා තුළ යම් අපේක්ෂාවක් ඇති විය. එය එසේ වූයේ නැත. එම විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගෙන දැන් මාස දෙකක් ද ඉක්මවා ගොස් ඇත. එහෙත් අප්‍රේල් 12 දිනෙන් පසු අප විදේශ ණය ගෙවන්නේ නැති වුවත් අත්‍යවශ්‍ය ආනයන මූල්‍යනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීමට තවමත් නොහැකිව ඇත. මේ නිසාම පසුගිය දිනවල රටට පැමිණි ගෑස් සහ දැවිතෙල් නැව්වලට ගෙවීමට ඩොලර් නැතිව ඒවා මුහුදේ දින ගණනක් නවතා තබාගෙන ප්‍රමාද ගාස්තු ගෙවීමට ද අපට සිදුව ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙන දිනයක් ගැන ද අපට තවමත් සිතා ගැනීමට අපහසුය. එතෙක් අපට අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය සපයා ගැනීමට රජයට සහ මහ බැංකුවට නොහැකි වීම නිසා මේ පෝලිම් තත්ත්වය දිගටම තිබෙන අතර ජනජීවිත ඉමහත් පීඩාවට පත්ව ඇත.

 ● අගමැතිගේ ප්‍රකාශය

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (14) සවස විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී විශේෂයෙන් තෙල් සහ ගෑස් සැපයුම පිළිබඳ ඉදිරි තත්ත්වය විස්තර කළේය. අගමැතිවරයා එහිදී මෙසේ සඳහන් කළේය.

 ‘මම ප්‍රකාශ කළ පරිදි මේ සති තුනේ තමයි ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිත් තියෙන්නේ. මේ දුෂ්කරතාව ගැන ගෑස් ලබා ගන්නත් ඉන්ධන ලබා ගන්නත් තියෙන පෝලිම්වලින් පේනවා.’

 ‘ඉන්ධන අපි අඛණ්ඩව ලබා දෙන්න තීරණය කරා. එහෙත් අඛණ්ඩව ලබා දිය හැක්කේ දැනට තිබෙන ඉල්ලීමෙන් සියයට 50 ක් ලබා දෙනවා නම් පමණයි. ඒකෙත් විදුලිබල ඉපයීමට, ප්‍රවාහනයට සහ තවත් අත්‍යවශ්‍ය සේවා ගණනාවකට ප්‍රමුඛත්වය දීල තියෙනවා. මේ අනුව දැන් තියෙන තොග ටික දවස් හතකට යොදවා ගන්න පුළුවන්. ඒත් ඊට පෙර මේ මාසේ 16 වැනිදා (අද) මෙටි්‍රක් ටොන් 40.000 ක් ගේන නැවක් ලංකාවට පැමිණෙනවා. ඒ එක්කම අපි තවත් නැව් දෙකක් එනම් පෙට්‍රල් නැවකුයි ඩීසල් නැවකුයි අපි ලබාගෙන තිබෙන්නේ. මේ අනුව මාසේ අන්තිම වෙනකම් අපි දැනට නිශ්චිතව නැව් ලබාගෙන තිබෙනවා. ඊළඟ මාසෙටත් නැව් දෙකක් ලබාගන්න අපි දැන් ක්‍රියා කරගෙන යනවා. ඊට පස්සේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක අත්සන් කළ පසු අපට මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන තිබෙනවා. ඒත් මේ සියල්ලම අපි දෙන්නේ සියයට 50 ක පදනම අරගෙන තමයි.’

 මේ ප්‍රකාශයට අනුව අප ඉන්ධන සම්බන්ධයෙන් මුහුණ දී සිටින බරපතල ප්‍රශ්නය පැහැදිලි වේ. එනම් ඉන්ධන සැපයුව ද එය ලබාදෙන්නේ ඉල්ලුමෙන් සියයට 50 ක් බවයි.

 ● ඉන්ධන ලබාදෙන ක්‍රමවේදය කුමක් ද?

 ඉන්ධන ලබාදෙන්නේ මෙසේ ඉල්ලුමෙන් අඩක් නම් ෂෙඩ් අසල දින ගණන් තිස්සේ පෝලිම් ගැසී සිටින සාමාන්‍ය ජනයාට ඉන්ධන ලබා දෙන්නේ කෙසේ ද? ඔවුන් බොහෝ දෙනෙක් තම වාහනවලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටින්නේ නිකන් ගමන් බිමන් යෑමට නොව ඔවුන් නිරත වී සිටින රැකියා සහ ආර්ථික කටයුතුවල ප්‍රවාහන අවශ්‍යතා සඳහා ය. මේ නිසා ඉන්ධන නොමැති වීම සහ විදුලිය කැපිල්ල විසින් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට බලවත් අහිතකර බලපෑමක් ඇති වීම වැළැක්විය නොහැකිය. කාටවත් අතනොපා තම දුක් මහන්සියෙන් ජීවත් වූ බොහෝ දෙනෙක්ට තම ජීවන වෘත්තිය පවා කර ගැනීමට නොහැකිව ඔවුන් බලවත් අසරණභාවයට පත්ව ඇත. අනිත් අතට ඉන්ධන ප්‍රශ්නය නිසාම මේ වන විට බස් රථ ධාවනය ද බෙහෙවින් සීමිත වී ඇත. බොහෝ බස් රථ ෂෙඩ් අසල ඉන්ධන ලබාගැනීමට ගාල් කර තිබෙනු අපට දැකගත හැකිය. පාරේ අතරින් පතර හෝ පැමිණෙන බසයේ ද අධික මගී තදබදයක් තිබේ. මේ නිසා පොදු ප්‍රවාහන සේවයෙන් ගමන් කිරීම ද බොහෝ දුෂ්කර කටයුත්තක් වී තිබේ. එසේ නම් රජය මේ ප්‍රශ්නයට දෙන විසඳුම කුමක් ද? ඉන්ධන ඉල්ලුමෙන් සියයට 50 ක් පමණක් ලබා දෙන බවට අගමැතිවරයාගේ ප්‍රකාශය අනුව සාමාන්‍ය ජනයාට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය කුමක් ද යන්න ගැන රජය විසින් විශේෂයෙන් බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් වහාම ජනයාට පැහැදිලි කිරීමක් කළ යුතු වේ. නැතහොත් ඒ මිනිසුන් පෝලිම්වල දින ගණන් සිටිමින් තව තවත් අසීමිතව පීඩාවට පත්වනු ඇත. රජයේ විසඳුම් කෙසේ වෙතත් මහජනයා තම ගමන් බිමන් සීමා කරගන්නා අතරම නොයෙකුත් විකල්ප ක්‍රමවේදයන්ට යොමු වීම ද මේ මොහොතේ අවශ්‍ය වනු ඇත. මේ අනුව ඇතැම් අය වැඩි වශයෙන් පාපැදියෙන් ගමන් කිරීමට යොමුව ඇත. ඒ සඳහා නාගරිකව පාපැදි සඳහා වෙන් වූ වෙනම ලේන් ඇති කිරීම ද අවශ්‍ය වේ. නැතහොත් පාපැදියෙන් ගමන් කිරීම ඔවුන්ට ඉතා අනාරක්ෂිත ගමනක් ද වනු ඇත.

 ● ගෑස් නොමැතිකම

 දැනට රටට ගෑස් නැවක් පැමිණ ඇති අතර එහි ගෑස් මෙටි්‍රක් ටොන් 3500 ක් තිබේ. එහෙත් අගමැතිවරයා සඳහන් කළ පරිදි ඒ නැවේ තිබෙන ගෑස් ලබාදෙන්නේ රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ඊට පසුව එන නැව්වලින් මාස හතරකට ගෑස් ලබාගත හැකි බව ද එය ලබා ගැනීමට දින 14 ක් යන බව ද අගමැතිවරයා කීවේය. එසේ නම් සාමාන්‍ය ජනයාට මේ නැවෙන් පැමිණි ගෑස් මිලදී ගැනීමට ඉතාම අපහසු වනු ඇති බව ඉන් පැහැදිලි වේ. එසේම ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරියේදී ගෑස් සැපයීම් කරනවා නම් සාමාන්‍ය ජනයාට ගෘහස්ථ පරිභෝජනයට අපහසුවකින් තොරව ගෑස් ලබාගත හැකි වන්නේ කෙසේ ද සහ කවදා ද යන ප්‍රශ්නය ද මතු වේ. මේ සඳහා වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට අප කියා සිටින්නේ ඔබ විසින් මේ ගැන මහජනයාට කරුණු පැහැදිලි කර යම් වැඩපිළිවෙළක් යොදන ලෙසයි. එසේම මිල අධික වීම නිසා ඉන්ධන මෙන්ම මේ ගෑස් ප්‍රශ්නය සඳහා ද අපට යම් විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවනු ඇත. ඒ සඳහා දර ළිප්, දර වායු ළිප් සහ පොල්කටු අඟුරු ළිප් වැනි දේ භාවිතයට යොමු වීම මගින් අපට මේ ප්‍රශ්නය කිසියම් දුරකින් සැහැල්ලු කරගත හැකි වේ. මෙහි දී අප කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලා සිටින්නේ නාගරික ජනයාට ද පහසුවෙන් භාවිත කළ හැකි වියදම අඩු එසේම යම් ඉහළ ප්‍රමිතියකින් යුතු ළිපක් හඳුනාගෙන එය රටට හඳුන්වා දී එය මහා පරිමාණයෙන් නිපදවා මහජනයාට මිලදී ගැනීමට අවස්ථාව ඇති කරන ලෙසයි. ඒ සමගම පොල් කටු අඟුරු නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ද දිරි ගැන්විය හැකිය. ආණ්ඩුවට බැණ බැණ ගෑස් පෝලිමේම සිටින්නේ නැතුව මෙවැනි නොයෙකුත් විකල්ප ක්‍රියාමාර්ග වෙත ද යොමු වීමෙන් අප මුහුණ දෙන දුෂ්කර තත්ත්වය යම් මට්ටමකින් හෝ අපට සැහැල්ලු කරගත හැකිවනු ඇත. කෙසේ වෙතත් රජයේ බලධාරීන් පසුගිය කාලයේ ප්‍රකාශ කළ පරිදි ජනයා මුහුණ දෙන ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳීමට නොහැකිව ඇත.

 ● ඉදිරි සංචාරක සැලසුම්

 ඉදිරි මාස 6 සඳහා ඉන්දියාවෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජුනි 14 වැනිදා සංචාරක නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ එදින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අගමැතිවරයා මේ උපදෙස් දුන්නේය. එසේම පලාලි ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත. මෙහිදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ මේ වසරේ (2022) ඉතිරි කාලය සඳහා සංචාරකයින් ලක්ෂ 8 ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ඇස්තමේන්තුගත ආදායම ඩොලර් මිලියන 800 ක් බවත්ය. ඩොලර් බිලියන 3.5 ක අපේක්ෂිත ආදායමක් සහිතව 2025 වන විට සංචාරකයින් මිලියන 2.5 ක් පමණ ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බැවින්, ඉහළ වියදම් සහිත සංචාරකයන් මිලියන 1.5 ක් පමණ ආකර්ෂණය කර ගැනීමට දිගුකාලීන සැලසුම් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරක අංශයේ සියලු පාර්ශ්වකරුවන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය. ඒ සඳහා රැස්වීම්, ප්‍රවර්ධන, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන අංශ ඇතුළත් කරන ලෙස ද අගමැතිවරයා ඉල්ලා තිබේ. ඇත්තවශයෙන්ම රටට විදේශ විනිමය උපයා ගැනීමේ දී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් සමග එක්ව සාමූහිකව කටයුතු කිරීම අවශ්‍ය වේ. පසුගිය කාලයේ සංචාරක බලධාරීන් සහ සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සහ සංචාරක සංවිධාන අතර නොයෙකුත් ගැටුම් තිබිණි. එකිනෙකාට ලියුම් ලියමින් චෝදනා කර ගැනීම ද සිදු විය. මේවා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර රටට වැඩිපුර ඩොලර් උපයා ගැනීමට බාධාකාරී තත්ත්වයන්ය. දැන් ඒ බාධා ඉවත් වී තිබේ. මේ නිසා නව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද අප ඉල්ලා සිටිනුයේ රජය වශයෙන් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සලසමින් සංචාරක කර්මාන්තයේ සෙසු සියලුම පාර්ශ්වකරුවන් සමග එක්ව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වේගයෙන් කටයුතු කරන ලෙසයි.

 ● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment