දුෂාන් හේමන්තට අද හම්බන්තොටින් වසන්තය උදා වන ලකුණු

326

මතීෂත් දොරටුව අබියස

දිමුත් වසර දෙකකින් එක්දින පිටියට

දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානය සමග නියමිත එක්දින තරගාවලියේ ප්‍රථම තරග දෙකට ක්‍රීඩා නොකරන හෙයින් අද (02 වැනිදා) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගයේදී දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතී.

තරගය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද ඒ බව සනාථ කරමින් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරග 3 කින් යුතු තරගාවලියේ පළමු තරගය අද උදෑසන 10.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර තරග තුනම එම ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වේ.

ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිත වේ. 2014 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින වංශ කතාවේ අටවෙනි තරගය අද ආරම්භ වන අතර ඊට පෙර පැවැති තරග 7 තුළදී ශ්‍රී ලංකාව තරග 4ක් ද ඇෆ්ගනිස්ථානය තරග 2 ක් ද ජයග්‍රහණය කර ඇත. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

තරගාවලිය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා මෙම තරගාවලිය හොඳ සූදානමක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව එක් එක් ක්‍රීඩකයන් ආදේශ කරමින් ශ්‍රී ලංකාව මෙම තරග 3 සඳහා ක්‍රීඩා කිරීමට සූදානමකින් පසුවන බව අනුමාන කළ හැක. අයිපීඑල් ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ වනිඳු හසරංග ද තෙවන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර්තා වේ.

ආබාධ තත්ත්වය හේතුවෙන් වනිඳු සහභාගි වෙන්නේ නැහැ. ඒ නිසා දුශාන්ට හොඳ අවස්ථාවක් තිබෙනවා පළමු තරගයට ක්‍රීඩා කරන්න. බොහෝ දුරට ඔහු ක්‍රීඩා කරයි. ඒ වගේම මතීෂ පතිරණටත් අවස්ථාවක් තිබෙන බව කියන්න පුළුවන්. ඔහු 17 න් පහළ කණ්ඩායමේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කළා. අයිපීඑල් තරගාවලිය සඳහා මතීෂ ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ඔහු ලබා ගත් අත්දැකීම් මතයි. අයිපීඑල් ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවට වඩා හයිලයිට් වෙන්න තිබෙන අවස්ථාව වැඩියි. මතීෂ අප සමඟ දිගටම සිටි ක්‍රීඩකයෙක්. නවසීලන්ත සංචාරයේත් ඔහු අප සමග හිටියා. එහි පන්දු වාර විස්සයි විස්ස තරග සඳහා මතීෂ ව යොදා ගන්න නොහැකි වුණේ ඔහුට කොවිඩ් වැළඳීම නිසයි.”

මතීෂ ට අද අවස්ථාව උදා වුවහොත් ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු ජාත්‍යන්තර එක්දින තරගය බවට එය පත් වේ.

මෙම තරගාවලිය සඳහා වසර දෙකකට පමණ පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කැඳවා තිබේ. ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2021 වසරේ මාර්තු මාසයේ දී ය.

“ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න දෙදෙනාගේ අත්දැකීම් මේ තරගාවලියේදී අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔවුන් දෙදෙනා ගේ සහය අපට ඉතා අවශ්‍යයි. ඔවුන්ගේ පැමිණීම කණ්ඩායමට ලොකු ශක්තියක්. ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත සංචාරයේදීත් අපත් සමඟ සිටියා. දිමුත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස අත්දැකීම් බහුලයි. පසුගිය කාලයේ අපි තරුණ ක්‍රීඩකයන් වෙත වැඩි අවධානය යොමු කිරීම නිසා ඔවුන් දෙදෙනාගේ සේවය අපට අහිමි වුණා.”

ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්ට පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පළමු එක්දින තරග දෙක අහිමි වී තිබෙන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

“මං හිතන්නේ නැහැ ඔහු නැති වීම අපට එතරම්ම වාසියක් කියලා. මොකද ඔවුන්ට ලෝක මට්ටමේ තවත් දඟ පන්දු යවන්නන් තිදෙනෙක් ඉන්නවා. මොහොමඩ් නබී, නූර් අහමඩ් සහ මුජිබර් දක්ෂ ලෙස පන්දු යවනවා. ඔවුන්ගේ දඟ පන්දු බලඇණිය ශක්තිමත්.

හම්බන්තොට ක්‍රීඩාංගණයේ තණතීරුව අලුත් එකක්. අපි මෙහි වැඩිපුර ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරලා නැහැ. වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමග තරගයට අවතීර්ණ වීම තමයි බලාපොරොත්තුව.”

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment