දූවිල්ලෙන් කරදරද? මෙන්න වවනවනම් ගස් !

310

ආහාර මෙන්ම වාතය මූලික අවශ්‍යතාවයක් වුවත්, වාතය දූෂණයවීම නිසා මෙම මූලික මිනිස් අවශ්‍යතාවය ද අද දවසේ දැඩි තර්ජනයකට ලක්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතක දී සිදුකළ පර්යේෂණ අනුව, ලෝක ජනගහනයෙන් ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් සෑම වසරක දීම වාතය දූෂණය වීම නිසා කුමන ආකාරයේ හෝ ආබාධිත තත්ත්වයට පත්වෙති.

ඉතා කුඩා ඝන කොටස් සහ දියර බින්දු වායු ගෝලය සංයුතියෙහි දක්නට ඇත. එහි ඇති මෙම ඝන කොටස් අතර වැලි, සියුම් දූවිලි, අලු, මල් පරාග, සහ දුම් ඇතුළත්ව ඇත. බලශක්ති උත්පාදනය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා ද අකුණු, කුණාටු, උදම් රළ වන සහ තණබිම් ගිනි ගැනීම් සහ ගස්වැල්වලින් ද මෙම අපද්‍රව්‍ය වායු ගෝලයට එකතුවෙයි. පරිසරය දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලයේ ඇති දූෂිත දූවිලි වායු අංශු අප හුස්ම ගන්නාවිට නාසය, ශ්වාසනාළය හරහා ගමන්කර පෙණහැල්ලේ තැන්පත් වෙයි. මෙලෙස අප හුස්ම ගන්නා දූවිලි අංශු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනු ලැබේ.

ඒ, මයිකො මීටර් 2.5 ට වඩා කුඩා දූවිලි අංශු සහ මයික්‍රො මීටර් 10 ට වඩා කුඩා දූවිලි අංශු වශයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් ගැනීම්වලට අනුව ලෝකයේ නාගරික ප්‍රදේශයන්හි දශලක්ෂ 800 කට වැඩි ජනතාවක්, මෝටර් රථ ඉන්ධන දහනයෙන් නිකුත්වන අප වායුන්ගේ අනතුරුදායක තත්ත්වයට මුහුණ දෙති.

ශ්‍රී ලංකාවේද පරිසර දූෂණය මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් වන ප්‍රධාන සාධාකයක් බවට පත්වෙමින් පවතින අතර මෝටර් රථ වලින් බැහැරවන දුම මෙම පරිසර දූෂණයෙහි එක් කොටස්කරුවකු බවට පත්ව ඇත.

කාර්ය බහුල කාලපරාසයන් තුළ දිගු වාහන පෝලිම් ඇතිවීම , අධික මෝටර් රථ ගහනය, වාහන නඩත්තුවට අඩු ප්‍රමුඛතාවයක් ලබාදීම එයට හේතුවන අතර, කම්හල්වලින් හානිදායක සහ අයෝග්‍යාකාරයෙන් සිදුවන බැහැර කිරීම් නිසා නාගරික ප්‍රදේශවල වායු දූෂණය ඉහළ අගයක් ගෙන ඇත.

දූවිල්ලෙන් කරදරද? මෙන්න වවනවනම් ගස් !

නිවාස හා ගොඩනැඟිලි ආවරණය වන හරිත තීරයක් ලෙස මහා මාර්ග දෙපස නාගරික වෘක්ෂලා වගාකිරීමෙන් පරිසර දූෂණය නිසා සිදුවන අයහපත් බලපෑම් කිසියම් ක්‍රමයකින් වැළකීමට හැකි බව අද පැහැදිලිවී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ, මෙලෙස නාගරික වෘක්ෂ රෝපණය මගින්, වාර්ෂික පරිසර දූෂණය මෙටි්‍රක් ටොන් හැත්තෑ එක් දහසකින් අඩුකර ගැනීමට හැකිවී ඇත. චීනයේ බීජිං නගරයේ මධ්‍යම කොට්ඨාසයේ නාගරික රුක් රෝපණය නිසා, වාර්ෂික පරිසර දූෂණය මෙටි්‍රක් ටොන් එක්දහස් හයසිය එකකින් අඩුකර ගැනීමට හැකිවී ඇත.

වයඹ විශ්වවිද්‍යාලයේ උද්‍යාන විද්‍යාව සහ භූමි අලංකරණ දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ, කථිකාචාර්ය මහාචාර්ය කපිල යකන්දාවල මහතා පවසන්නේ සෑම ශාකයකට ම වාතයේ ඇති දූවිලි අංශු රඳවාගෙන පිරිසිදු වාතය ලබාදීමේ හැකියාව තිබුණත් සමහර විශේෂ ශාකවලට එම හැකියාව වැඩිපුර ඇති බවය.

දූවිලි අංශු වැඩිපුර රඳවා ගැනීමට විශේෂ හැකියාව ඇති ශාක වර්ග හඳුනාගෙන, ඒවා වගා කිරීමෙන් වායු දූෂණයෙන් සිදුවන අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකි බව මහාචාර්ය කපිල යකයන්දාවල මහතා පවසයි.

අපි නාගරික අලංකාරණයට සේම, උද්‍යාන අලංකරණයටත් බොහෝවිට රෝපණය කරන්නේ මල් පිපෙන ශාක, මල්වල වර්ණය ගැන සැලකිලිමත් වෙනවා. එසේ නැතහොත් ශාක පත්‍රයේ අලංකාරය පිළිබඳව සැලකිලිමත් වෙනවා. බොහෝවිට ශාකයකින් ලබාගත හැකි වෙනත් වාසි ගැන සැලකිලිමත් වෙන්නෙ නැහැ.” ආචාර්ය කපිල යකන්දාවල මහතා පවසන්නේ වර්තමානයේ බොහෝ දෙනා උද්‍යාන අලංකරණයේ දී සැලකිලිමත් වන්නේ මෙම පොදු කරුණු ගැන පමණක් බවය.

මෙනිසා ම ඔහු දූවිලි අංශු වැඩියෙන් රඳවා ගන්නා ශාක පිළිබඳව දිගු කාලයක සිට පර්යේෂණ කටයුතුවල නිරත විය. මෙහිදී ඔහුට වයඹ විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව සහ භූමි අලංකරණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර එරන්දි විජේසිංහ ද සහාය විය. පත්‍රවල නටුවෙහි දිග, පත්‍රවල තිබෙන ක්‍ෂේත්‍රඵලය සහ පත්‍ර පිහිටන ආකාරය, පත්‍ර නිර්මාණය වී ඇති ස්වභාවය සහ, බූව පිහිටා ඇති ස්වභාවය, බූවෙහි දිග, බූව පිහිටා ඇති ප්‍රමාණය හෙවත් ඝනත්වය ආදී කරුණු නිසා පත්‍රවල ඇති පරිසරයේ දූවිලි අංශු රඳවා ගැනීමේ හැකියාව එකිනෙකට වෙනස්වන බව මහාචාර්ය කපිල යකන්දාවල පවසයි. විශාල පත්‍ර, කෙටි නටු, පත්‍ර, වියන ඝනව පිහිටීම, දිග බව ඇති සහ බෙදුන බූව ඇති ශාක පත්‍රවල දූවිලි අංශු වැඩියෙන් රඳවා ගැනීමේ හැකියාව ඇත.

දූවිල්ලෙන් කරදරද? මෙන්න වවනවනම් ගස් !
ආචාර්ය කපිල යකන්දාවල

වාතයේ ඇති දූවිලි වැඩියෙන් රඳවා ගැනීමේ ශක්‍යතාවය වැඩි ශාක පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයේ දී ශාක වර්ග නවයක් පිළිබඳව ඔහුගේ විශේෂ අවධානය යොමුවූ අතර එයින් ශාක වර්ග තුනක් වාතයේ ඇති දූවිලි වැඩි වශයෙන් රඳවා ගැනීමේ හැකියාව ඇති බව නිගමනය කළේය.

මෙහිදී ඔහුගේ අවධානය වැඩියෙන් යොමු වූයේ Helicteres isora (හෙලික්ටරිස් ඉසෝරා) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන “ලීනියා” යන දේශීය ශාකය පිළිබඳවය.

බොහෝ ඈත අතීතයේ සිට ලාංකිකයින් මෙම ලීනියා ශාකය විවිධ කටයුතු සඳහා උපයෝගි කර ගෙන ඇත. මෙම ශාකයේ ඉතාමත් ශක්තිමත් පට්ටය අතීතයේ ලණු ඇඹරීම සඳහා භාවිත කර ඇත. එමෙන්ම සිංහලයන් අමුඩය ගැසීමේ දී ඉණ වටා බැඳගන්නා දියලණුව සඳහා භාවිත කර ඇත්තේ ද ලීනියා පට්ටයෙන් සකස්කර ගන්නා ලද ලණුවකි. හරකුන්ගේ නාසය මැදින් යැවීම සඳහා ලීනියා පට්ටයෙන් සකස් කරගන්නා ලද ලණුවක් භාවිත කිරීමට ද කුඩා කුරුණි පෙට්ටි සෑදීමට ද මෙම ලීනියා පට්ට අපේ ආදී මුතුන් මිත්තන් භාවිත කර ඇත.

දඹානේ වන්නිය ලත්තැන්ගේ නිවෙස්වල වරිච්චි බිත්ති සඳහා රාමුව සකස් කිරීමේ දී ඒවා එකිනෙක ගැටගසා ගැනීමට ඔවුන් විසින් ලීනියා ශාකය භාවිත කර ඇත. එම නිවෙස්වල වහලය සඳහාච ලීනියා කෝටු සහ ලීනියා පට්ට උපයෝගි කරගෙන ඇත. පොදුවේ ගත්කළ අපේ රටේ අතීතයේ බොහෝ අය නිවාස ඉදි කිරීමේ දී එලෙස ලීනියා ශාකය භාවිත කර ඇත.

තෙත් කලාපය, වියළි කලාපය අතර මැදි කලාපය යන දේශගුණික කලාප තුනෙන්ම හොඳින් වැවෙන ලීනියා මීටර් 4 – 5 පමණ උස යන ශාකයකි.

නොවැම්බර් සහ පෙරවාරි කාලයේ දී රතුපාට සහ දම්පාට මල්, ලීනියා ශාකයේ විකසිතව තිබෙනු දක්නට ඇත. මෙම මල්වල, පැණි බෙහෙවින් ඇති නිසා, පැණිකුරුල්ලන් බහුලව ලීනියා ගස්වෙත ආකර්ශනය වෙයි. එසේම මල් පුබුදින කාලයේ අලි ඇතුන් ද මෙම ශාකය අනුභවය සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ මල්වල ඇති පැණි නිසා ය.

ලීනියා ශාකයේ පත්‍රවල නටුව දිග නැත. එනිසා ම ඝන වියනක් ලෙස පත්‍ර පිහිටා ඇත. පත්‍රය දෙපැත්තෙහි හිම බූව පිහිටා ඇත. මෙම බූව දිග වන අතර, බූව කෙළවර දෙකට බෙදී ඇත.

දැනට උද්‍යාන අලංකරණ ශාකයක් වශයෙන් භාවිත කරනු ලබන ආනයනික ශාකයක් වූ ඇකලිෆා ඉන්ෆනො ද Acalypha inferno එලෙසින් දූවිලි වැඩිපුර රඳවා ගන්නා ශාකයක් ලෙස මහාචාර්ය කපිල යකන්දාවල මහතා විසින් හඳුනාගෙන ඇත. දම්පාට, රතුපාට, කොළ ඇති මෙම ශාකය මීටර් තුනක් උසට වැඩුණත් බොහෝ දෙනා පඳුරක් ලෙස නඩත්තු කරනු ලැබේ. මෙම පත්‍ර නටු කෙටි අතර දෙපැත්තෙහිම දිග බූව ඇත. ආනයනික උද්‍යාලංකරණ ශාකයක් වූ ඇකලිෆා විල්කිසියානා Acalypha wilkesiana වාතයේ ඇති දූවිලි රඳවා ගැනීමේ වැඩිපුර ශක්තිය ඇති ශාකයකි. රතු, කොළ සහ කහ වර්ණවලින් මෙම පත්‍ර විචිත්‍රවත්ය. පත්‍ර විශාලය. පත්‍ර දෙකක් අතර දුර කෙටිය. දෙපැත්තෙහිම දිග බූවක් ඇත.

මාහාචාර්ය කපිල යකන්දාවල මහතා පවසන්නේ මෙම ශාක වර්ග තුන නාගරිකව වගා කිරීමෙන් එම පරිසරයෙහි ඇති දූවිලි අංශුවලින් සිදුවන අයහපත් බලපෑම බොහෝ දුරට අවම කර ගතහැකි බවයි.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment