දූෂකයා කවුද? පොලිසීය රිෂාඞ්ගේ කේස් එක යට ගහනවාද?

339
rishad

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සුපිරි නිවසේදී පිලිස්සී මියගිය ජේ. ඉෂාලිනී නම් වූ ළාබාල දැරිය දැන් අප අතරින් සදහටම සමුගෙන ගොස් අවසන්ය.

ඇගේ ඒ සමු ගැනීම සිදුවූයේ ද නිකම්ම නොව, රට ඉ`දි කා ඔටු කිරි බී ගෙරි මස් බුදිමින් හැදී වැඞී තෙල මොරද්දී කාමාතුර වූ අමන යක්‍ෂයකුගේ ගොදුරක් ලෙසින් දැයි සැක සංකා මතුවන පරිදි දිගින් දිගටම ලිංගික අතවරයන්ට මුහුණ දී තැලී පොඩිවී සුණු විසුණුව ගිය මල් කැකුළක් ලෙසිනි.

ඇය පදිංචිව සිටි හැටන් ඩයගම බටහිර කොටසට අයත් පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමෙන්් පසු ඉකුත් 17 වැනිදා ඇගේ මළසිරුර පිළිබ`ද අවසන් කටයුතු නිමාවට පත්විය.

එහෙත් ඉෂාලිනීගේ සො`දුරු නව යෞවනයේ ඛේදනීය අවසානය මෙලෙස සටහන් වෙද්දී ඉකුත් බ‍්‍රහස්පතින්දා වනතුරුත් අප ඉදිරියේ තිබූ ගැටලූව වූයේ ශී‍්‍ර ලංකා පොලිසියට ඒ කිසිවක් වාර්තා නොවූයේද යන්නය.

ඉෂාලිනීගේ මරණය ගැන විමර්ශනවලට යැයි පවසා බ‍්‍රහස්පතින්දා වන විට ඩයගමට ගිය පොලිසිය ඇගේ නිවස පිහිටි ඩයගම වත්තට පැන ඇයව සදහටම වළ දමන්නට මෙන් තඩි වළක් කපන ආකාරයක් පෙනෙන්නට තිබීම අපේ ඒ ගැටලූවට හේතුව විය. මෙහිදී පියවි ඇසට නම් පෙනුනේ පොලිසිය නිල ඇ`දුම් ඇ`දගෙනම ඉෂාලිනී වළ දමන්නට කටයුතු කරමින් සිටි බවකි. එහෙත් ඉෂාලිනීගේ මව, සොහොයුරා ඇතුළු ඇතැමුන් කී පරිදි සවිඥානිකව බැලීමේදී අපට ද පෙනී ගියේ පොලිසිය සැබෑවටම සිටින්නේ යට ඇ`දුම්වත් නැතුව යැයි කියාය.

‘එයාල මෙහෙට ඇවිත් මගෙන් අහනවා මැරිච්චි දරුවට මෙහෙදි මොනවා හරි අතවර වුණාද කියල. මෙහිදි මුකුත් වුණේ නැහැ. අපි දුප්පත්. මගේ දරුවව මම මේ ගමන යැව්වේ නැති බැරිකමට. මගේ අනිත් ගෑණු දරුවා ගැනත් ප‍්‍රශ්න කරනවා. එයා ලොකු දරුවෙක්. එයාට අපහාසයක් වෙලා ජීවිතේ නැති කරගත්තොත් මොනවද වෙන්නේ. පොලිසියට ඕන වෙලා තියෙන්නේ අපේ පවුලම වහ කාල මැරෙනවා දකින්නද?

මම වැ`දලා කියනවා. මෙහේ වෙච්ච දෙයක් නැහැ. මගේ දරුවට එහෙදි මොකක්ද වුණේ කියලා හොයන්න. පොලිසිය හදන්නේ අපිට වැරදි කියලා එයාලව (රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ අය) හරියි කියන්න. පොලිසියේ කෙරුවාව හමුවේ හඬා වැටෙමින් මාධ්‍යයට එසේ කීවේ ඉෂාලිනීගේ මරණයෙන් පසු ඩයගම වත්තට ගිය පොලිසියේ දීර්ඝ ප‍්‍රශ්න කිරීමකට මුහුණ දුන් ඉෂාලිනීගේ මව වන රංජනීය.

ඇය ස`දහන් කරන පරිදි පුංචි ඉෂාලිනී හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස පැමිණි දා සිට ගෙවී ගිය අටමාසයක පමණ කාලය තුළ සහ ඇගේ සිරුර දැවී පිළිස්සී ගිය දිනයේදී ද සිදුව ඇති සිදුවීම් රැසක්ම විය. මිනිස් ජාවාරමේ යෙදුණු ඩයගම වත්තේ පට්ට බ්‍රෝකර් නාම්බෙකු වූ පොන්නයියා නමැති වසල මිනිසා විසින් ළාබාල ඉෂාලිනීව රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ගිය දා සිට ඇගේ මව අවස්ථා හතරකදීම සිය දියණිය බැලීමට එහි යන්නීය. එහෙත් ඒ කිසිදු අවස්ථාවකදී ඒ මවට සිය දියණිය බලන්නට ඉඩක් ලැබී නැත. ඉෂාලිනීගේ මව රිෂාඞ් බදියුදීන්ගේ සුපිරි බංගලාවට ගිය සෑම අවස්ථාවකදීම ඇයට නිවසට ඇතුළු වීමටවත් ඉඩ දී නැති බදියුදීන්ගේ බිරි`ද වරෙක පවසා ඇත්තේ කොළඹ නිවසේ කරන්නට වැඩ නොමැති නිසා ඇගේ දියණිය බදියුදීන්ට අයත් පුත්තලම නිවසේ සේවයට යැවූ බවය. ඉෂාලිනීගේ මව සිය දියණිය බැලීමට එසේ කොළඹට එද්දී රිෂාඞ් බදියුදීන්ගේ බිරි`ද එසේ හැසිරෙන්නට ඇත්තේ කුමක් නිසාද? ඒ වන විටත් ඉෂාලිනී බදියුදීන්ගේ නිවසේ සිටි හෝ නිවසට ආගිය කිසියම් පාපතරයකු අතින් විනාශ වී තිබීම නිසා ඇය එසේ කටයුතු කළේද?

තම මව මුණ ගැසුණහොත් ඉෂාලිනී සියලූ රහස් හෙළි කරනු ඇතැයි යනුවෙන් විශාල බියක් සිතේ ඇතිවූ නිසා බදියුදීන්ගේ බිරි`ද එසේ හැසිරුණේද?. ඉෂාලිනීව විනාශ කරනු ලැබුවේ සහ දිගින් දිගටම ලිංගික මෙවලමක් බවට පත්කර ගනු ලැබුවේ බදියුදීන් පවුලේ සමීපතමයකු වීම ඇගේ ඒ හැසිරීමට හේතු වූවා විය නොහැකිද?

දැන ගැනීමට ඇති පරිදි රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ සේවයට පැමිණි ඉෂාලිනී එහිදී ගෙවා දමා ඇති ජීවිතය ද ඉතාම කටුක අපාගත එකකි. උදෑසන සිට රාති‍්‍රය වන තුරු නිවස අතුපතු ගෑමේ සිට විවිධ කටයුතුවල යෙදී ඇති ඇය රැය පහන් කර ඇත්තේ විදුලි බල්බයක් පවා නොමැති පිටතින් අගුළු දැමිය හැකි සිර කුටියකය.

ජීවිතයේ බරක්පතලක් නොතේරෙන නව යෞවනයේ එළිපත්තට පිවිස සිටි ඉෂාලිනීට එවන් ඉරණමක් උරුම වූයේ ඇයි? එසේ සිදුවූයේ නිවැසියන් නිදා ගන්නා මහ රැයකදී අවදි වන ඉෂාලිනී දුරකථන ඇමැතුමක් ගෙන මවට හෝ අන් අයකුට කිසියම් රහසක් හෙළිකරනු ඇතැයි යනුවෙන් භීතියක් රිෂාඞ් බදියුදීන්ගේ බිරි`ද ඇතුළු පවුලේ අයට ඇතිවූ නිසාද?

මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු දෙයක්ද ඇත. ඉෂාලිනී බදියුදීන් නිවෙස් සේවයට පැමිණි දා සිටම ඇයට හිමි වැටුප බැරවී ඇත්තේද ඩයගම වත්තේ පොන්නයියාගේ ගිණුමටය. ඒ අනුව බලන කල සිය බඩගෝස්තරය වෙනුවෙන් ඉෂාලිනීව බදියුදීන්ට අලෙවි කළ පොන්නයියා කටයුතු කර ඇත්තේද සුපිරි පොන්නයියා කෙනකු ලෙස බව නම් හො`දටම පැහැදිලිය.

මේ අන්දමට දුක් කන්දරාවක් මැද බදියුදීන් නිවෙස් මෙහෙකාර සේවයේ යෙදී පුංචි ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිළී දැවී පිළිස්සී ගිය ඇයව රෝහල්ගත කෙරුණේ ඉකුත් 03 වැනිදාය. බදියුදීන්ගේ බිරි`ද ඉෂාලිනීගේ මවට ස`දහන් කර ඇති පරිදි ඉෂාලිනීට ඒ විපත සිදුවෙද්දී ඇය නිවසේ උඩු මහළේ සිට ඇත. ඇගේ පිටපතේ ඉතිරි කොටසට අනුව සිල්ක් රෙද්දකින් මසා තිබූ ගවුමක් හැ`ද සිටි ඉෂාලිනී ගිනි ඇවිළුණු ගතින් යුතුව එක්වරම මරහ`ඩ දෙමින් නිවසේ සාලයට දිව එන්නීය. එහිදී නිවසේ බිමට දමා තිබූ කාපට් එකක් යොදාගෙන ගින්න නිවා දමන්නේ බදියුදීන්ගේ බිරි`දගේ පියා වූ මොහොමඞ් ෂියාබ්දීන්ය. පසුව ගිනිගත් ගතින් දැනෙන වේදනාව හමුවේ ඉෂාලිනී නිවසේ වූ ජල තටාකයකට බැස සිටියදී ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහල්ගත කරන්නට රිෂාඞ් බදියුදීන්ගේ බිරි`ද ඇතුළු පිරිස කටයුතු කර ඇත.

බදියුදීන්ගේ නිවසේ ඒ අවස්ථාවේ සිටි බිරි`ද ඇතුළු පිරිස යනු කවරෙක්ද? ඔවුන් වන්නේ බදියුදීන්ගේ බිරි`ද ෂියාබ්දීන් අයේෂා, වයස අවුරුදු හතළිහක් පමණ වන ඇගේ සොහොයුරා හෙවත් බදියුදීන්ගේ මස්සිනා, ඇගේ පියා, මව සහ තවත් සේවකයකු ඇතුළු බදියුදීන්ගේ දරුවන්ය.

එහෙත් ඉෂාලිනීගේ සිරුරට ඇවිළුනු ගින්න පිළිබ`ද බදියුදීන්ගේ බිරි`ද එසේ පවසද්දී මෙහි ඇති ඉතා වටිනාම කතාව අද කියන්නේ ඉෂාලිනීගේ සොහොයුරා තිරුප‍්‍රසාද්ය.

‘එහේ වැඩට ගිය දවසේ ඉ`දන් කලාතුරකින් නංගි අම්මට දුරකථනයෙන් කථා කරනවා. අන්තිම දවසේ අම්මට කතා කරල තිබුණේ ගෙදර නෝනගේ දුරකථනයෙන්. එවෙලේ නංගි කියල තිබුණ ගෙදර නෝනා ගහනවා ඒ නිසා එයාව එක්කගෙන යන්න කියලා. නංගි එහේ ඉන්න බැහැ ගහනවා කියපු නිසා අපි එයාව 06 වැනිදා එක්කගෙන එන්න හිටියේ. ඒ අතරෙදී තමයි 03 වැනිදා නංගිව පිච්චිලා තිබුණේ.

නංගි අන්තිමට කතා කරපු දවසේ ඒ ගෙදර වැඩට ඉන්න කොල්ලත් නංගිට බණිනවා අම්මට ඇහිලා තිබුණා. ඒ කොල්ල පුත්තලමේ එක්කෙනෙක්. අනික මේ සිද්ධිය වෙනකම්ම අපි දැනගෙන හිටියේ නැහැ ඒ ගෙදර නෝනගේ මල්ලිත් එහේ ඉන්නවා කියලා…”

ඔහු කියන අන්දමට ඉතා බිහිසුණු ලෙස බදියුදීන්ගේ නිවසේදී සිරුරට ගිනි ඇවිළී දින දොළහක් පමණ මරණය සම`ග සටන් කර අවසානයේ ජීවිතයෙන් සමුගෙන යන්නේ ඉකුත් 06 වැනිදා නිවසට ඒමට බලාපොරොත්තුවෙන් සිටි ඉෂාලිනීය. එසේ නිවසට පැමිණීමට තෙදිනක් තිබියදී ඇගේ සිරුරට ගිනි ඇවිළුනේ අහම්බයක් නිසාමද?

මෙසේ බදියදුීන්ගේ නිවස්දී අපා දුක් වි`දින අතරේ තමන්ට ‘නෝනා පහර දෙනවා’ යැයි ඉෂාලිනී මවට පවසා තිබුණේ නම් ඉන් පැහැදිලි වන තවත් කරුණක්ද ඇත. එය වන්නේ බදියුදීන්ගේ බිරි`ද ඉෂාලිනී සම`ග වෛරයකින් පසු වූ බවය. මෙරට සිටි ඇමැති බිරි`දක් වරක් සිය සැමියාගේ අනියම් පෙම්වතිය මරා එල්ලූම්ගස් ගියා අපට මතකය. පසුව ඇය ජනපති සමාවකින් නිදහස්ව වූවාය.

එකී ඇමැති බිරිය තුළ සැමියාගේ අනියම් පෙම්වතිය කෙරෙහි තිබූ වෛරය එතරම් ප‍්‍රබල විය. ඒ අනුව බලන කල බදියුදීන් ඇමැතිගේ බිරි`ද ෂයාබ්දීන් අයේෂා ඉෂාලිනීට මෙතෙරම් වෛර කරන්නට ඇත්තේ දිගින් දිගටම අතවරයට ලක්වූ බව කියන ඇගේ දූෂකයා නිවසේම අයකු වූ නිසාද?

ගිනි ජාලාවන්ගෙන් සිරුර පිළිස්සී ගිය වේදනාව සමග රෝහල්ගත කර සිටි ඉෂාලිනී දෙසතියක් පමණ දුක්විඳ අවසානයේ ජීවිතයෙන් සමුගත්තාය. එහෙත් එකී කාලය තුළ සිදු වූයේ කුමක්දැයි විමසා ඇගෙන් ප‍්‍රකාශයක් ගැනීමටවත් පොලිසිය අසමත් විය. එසේ වුවද මේ වන විට සමහරු කියන කතාව වී තිබෙන්නේ ඉෂාලිනී රෝහල්ගතව සිටියදී තමන්ම සිරුරට ගිනි තබාගත් බව වෛද්‍යවරුන්ට පැවසූ බවය.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකර අදාළ වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රකාශයක් ගැනීමට පොලිසිය කටයුතු කළ බවක්ද දැන ගැනීමට නැත. මේ සිද්ධියෙන් පසු බොරැල්ල පොලිසිය සිදු කළ එකම විමර්ශනය වන්නේ බදියුදීන්ගේ නිවසේ තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් සොයා ගැනීමය. නිවසේ සීසීටීවී දර්ශන පිළිබ`ද විමර්ශන සිදු කිරීමක් ද මෙතෙක් සිදුව නැත.

පැහැදිලිව කිවහොත් මේ කතාවේදී පොලිසියේ දොකොන රත්වූයේ ඉෂාලිනීගේ මරණයෙන් පසු ඇය දිගින් දිගටම ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව හෙළිවීමත් සම`ගිනි. එහිදී වහා කි‍්‍රයාත්මක වූ පොලිසිය බදියුදීන්ගේ බිරි`ද ඇතුළු සිව් දෙනකුගේ දුරකථන වාර්තා ලබා දෙන ලෙස අධිකරණ නියෝගයක් ලබා ගන්නා අතරේ එම නිවසේ සිටි මෙහෙකරුවකුගේ දුරකථනය පමණක් සිය භාරයට ගත්තේය. පොලිසියේ මේ හතර නාඩගම් හමුවේ අපේ මතකයට නම් ආවේ ‘හාමුගේ පව් ගෙදර අප්පුගේ කරෙන් ගියා වගේ’ යැයි ලෙසින් අපේ පැරැන්ණන් කම්මුලට අත තබාගෙන කී කතාවය. එසේ මෙහෙකරුගේ දුරකථනය පමණක් සිය භාරයට ගැනීමෙන් තවත් අතකින් පොලිසිය රටට ඔප්පු කරනු ලැබුවේ එක රටක් නීති දෙකක් යන මේ දිනවල ප‍්‍රකට කරුණ නොවේද?

කෙසේ වෙතත් මේ වන විට බදියුදීන්ගේ බිරි`ද, ඇගේ පියා සහ ඩයගම වත්තේ පොන්නයියාව අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාලීනීව කෲරත්වයට පත් කිරීම සහ තැනැත්තන් වෙළෙ`දාම් කිරීම යන චෝදනා යටතේය.

එසේම ඉකුත් 2015 සිට 2019 දක්වා බදියුදීන් නිවසේ සේවය කළ 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ ඉහතකී බදියුදීන්ගේ බිරි`දගේ සොහොයුරාවද පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්පතිතුමනි, බදියුදීන්ගේ නිවසේදී පුංචි ඉෂාලිනීව දිගින් දිගටම දූෂණය කරමින් ජීවමාන මස්වැදැල්ලක් බවට පත් කළ තිරිසනා මොකාද? ඒකා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බදියුදීන්ගේ මස්සිනාද? අද රටට අවශ්‍යව තිබෙන්නේ ඒ ප‍්‍රශ්නයට පිළිතුරය. අපද බලා සිටින්නේ පොලිසිය එයට පිළිතුරු දෙන ආකාරය පිළිබ`දව බව කාගේත් වැටහීම පිණිස ස`දහන් කළ යුතුය.

– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment