දූෂණයෙන් වංචාවෙන් අල්ලසෙන්  පිරුණු ආණ්ඩුවට රට ගොඩනැගීමට  ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නෑ – සජිත් මහනුවරදී කියයි

147

සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි අතර ඒ වෙනුවෙන් අප‍්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව නොව දේශපාලනඥයන් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

 තිරසාර නිශ්චිත සත්‍යවාදී වැඩපිළිවෙළක් තුළින් රට ගොඩනැගිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ලෝකය සමග ප‍්‍රශස්ථ ලෙස ගනුදෙනු කළ යුතු බවද පැවසීය.

 ඉතිහාසයේ කිසි දිනෙක විපක්ෂයකට රාජතාන්ත‍්‍රික මට්ටමින් රටවල් ආධාර කොට නැති බව පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජනබලවේගය එය වෙනස් කළ බවද පැවසීය.

 අනාගත රට ගොඩනැගීම වෙනුවෙන් ක‍්‍රමවත් විධිමත් සැලැස්මක් සමගි ජනබලවේගය සතු බව පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා දූෂණයෙන් වංචාවෙන් සහ අල්ලසෙන් පිරුණු වර්තමාන ආණ්ඩුවට මේ රට ගොඩනැඟිය නොහැකි බව සහතික යැයිද පැවසීය.

 මේ රටේ මහජන මුදල් කොල්ල කන ලද ඩොලර් සංචිත ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ඒවා දිනා ගැනීම වහාම කළ යුතු යැයි ද පැවසීය.

 වර්තමාන ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම ජනතාව ඇන්දවීම සහ තමන්ගේ නොහැකියාව ප‍්‍රදර්ශනය කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම උදෙසා පහළොස් වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ලෙසද ආරාධනා කළේය.

 ඊයේ (06දා) මහනුවර ප‍්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරතුර විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

 ඊයේ පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා විහාර වෙත පැමිණි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් එහි විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment