දූෂණ වසා ගන්න ඕනෑ නිසා ජනපති අගමැති තනතුරු අත්හරින්නේ නෑ – එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාර කියයි

171

නව ඇමැති මණ්ඩලයක් පත්කිරීම නිසා රට තුළ පැවති ‘අවුල’ ‘වියවුලක්’ බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.

සියලු රාජපක්‍ෂවරුන්ට ඉවත්වන ලෙස රට තුළ ජනතා විරෝධය මතුව තිබියදී ජනපතිවරයා සහ අගමැතිවරයා බලය හැර නොයන්නේ සිදුකර ඇති දූෂණ වසා ගැනීම වෙනුවෙන් බවට ද හෙතෙම චෝදනා කළේය.

නව ඇමැති මණ්ඩලයක් පත්කිරීමෙන් කිසිම ජනතා ප්‍රශ්නයකට විසඳුම් නොලැබෙන බවත් ජනතාවගේ බලාපොරොත්තු තවදුරටත් සේදී යෑමෙන් රට අරාජික වී පීඩනය දෝරේ ගලා යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්, පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

‘මේ රටේ මහජන දේපළ හොරා කෑ රාජපක්‍ෂලාට තවදුරටත් බලයේ ඉන්න ජනතා විශ්වාසයක් නැහැ. අලුත් කැබිනට් මණ්ඩලයේ විශාල පිරිසකට දූෂණ, වංචා චෝදනා තිබෙනවා. කප්පම් සහ දූෂණ චෝදනා ඇති පුද්ගලයකුට නීතිය හා සාමය භාරදීමෙන් රටට අත්වන ඉරණම මොකක්ද?

අත්‍යවශ්‍ය භාණ්ඩ, තෙල්, ගෑස් ඇතුළු ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට මේ නව ඇමැති මණ්ඩලය විසඳුම් දෙනවාද? රටක ජනතාව ඉවත් වෙන්න කියද්දී තමන්ගේ හොර මැරකම්, දූෂණ වසා ගන්න බලය බදාගෙන සිටින මොවුන්නම් මිනිස්සු වෙන්න බැහැ. මේ සියලු කරුණු සලකා එක්සත් ජාතික පක්‍ෂ අපි මේ නව ඇමැති මණ්ඩලය ජනතාව සමඟ එක්ව ප්‍රතික්ෂේප කිරීමට සූදානම්.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment