දෙකයි පනහේ වැඩ ගොඩක්

720

බිත්තර වලින් ගැසීම දෙකයි පනහේ වැඩකි. එවැනි වැඩ තමන් කිසිසේත් නොකරන බවට සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පසුගියදා අවධාරණය කළේය. පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධානියා එසේ පැවසුවේ කළගෙඩිහේන ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ

රැස්වීමකට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර එල්ල කළ බිත්තර සහ ගල් ප‍්‍රහාරය පිටුපස තමන් සිටින බවට චෝදනා නැගෙන පසුබිමකය. ප‍්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ පුද්ගලයන් දෙදෙනකු එහිදී ජවිපෙ ‘අත්අඩංගුවට’ පත්විය. එම පුද්ගලයන් දෙදෙනා ජවිපෙ ප‍්‍රශ්න කිරීම හමුවේ මාධ්‍ය ඉදිරියේ කළ ප‍්‍රකාශ මත ඇඟිල්ල ප‍්‍රසන්න රණතුංගට, ඇවන්ට් ගාර්ඞ් ආරක්ෂක ආයතනයට සහ රජයට එල්ල විය.

එම සැකකරුවන් දෙදෙනාම හිටපු යුද හමුදා සාමාජිකයන් බවට එල්ල වූ චෝදනාව සුළුකොට තැකිය නොහැක. ජවිපෙ එම පුද්ගලයන් දෙදෙනාවම පොලිසියට භාර දීම ජනතාව ඉදිරියේ සිදු කළේය.

එම සිද්ධියේ උණුසුම යෑමට පෙර රාගම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ දී වෛද්‍ය සිසුන්ට මැර ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දුට චෝදනා එල්ල විය. අමාත්‍යවරයා එම චෝදනා එකහෙළා ප‍්‍රතික්ෂේප කළේය. එම සිද්ධියේදී ප‍්‍රහාරයට ලක්වූ සිසුන්ගේ ‘අත්අඩංගුවට’ පත්වූ වාහනය තම යටතේ පවතින පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බවට ඔප්පු වුවහොත් තමන් ඉල්ලා අස්වන බවට පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත. එහිදී සිසුන්ගේ ‘අත්අඩංගුවට‘ පත්වූ පුද්ගලයෙකු ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අරුන්දික ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියැදුරෙකු ලෙස හඳුන්වමින් නිකුත් කළ හැඳුනුම් පතක් ද මාධ්‍යට ඉදිරිපත් කර ඇත.

පොලිසිය භාරව කටයුතු කරන කැබිනට් අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට පත්වූ වාහනය රජයේ ආයතනයකට අයත් එකක් බවට ප‍්‍රකාශ කර ඇත. වෛද්‍ය සිසුන්ට පහර දීමද දෙකයි පනහේ වැඩකි.

අදාළ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශ්වය සැකකරුවන් පොලිසියට ඉදිරිපත් කර ඇත. පැය 24 ක් යෑමට පෙර කළගෙඩිහේන සහ රාගමදී එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් නොදන්නා කෙනෙක් නැත. මෙවැනි සිදුවීම් කිසිදු මාධ්‍යකට යටපත් කළ නොහැක. සමාජ මාධ්‍ය ජාල ප‍්‍රබලය. මෙවැනි සිදුවීම් විමර්ශනයේදී පොලිසිය බරපතළ අභියෝගයකට මුහුණදෙන බව අවධාරණය කළ යුතුමය. නිසියාකාරව පරීක්ෂණ සිදුනොකළහොත් පොලිසියද දෙකයි පනහේ වැඩ කරන බවට චෝදනා නැගෙනු ඇත.

රාගම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අරුන්දික ප‍්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාට බරපතළ ලෙස දොස් පැවරූ බව මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරයාට වහාම ඉල්ලා අස්වීමට දැනුම් දුන් බව ද මාධ්‍ය වාර්තා කර ඇත. අමාත්‍යවරුන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. රජයේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය දෙල්කඳ පොළේදී ජනවාරි මස 2 වන දින විවේචනය කළ සුසිල් පේ‍්‍රමජයන්තට තම රාජ්‍ය අමාත්‍යධුරය පැය 48 ක් යෑමට පෙර අහිමි විය.

චෝදනාවට ලක්වී ඇති රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා රාගම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට භාරවීම අවධානයට යොමු විය යුතුය. වර්තමාන අවාසනාවන්ත තත්ත්වය පෙන්නුම් කරන කැඩපතක් වැනිය.

පසුගිය ජනවාරි 11 දින බොරැල්ලේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් සොයාගැනීම, ඊට අදාළ පොලිසිය කළ මූලික පරීක්ෂණ සහ කතෝලික පල්ලිය පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කළ බරපතළ චෝදනා විමසා බැලිය යුත්තේ ‘එක රටක්, එක නීතියක්‘ යන උදාර සංකල්පය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිවී තිබෙන අවස්ථාවකදීය. බොරැල්ල, කළගෙඩිහේන සහ රාගම සිදුවීම් අවධාරණය කරන්නේ දේශපාලන අස්ථාවර බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගියදා මහජන ආරක්ෂක ඇමැති වීරසේකෙර 600 වැනි පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කළේය. ඒ ගම්පහ දිස්ත‍්‍රික්කය තුළය. ග‍්‍රාම සේවක වසම් 14,000 ටම පොලිසිය බැගින් ස්ථාපිත කළත් නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන වටපිටාව නොමැතිනම් ‘දෙකයි පනහේ වැඩ‘ සිදුවීම වැළැක්වීමට නොහැකිය. කළගෙඩිහේන සිදුවීම සම්බන්ධයෙන් තමන්ට අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගෙන් ඉල්ලා ලිපි යැවීය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා රාගම මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවට අදාළ අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. මෙවැනි ‘දෙකයි පනහේ වැඩ’ සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු කිරීමට එවැනි ඉහළ දේශපාලන නායකත්වයේ මැදිහත්වීමක් අවශ්‍යද?

‘එක රටක්, එක නීතියක්‘ ක‍්‍රියාත්මක රටක දේශපාලන විරුධවාදීන් එල්ල කර ප‍්‍රහාර එල්ල කරන්නේ නැත. එලෙසෙම විශ්වවිද්‍යාල තුළට පැන සිසුන්ට පහර දෙන්නේද නැත. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මුණුපුරා වන කොළඹ නගර සභාවේ ශ‍්‍රීලනිපය නියෝජනය කරන ප‍්‍රදීප් ජයවර්ධනට කුණු බිත්තර ප‍්‍රහාරයක් තම පක්ෂයේ සාමාජිකාවක් නගර සභාව තුළම එල්ල කිරීම සිදුවූයේ කළගෙඩිහේන සහ රාගම සිදුවීම් දෙක අතරය. එයද දෙකයි පනහේ වැඩකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සභාව තුළ සහ ඉන් පිටත හැසිරෙන ආකාරය විමසා බැලීමේදී කොළඹ නගර සභාව තුළ කුණු බිත්තර ගැසීම පුදුමයට කාරණයක් නොවේ.

ප‍්‍රදීප් ජයවර්ධනයේ ජනාධිපති සීයා රටේ ඉහළම උසාවියේ විනිසුරුවන්ගේ නිවාසවලට තම සගයෙකු වූ ‘කළු ලකී‘ ලවා ගල් ප‍්‍රහාරක් එල්ල කළේය. ඒ 1983 දීය. බලයෙන් මත්වී සිටි ජයවර්ධන උසාවිය දියාගෝ ගාර්ෂියා දූපත එක්සත් ජනපදයේ හමුදා රැඳී සිටීමට එරෙහිව විවියන් ගුණවර්ධන මහත්මිය කළ විරෝධතාව උසාවිය අනුමත කිරීම සම්බන්ධයෙන් උරණ විය. ‘කළු ලකී‘ ප‍්‍රහාරය මෙහෙයවිය. ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීමට දේශපාලන පොරොන්දුවක් දුන් ජයවර්ධන අධිකරණයට කළේ දෙකයි පනහේ වැඩක් බව අවධාරණය කළ යුතුය. විවියන් ගුණවර්ධනට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොලිසියට තම ප‍්‍රසාදය පළ කළේය. පොලිසියට එරෙහිව තීන්දුව දුන් උසාවියට පාඩමක්

ඉගැන්වීමට ‘කළු ලකීට‘ භාර විය. අනිවාර්යෙන්ම දෙකයි පනහේ වැඩකි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු කිරීම එම ‘බල කණු’ තුනේ වගකීමකි. එක වගකීමෙන් මිදීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය. වර්තමාන දේශපාලන ක‍්‍රියාකාරිත්වය තුළ බලයේ සිටි සියලුම පක්ෂ ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇත. පාර්ලිමේන්තුවේ බලය බෙදී ඇති ආකාරය භූමියේ පෙන්නුම් කරන්නේ නැත. පොහොට්ටු රජයට ජාතික ලැයිස්තු ආසන 17 ක් ඇතුළුව මන්ත‍්‍රීවරුන් 145 සිටිති. ඊට අමතරව සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ ජනතා නියෝජිතයන් කිහිප දෙනකු පොහොට්ටු පක්ෂයට පක්ෂපාතීව කටයුතු කරයි. ඇත්තවශයෙන්ම ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පෙන්වීමට පොහොට්ටුවට හැකිය. නමුත් මැති සබයේ ආසන තුනක් පමණක් හිමි ජවිපෙ නායකත්වය දරන ජන බලවේගය ආණ්ඩුවට දැනෙන පීඩනයක් එල්ල කරන බව අවධාරණය කළ යුතුය.

කළගෙඩිහේන ප‍්‍රදේශයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට බිත්තර ප‍්‍රහාරයක් එල්ලවීම සහ ඊට පෙර කොළඹදී එම ප‍්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම ම ජවිපෙට එරෙහිව කළ කටයුතු අවධාරණය කරන්නේ අස්ථාවරත්වයයි. ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තම අමාත්‍යාංශයේ ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කළේ 3% ජන්ද ප‍්‍රතිශතයක් පමණක් හිමි ජවිපෙට අනවශ්‍ය දේශපාලන වාසියක් ලබා දීමට තමන්ට අවශ්‍ය නොවන බවයි. අමාත්‍යවරයා පවසන්නේ තමන් දෙකයි පනහේ වැඩ නොකරන ප‍්‍රාථමික දේශපාලනඥයෙකු නොවන බවයි.

එජාපය ආසන එකට සීමාවීම, සමගි ජන බලවේගය පක්ෂයට බලාපොරොත්තු වූ මහජන ආකර්ෂණය ඊට හිමි නොවීම සහ පොහොට්ටු ආණ්ඩුව පොහොර, ගෑස්, විදේශ විනිමය අර්බුද මෙන්ම දූෂණයට ඉනිමන් තැබීම, ආන්දෝලනාත්මක යුගදනවි (ඇමෙරිකාව සමග) සහ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගිවිසුම (ඉන්දියාව සමඟ) සහ මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ගිණුමෙන් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් හිටපු මන්ත‍්‍රී උදිත් ලොකුබණ්ඩාර රුපියල් කෝටි හතරක් කොල්ලකෑම වැනි කරුණු කාරණා නිසා ජනතාව ඉදිරියේ හැල්ලු වී ඇත. ජවිපෙට ජනතා ආකර්ෂණයක් ඇතිවී ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව නිදහසින් පසුව රට දශක 7ක් පාලනය කළ ප‍්‍රධාන පක්ෂ දෙකම ශ‍්‍රී ලංකාව බිංදුවටම බස්සවා ඇති නිසාය.

අමාත්‍යවරුන්ගේ ක‍්‍රියාකලාපය, රජයේ ප‍්‍රතිචාරය සහ නීතිය ක‍්‍රියාත්මක කිරීම ජනතාවට දැනෙන ආකාරය අවධාරණය කිරීමට අපූරු උදාහරණයක් දිය හැක. පසුගිය සැප්තැම්බරයේ එවකට බන්ධනාගාර භාරව සිටි ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සතියක් තුළ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළුවී කළ කලබගෑනිය මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර අමාත්‍ය ධුරයෙන් ඔහු වහාම ඉල්ලා අස්විය. නමුත් මැණික් සහ ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රත්වත්තේ කටයුතු කරයි. අදවනතුරු පොලිසිය පොහොට්ටු අමාත්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් ලබා ගෙන නොමැත. මානව හිමිකම් කොමිසම විශේෂ පරීක්ෂණයක් කරන බවට ප‍්‍රකාශ කළ බව ජනතාවට අමතක නැත. පරීක්ෂණයට සිදු වූ දෙයක් නැත. අනුරාධපුර බන්ධනාගාරයේදී එල් ටී ටී ඊ සාමාජිකයන්ට කළා යැයි කියන මරණීය තර්ජන සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර ඇත.

තරු පහේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්තවාදයේ දෙකයි පනහේ නැතහොත් අසික්කිත වැඩවල සීමාවක් නැත. මහජන නියෝජිතයන් කරන එවැනි ඕනෑම කටයුත්තකට අදාළ පක්ෂ වගකිව යුතුය. වගවිය යුතුය. රටේ ව්‍යවස්ථාව මෙන්ම පක්ෂ ව්‍යවස්ථාව ද පාර්ලිමේන්තුව නියෝජනය සියලුම පක්ෂ රිසිසේ කෙලසයි. දේශපාලන හැසිරීම දෙකයි පනහේ වැඩක් වැනිය. නීතිය තරගයට නැමීම සියලුම දේශපාලන පක්ෂවල අයිතියක් බවට පත් කර ගෙන ඇත. පොහොට්ටු ආණ්ඩුව වැඩ පටන් ගත්තේ ආන්දෝලනාත්මක ආකාරයටය. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයා වන ජගත් සමන්ත ආනවිලුන්දවේ රැම්සා තෙත් භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය පුදුමාකාරය. පළාත් පාලන ආයතනයක හිටපු ප‍්‍රධානියකු වූ ඔහුට නීතිය ක‍්‍රියාත්මක වූ ආකාරය ජනතාවට අමතක නැත.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව චෝදනා එල්ල වූයේ රජ සමයේ ඉදිකිරීමක් විනාශ කිරීම සම්බන්ධයෙනි. එම සිදුවීම ආනවිලුන්දාවේ සිදුවීමට සති කීපයකට පෙර සිදු විය. එවකට නීතිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මැදිහත් විය. අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් බලයේ සිටින පාර්ශ්වය වෙනුවෙන් වැය කළේ මහජන මුදල්ය. ඒ බව පාර්ලිමේන්තු වාර්තාවල පවා සඳහන්ය. සමස්ත පරීක්ෂණ ක‍්‍රියාවලියට සිදුවූ දෙයක් නැත. නඩු පැවරුවත් නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නඩු ඉල්ලා අස්කර ගැනීමේ බලය ඇත. ඊට එහා කතාකර වැඩක් නැත.

අවසන් ජනාධිපතිවරණය පැවැත්වූ 2019 නොවැම්බර් සිට නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම ඉවත් කර ගෙන ඇති නඩු ගණන 60 කට අධිකය. නිදොස්කොට නිදහස් කළ අය අතර මැති ඇමැතිවරු ද සිටිති. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නීතිය ක‍්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල ජනවාරි 21 දින බරපතළ ප‍්‍රකාශයක් කළේය. නඩු සම්බන්ධයෙන් දෙයාකාරයකින් ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මහෙස්ත‍්‍රාත්වරයෙකු චෝදනා කිරීම පාර්ලිමේන්තුව ඇතුළු වගකිවයුතු සියලුම අංශවල අවධානය යොමු විය යුතුය. කිසිදු ආකාරයකට දෙකයි පනහේ වැඩ අනුමත කළ යුතු නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment