දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට දාලා…

739

බිරිඳ හා දියණියට බරපතළ තුවාල – පළාගිය සැකකරු අල්ලන්න විමර්ශන

ගොඩපිටිය විහාරස්ථානයේ දේවාලයේ කපුවෙකු ලෙස සේවය කරන පුද්ගලයකුගේ ගෙල තියුණු ආයුධයකින් වෙන් වෙන්නම කපා ඝාතනය කර හිස නිල්වලා ගඟට දමා ඇතැයි අකුරැස්ස පොලිසිය සැකපළ කරයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ අකුරැස්ස, තිබ්බොටුවාව, තලගස්ස රවුම් පාර කලුගම හේන ස්ථානයේ පදිංචිව සිටි 72 හැවිරිදි වේලාතන්ත්‍රිගේ සුමනපාල නමැති දෙදරු පියෙකි.

27 වැනි දින උදෑසන මෙම නිවසට පැමිණ ඇති සැකකරු මෙම පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් වෙන් වෙන්න කපා ඝාතනය කර හිස රැගෙන ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. හිස නිල්වලා ගඟට දමන්නට ඇතැයි අකුරැස්ස පොලිසිය සැක පළකරයි.උදේ ඇතිවූ මෙම සිද්ධියේදී මරණකරුගේ බිරිඳ සහ එක් දියණියක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.

මරණකරුගේ යාබද නිවසේ පදිංචි 29 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මරණයට පත් වූ පුද්ගලයා මෑතක් වනතෙක්ම ගොඩපිටිය විහාරස්ථානයේ දේවාලයේ කපුවෙකු ලෙස සේවය කර ඇත. රෝගාතුරව සිටි මරණකරුගේ එක් පාදයක් කපා ඇති බැවින් පසුගිය කාලයේ නිවසේ සිට ශාස්ත්‍රකීම කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් මත සහ අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් අකුරැස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මවර්ධන මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment