දෙදෙනකුට ඇණ ගැසීමේ සිද්ධියට සැක 2 ක් අල්ලයි – කපුවා ඇතුළු 10ක් පළා ගිහින්

240

මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු පරාල ඇණ ගසා වධ හිංසාවට ලක්කළ සිද්ධියට අදාළ කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු පොලිසිය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පිටිය ගාල්තැන්න ප‍්‍රදේශයේ කඳු මුදුනකට රැුගෙන ගොස් කොටයකට තබා බඳින ලද දෙදෙනාගේ දෑත්වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කිරීමට සහාය දුන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මහනුවර පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකක් අම්පිටිය ගාල්තැන්න ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කඩු පහක් ද සොයා ගෙන ඇත. පැහැර ගැනීමට යොදාගත් බව කියන වෑන් රථයද කෙන්ගල්ල ප‍්‍රදේශයේ තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. මෙම කණ්ඩායමේ ප‍්‍රධාන සැකකරු වන කෝටිපති කපුවා ඇතුළු තවත් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඔවුන් ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බව දැනගන්නට ඇත.

සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධ හිංසා පැමිණවූ මහනුවර පොල්ගොල්ල හා උඩබෝවල පදිංචිකරුවෝ දෙදෙනා මේවන විට මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11 යේ ප‍්‍රතිකාර ලබමින් සිටිති. මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබේ. එම ප‍්‍රකාශ අනුව ගාල්තැන්න ප‍්‍රදේශයේ මෙහෙයුමක් දියත්කර සැකකරුවන් අතරින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙම කල්ලියේ ප‍්‍රධාන සැකකරු දඹුල්ල කණ්ඩලම ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන්නෙකු බව පැවසෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ පවත්වයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment