දෙනෝදාහක් බලා සිටියදී අවිගත්තෝ ‘මැනිං’ ලෙයින් තෙත් කරති

677

සති 3ක් තුළ පාතාලයේ 8 වැනි ඝාතනය… පලතුරු ව්‍යාපාරිකයෙක් මරුට

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට ඊයේ (21 දා) දහවල් කඩාවැදුණු පාතාල සන්නද්ධ කණ්ඩායමක් එහි සිටි පලතුරු ව්‍යාපාරිකයකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර මුළු වෙළෙද සංකීර්ණයම භීතියට පත්කරමින් පලාගොස් ඇත. ඊයේ දහවල් 1.30 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි සමන්ත ප්‍රදීප් නොහොත් කෙසෙල්වත්තේ චානා හෙවත් තඩි චානා නමැති අයකු බව පොලිසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණ ඇති පාතාල කණ්ඩායම සමන්ත ප්‍රදීප්ට අයත් වෙළෙඳසල අසල එය නතර කරගෙන සිට ඇත.

සමන්ත ප්‍රදීප් නැමැත්තා පලතුරු පෙට්ටි කීපයක් වෙනත් මෝටර් රථයකට පැටවීමට පැමිණි අවස්ථාවේ පාතාල කල්ලියේ එක් සාමාජිකයකු මෝටර් රථයෙන් බැස ටී 56 අවියකින් ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් අනතුරුව පාතාල මැරයන් නිරුපද්‍රිතව පලාගොස් ඇති අතර සමන්ත ප්‍රදීප් යන අය එම ස්ථානයේම මියගොස් ඇත.

බටුවත්තේ චූලා නමැති පාතාල මැරයා සහ සමන්ත ප්‍රදීප් අතර කාලයක පටන් ආරවුලක් පැවැති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

සමන්ත ප්‍රදීප්, කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල මැරයාට එරෙහිව සිටි කණ්ඩායමේ සාමාජිකයකු වන අතර මීට වසර කීපයකට පෙර ද මොහු ප්‍රහාරයකට ලක්ව අනූනවයෙන් දිවි ගලවාගෙන තිබිණි.

මැනිං වෙළෙඳ පොළේ සවිකර ඇති සී සී ටී වී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විමර්ශන පවත්වාගෙන යයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

සති තුනක් ඇතුළත පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකළ අටවැනි මිනීමැරුම මෙය බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment