දෙනෝදාහක් බලා සිටියදී – පිටකොටුවේ මිනී මරති – නඩුවකට ඇවිත් යමින් සිටි  තිදෙනාගෙන් වෙඩි වැදී අයෙක් මරුට

538

එක් අයකුට තුවාල – අනෙකා බේරී පැන යයි
 

 පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පළට ඊයේ  (30 වැනිදා) උදෑසන ටී56 ගිනි අවියක් රැගෙන කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු දෙනෝදාහක් දෙනා බලා සිටියදී එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල කර පලා ගොස් ඇත. 07 – පිටුවට

 අලුත්කඩේ අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිට ආපසු සිය නිවෙස් බලා යමින් සිටි තිදෙනකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

 මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ මහනුවර මහඉලුක්පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සමග සිටි ගාල්ල නාකියාදෙණියේ පදිංචිකරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 මෙම පුද්ගලයන් දෙදෙනා සමග සිටි තවත් අයකු තුවාල නොලබා බේරී ඇති බව පොලිසිය පවසයි.

 මෙම තිදෙනා බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පළ දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා ටී56 අවියකින් වෙඩි වර්ෂාවක් එල්ල කර ඇත.

 ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා බිම ඇද වැටී ඇති අතර, අනෙක් තැනැත්තා පළා ගොස් තිබිණි. සිය ඉලක්කය සපුරා ගත් ඝාතකයන් පළා ගොස් තිබිණි. ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී ටී56 හිස් උණ්ඩ 10 ක් පොලිසිය සොයා ගෙන ඇත.

 ප්‍රහාරයට ලක් වූ තිදෙනාම යුද හමුදාවෙන් ඉවත් වූවන් බව පොලිසිය පවසයි. මොවුන් තිදෙනා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ අවන්හලක ආරක්ෂක නිලධාරීන් ලෙස රැකියා කර ඇත.

 එම අවන්හලේ වැටුප් නොගෙවීම නිසා මොවුන් ඊට පහරදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදු කර ඇත.

 මොවුන් තිදෙනා අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් වී ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩුවකට පෙනී සිටීම සඳහාය.

 මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් ද ඊට හේතු වූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

 ජනාකීර්ණ පිටකොටුව නගර මධ්‍යයේදී ටී56 ගිනි අවියක් රැගෙන මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීම පළපුරුදු වෙඩික්කරුවකු විසින් සිදු කළ යුතු බව පොලිසිය පවසයි.

 පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

 හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment