දෙනෝදාහක් බලා සිටියදී මිදිගම පාසලක් ළග ගිනි කෙළියක්

469

කුලී ඝාතකයන්ගේ වෙඩිල්ලෙන් ‘මහත්තයා’ නූලෙන් බේරෙයි
හරක් කටාගේ කල්ලියේ වැඩක්

මාතර මිදිගම බටපොල පාතේගම විදුහල ඉදිරිපිට දෙනෝදාහක් දෙනා බලා සිටියදී පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු ඊයේ (27 දා) උදේ සිදුකළ වෙඩි තැබීමකින් ‘මහත්තයා’ නමැති පුද්ගලයා අනූනවයෙන් දිවි ගලවා ගෙන ඇත.

සිය දරුවා පාසලට ඇරලවීමට පැමිණ සිටි මහත්තයා නමැති පුද්ගලයාට පාතාල කුලී ඝාතකයන් පන්න පන්නා වෙඩි තබා ඇති අතර ඔහු සිය දරුවාද සමග දිවි ගලවා ගෙන පලාගොස් තිබේ.

බන්ධනාගාරගත කර සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක්කටා නමැත්තාගේ පාතාල කල්ලිය විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

කුලී ඝාතකයන්ගේ ඉලක්කය වූ මහත්තයා නමැත්තා මිනීමැරුම් සහ අපරාධ කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු සිය නිවසට පැමිණ ඇත්තේ මීට දින කීපයකට උඩදී බවද පොලිසිය කියයි.

මහත්තයා සහ හරක්කටාගේ කල්ලියේ සාමාජිකයන් කලක් මිතුරන්ව සිට එකට වැඩකළ අය බවද විමර්ශනවලින් හෙළි වී ඇත. පසුව මොවුන් විරසක වී ඇති අතර එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත්ව සිටින බවද පොලිසිය පවසයි.

ඊයේ උදේ 7.45ට පමණ මහත්තයා නමැත්තා සිය දරුවාද සමග යතුරුපැදියෙන් බටපොල පාතේගම විදුහල වෙත පැමිණ ඇත. ඒ අවස්ථාවේ මඟ රැක සිටි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන මහත්තයා නමැත්තාට පන්න පන්නා වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැත. සිය ඉලක්කය වැරදී ගිය පසු කුලී ඝාතකයන් යතුරුපැදියේ නැඟී පලාගොස් තිබේ.

වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment