දෙමටගොඩ රුවන්ට ඇප නෑ

486

අයුතු ලෙස රුපියල් කෝටි ගණනාවක් වටිනා මුදල් හා දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන දෙමටගොඩ රුවන් හෙවත් රුවන් චමිල සිරිනායක නැමැත්තා වෙනුවෙන් ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා එම සැකකරු ලබන 03 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (19 දා) නියෝග කළේය.

එම සැකකරුගේ නිවසේ තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ කිලෝ 1 1/2 කට අධික රන් ආභරණ තොගයේ මූල්‍ය වටිනාකම සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේය. එම සැකකරුගේ බිරිඳගේ නමින් එක්තරා බැංකු ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් තැන්පත්කොට ඇති බවත් තවත් බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්ෂ පනහක මුදලක් සහ රුපියල් ලක්ෂ විසිහතරක මුදලක් තැන්පත් කර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් සහ දේපල විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.

එයට අමතරව එම සැකකරුට අයත් රන් ආභරණ කිලෝ 3 1/2 කට ආසන්න ප‍්‍රමාණයක් එක්තරා බැංකුවක උකසට තබා රුපියල් කෝටි 5 1/2 ක මුදලක් ලබාගෙන ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් විමර්ශන නිලධාරීහු හෙරොයින් ජාවාරමෙන් සහ වෙනත් ආකාරයෙන් ඔහු අයුතු ලෙස උපයාගෙන ඇති සෙසු දේපළ සහ මුදල් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment