දෙමළ ජාතික ගීය, තිස්ස විහාරය හා ඉඩම් පොලිස් බලතල

2334

උමාරාගේ ජාතික ගීය ගායනා විලාශය සංගීතය ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ කතාවක් නොවන බව එක්තරා ගායිකාවට තේරී නැහැ. ඇයගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැමුන් විදග්ධයන් වීමට සැරසීම පිළිබඳ අපට ඇත්තේ අනුකම්පාවක් පමණයි. ජාතික ගීය සාමාන්‍ය ගීතයක් නොව ව්‍යවස්ථාවේ සඳහන් වන එකම ගීය බවත් එහි වචන සංගීතය ආදිය ව්‍යවස්ථාවෙන් ම නීර්ණය කෙරී ඇති බවත් බොහෝ දෙනා අමතක කරනවා. ජාතික ගීය ප්‍රසිද්ධ ස්ථානවල වෙනත් ආකාරයකට ගැයුමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි.

මා ඒ කතාව නැවතත් කිව්වේ හුදෙක් වෙන්ඩ විදග්ධයන්ගේ දැන ගැනීම පිණිස නොවෙයි. විදග්ධයන්ට අනුව මා නාකි මුග්ධයෙක් ජාතිවාදියෙක්. මට අවශ්‍ය ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැන කීමට. එයත් මා කලින් කියා තියෙනවා. මට ඒ සම්බන්ධ තවත් තොරතුරු ලැබුණා. මා දුටුවා උමාරාගේ ගැයීමට විරුද්ධ වීමත් ජාතිවාදය අවුස්සන්නක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ජාතිවාදය ඇවිස්සීමක් අද සිදු වන්නේ කන්කසන්තුරේ. එහි තිස්ස විහාරයේ වස් ආරාධනා පින්කමට විරුද්ධව මන්ත්‍රීවරයකු ප්‍රධාන පිරිසක් විරෝධය පාලා. තිස්ස විහාරය නීති විරෝධී එකක්ලු. තිස්ස විහාරයේ ඉතිහාසය මෙරට වෙල්ලාලයන්ගේ ඉතිහාසයට වඩා හුඟක් ඈතට යනවා. මෙරට කිසිම විහාරයක් නීති විරෝධී නැහැ. සෑම විහාරයකටම ආරක්ෂාව සැපයීමට ඉංගිරිසි යටත් විජිත පාලකයනුත් 1892 ආඥා පනතකින්ම එකඟ වී සිටියා. ඒ ආඥා පනතට අනුව ආණ්ඩුකාරයාගේ අවසරය නැතිව ඉදිකෙරෙන වෙනත් ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට ඉංගිරිසි ආණ්ඩුව බැඳී හිටියේ නැහැ. ඒ ආඥා පනත මා මේ පිටුවේ කලින් සඳහන් කර තියෙනවා.

ජාතිවාදීව වැඩ කරන්නේ මෙරට වෙල්ලාලයන්. ඔවුන් ඉතා බහුතරය ලන්දේසීන් විසින් දුම්කොළ වගාවට ආනයනය කෙරුණු අය. ඔවුන් ආපහු ඉන්දියාවට යෑම වැළැක්වීමට ලන්දේසීන් තේසවලාමෙයි නීතිය පනවා ඔවුන්ට ඉඩම් දී එවකට එහි සිටි සිංහලයන් ඔවුන්ගේ වහලුන් බවට පත්කළා. පසුව ඉංගිරිසින්ගේ ද අනුග්‍රහයෙන් සමාජයේ ඉහළ තැන්වලට පැමිණි වෙල්ලාලයන් රටේ ම නායකයන් වීමට නොහැකි වීම නිසා සිංහල විරෝධයක් ඇති කළා. ඔවුන් දෙමළ කතා කරන ජනයාට පෙන්නුම් කෙළේ ඒ අයගේ අසරණ බවට හේතුව සිංහල ආණ්ඩුවේ වරද කියා. එහෙත් පළාත් සභා ඇති කිරීමෙන් පසුවවත් වෙල්ලාලයන් ඒ ජනතාවට කළ සේවයක් නැහැ. විග්නේෂ්වරන් මහා ඇමැති වෙලා හිටිය කාලයෙ වෙන් කර තිබූ මුදලුත් වියදම් නොකර ආපහු භාණ්ඩාගාරයට යැවුවා.

වෙල්ලාලයකු වූ ඒ. ජේ. විල්සන් තමයි ජේ. ආර්.ට හැත්තැ අටේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්න උදවු වුණේ. මට ලැබී ඇති තොරතුරු අනුව ඒ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ දී ජාතික ගීයේ දෙමළ පරිවර්තනය හදිසියේ අත්අකුරෙන් ලියා ඉදිරිපත් කළ එකක්. ව්‍යවස්ථාවේ පැරණි පිටපත්වල අත් අකුරෙන් ලියැවුණු දෙමළ ජාතික ගීය දැක ගන්න පුළුවන් කියනවා. එපමණක් නො වෙයි ඒ දෙමළ පරිවර්තනය පාර්ලිමේන්තුවේ සාකච්ඡා වී නැති බවත් කියනවා. මා හිතන්නේ මේ ගැන විධිමත් අධ්‍යයනයක් කළ යුතු ය කියා. කාට හරි කියන්න පුළුවන් මා ජාතිවාදය අවුස්සනවා කියා. ජාතිවාදී ව හැමදාමත් ක්‍රියා කර ඇත්තේ වෙල්ලාලයන්. ඊනියා විදග්ධයන් ජාතිවාදයට විරුද්ධ වීම ජාතිවාදය ඇවිස්සීමක් ලෙස සලකනවා.

දහතුන අපේ සංශෝධනයක් නො වෙයි. එය ඉන්දියාව ජේ. ආර්. බය කර තම අණසක රටේ පැතිරවීම සඳහා වෙල්ලාලයන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දක්. එය ජේ. ආර්. සම්මත කර ගත්තේ තමන්ට තුනෙන් දෙකේ බලයක් සහිතව ලැබුණු පාර්ලිමේන්තුවේ කාලය ජනමත විචාරණයක් නමින් දික් කර ගැනීමෙන් පසුව. දහතුන අනුව පළාත් සභාවලට පොලිස් බලතලත් ඉඩම් බලතලත් හිමි වෙනවා. එහෙත් ජේ. ආර්.ටවත් එය ක්‍රියාත්මක කිරීමට බැරි වුණා. කළ යුතුව තිබුණේ ඉඩම් හා පොලිස් බලතල දහතුනෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමයි. එහෙත් එය කෙරී නැහැ. අද කළ යුතු දේ ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම වැළැක්වීමයි.

පොලිස් බලතල දීමෙන් සිදු වන්නේ වෙනම රාජ්‍යයක් බිහි කිරීමට වෙල්ලාලයන්ට ආයුධ සැපයීමයි. ඉඩම් බලතල නොදීම පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා. එය අභාවප්‍රාප්ත ගෝමින් දයාසිරි මහතාගේ මැදිහත් වීමෙන් ලබා ගත්තක්. ඉඩම් බලතල පළාත් සභාවලට දුන්නොත් වෙන්න යන දේ අද තිස්ස විහාරයේ වස් ආරාධනා පින්කමට විරුද්ධව කෙරෙන උද්ඝෝෂණ හා කුරින්දියට විරුද්ධව කෙරෙන ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වෙනවා. මෙරට ඇත්තේ සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් කෙරෙහි වෙල්ලාලයන්ගේ වෛරයක් ක්‍රෝධයක් ද්වේෂයක්. තමන්ට මුළු රටේ ම නායකයන් වීමට බැරුව ඔවුන් දැන් අඩු තරමෙන් උතුරු පළාතේ වෙන ම රාජ්‍යයක් ඇති කර එහි පාලකයන් වීමට උත්සාහ දරනවා.

ඉන්දියාව දකුණු ආසියාවේ එක ම පාලකයා වීමට කටයුතු කරනවා. අද ඇසෑමයක් නැහැ. භූතානය නේපාලය ඉන්දියාවේ අණසකට යටත්. ඔවුන්ට ලංකාවත් තම අණසකට යටත් කර ගැනීමට අවශ්‍යයි. ඔවුන් ඒ සඳහා වෙල්ලාලයන් යොදා ගන්නවා. බුදුදහම රටෙන් පන්නා ගත් ඉන්දියාවට බුදුදහම රැකගත් සිංහලයන්ට ඇති කරුණාව කුමක් ද?

දෙමළ ජාතික ගීය, තිස්ස විහාරය හා ඉඩම් පොලිස් බලතල


මහාචාර්ය
නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment