දෙමළ මිනිසුන්ගේ හදගැස්ම හඳුනාගැනීම

602

එල්ටීටීඊයට එරෙහි සටනේ අවසන් අදියර පැවති මුලතිව් පුදුකුඩිරුප්පුවෙන් ආරම්භ වී 2022 පෙබරවාරි 25 සිකුරාදා සිට 28 සඳුදා දක්වා උතුරු පළාතේ සංචාරයක නිරත වූයෙමි. මේ ගමනේදී පැය 2කට ආසන්න කාලයක් එම ප‍්‍රදේශයේ ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම 50 දෙනකු පමණ පිරිස් හමුවන්නට මට අවස්ථාව ලැබිණි. මම ඔවුන් සමග පැයකට අධික කාලයක් සාකච්ඡා කළෙමි. ජනතාවගේ දුප්පත්කම සහ දුෂ්කරතා හද කම්පා කරවන සුළු විය. දෛනිකව ලබාගන්නා ආහාර වේල් පිළිබඳව හදවත කම්පා කරවන කතා ඔවුහු පැවසුහ. COVID-19 ඔවුන්ට ගැටලූවක් නොවේ. ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූව වූයේ කුසගින්නයි. ප‍්‍රාදේශීය සභා සභාපති ජොන්සන් සහෝදරයා ප‍්‍රාදේශීය සභාවෙන් ලබාදුන් කුඩා ප‍්‍රදානයෙන් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ වැනි මූලික අවශ්‍යතා සඳහා ප‍්‍රමුඛතාව ලබාදී ඇත. එහි පිරිමින් සහ ගැහැනුන් කෙට්ටුය. අඩුවෙන් පෝෂණය වූ අයයි.

මුලතිව් රැස්වීම අවසන් වූ විගස මා ගියේ යාපනයටය. මෙහි තත්ත්වය බෙහෙවින් වෙනස් සේ දිස්විය. එය කොළඹ වැනි වෙනත් ලෝකයක් විය. එහි මිනිසුන්ගේ පෝෂණය තත්ත්වයේ අඩුවක් දුටුවේ නැත. හොඳින් ඇඳ පැළඳගත් මිනිසුන් එහි වූහ. වාහන ඕන තරම් තිබුණි. කෙසේ වෙතත් ජොන්සන්ට මෙන්ම අපේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක මෝගන් සහෝදරයාත් සරලව ඇඳ පැළඳ සිටියේය. පොදු පැමිණිල්ලක් තිබුණි. රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයකගේ ආකල්පයයි. මහජනතාවට සේවය කරනවාට වඩා ඔවුන්ගේ අවධානය යොමු වූයේ තමන් සහ තම ඥාතීන්ගේ පෞද්ගලික දියුණුව කෙරෙහි යාපනයේ ජනතාව තම විදේශ සබඳතා මගින් ලබන මූල්‍ය දායකත්වයෙන් දුප්පත්කම පිරිමසාගනීමය. අවාසනාවකට පුදුකුඩිරිප්පුවේ දුප්පත් ජනතාවට සහයෝගය දෙන්නට තරම් ඩයස්පෝරාවක් තිබුණේ නැත. විශේෂයෙන් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ සිටින නිලධාරීන්ගේ අනුකම්පාව පවා නැති බව පෙනේ. මට ලැබුණු තොරතුරු අනුව, අවසාන තත්ත්වය නම්, උතුරු පළාත තුළ පුළුල් ලෙස දිළිඳුකම පැතිරී ඇති බවයි. දකුණේ මෙන් ජීවන වියදම අධික වීම මුළු උතුරටම බලපාන අතර දිළිඳුකම, කුසගින්න සහ මන්දපෝෂණය පිළිබඳ ප‍්‍රශ්නය පුළුල් ලෙස පැතිර තිබේ. අවාසනාවන්ත ලෙස නව ලිබරල් මානසිකත්වය ද (එක් එක් කෙනා තමාට අනෙකාගේ වියදමින්) මුල් බැස ඇත. දකුණේ මෙන්ම එකිනෙකාට උපකාර කිරීම සඳහා සාමූහික ක‍්‍රියාකාරීත්වයේ සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව උතුරේ ද යළි පණ ගැන්විය යුතුය. ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) උතුරේ මෙන්ම දකුණේ ද මේ පිබිදීම වෙනුවෙන් සටන් කිරීමට සිදුවී ඇත. එසේම උතුරේ ඇතැම් පිරිස් තම දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් රජයට දොස් පැවරීමේ ප‍්‍රවණතාවක් පැවතීම කනගාටුවට කරුණක් වන අතර ඇතැම් දේශපාලනඥයන් මෙය වාර්ගික පෙරළියක් ලෙස විදහා දක්වමින් තම වාසියට යොදා ගැනීම ද කනගාටුදායකය. රටේ පවතින ආර්ථික අර්බුදයේ තරම පිළිගෙන එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැහැදිලි ක‍්‍රියාකාරී සැලැස්මක් ඇති කර ගනිමින් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. මෙය ශ‍්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට වඩාත් දරුණු ලෙස බලපාන ගෝලීය ආර්ථික අර්බුදයක කොටසක් වන බැවින් මෙය ලැජ්ජාවට කරුණක් නොවේ. 1972 දී ඇති වූ වඩාත් දරුණු ආර්ථික අර්බුදයේ දී මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය එන්. එම්. පෙරේරා කළේ මෙයයි. පටි තදකිරීම, ආනයන සීමාකිරීම සහ දූෂණයට දැඩි දඬුවම් දීම ඇතුළු ක‍්‍රියාකාරී සැලැස්මක් ගෙනහැර දක්වමින් ඔහු ජනතාවගේ විශ්වාසය දිනා ගත්තේය.

ආර්ථීකයේ පිබිදීම සඳහා පැහැදිලි සැලැස්මක් නොමැතිව මෙය දිගටම පැවතුනහොත් සහ කඩාවැටීම සඳහා පියවර නොගතහොත් රජයට දැක්මක් හා නිවැරදි වැඩපිළිවෙළක් නැති බව දැකීමෙන් ජනතාව තව තවත් ව්‍යාකූල වනු ඇත. එහි අවාසිය රජය සම්පූර්ණයෙන්ම භාරගත යුතුවේ. ජීවන වියදම් අර්බුදය නිසා සිදුවන සමාජ පුපුරන සුළු තත්ත්වය දකුණේ සහ උතුරේ ඕනෑම මොහොතක ඇති විය හැකි අතර මෙය නැවත වාර්ගික ස්වභාවයක්ද ගත හැකිය. යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැති සාර්ථක අවසන් රැස්වීමට සහභාගි වූ අනෙකුත් දේශපාලන පක්ෂවල සාමාජිකයන් ඇතුළු අපේ පක්ෂ ආධාරකරුවන් සහ බුද්ධිමතුන් සමඟ මා කළ සාකච්ඡාවේදී ඔවුන් ඔවුන්ගේ ලොකුම බිය පළ කළේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය ඉවත් කිරීම ගැනයි. ජනාධිපතිවරයා පොරොන්දු වූ නව ව්‍යවස්ථාව කෙටියෙන් කිවහොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වූ බලය බෙදීම උතුරේ ජනතාව අගය කළ අතර රාජකාරිය පැහැර හැරීම සහ නිලධාරිවාදී බලය අවභාවිතය යන දෙකම අවසන් කළ හැක්කේ නිසි බලය බෙදා හැරීමෙන් පමණක් බව හැඟී ගියේය. වීරසිංහම් ශාලාවේ පැවති අවසන් රැස්වීමේ ප‍්‍රධාන මේසයේ සාමාජිකයන් (ගෞරවනීය විශ‍්‍රාමික විනිසුරුවරයෙකු සහ කීර්තිමත් නීතිඥයෙකු මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ) තම දේශනවලදී නිසි බලය බෙදීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඒකාබද්ධ විය යුතු ජනවාර්ගික ගැටලූවට සුදුසු විසඳුමක් ලෙස මා මුලසුන දැරූ නියෝජිත කමිටු (APRC) වාර්තාව ඉදිරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් විය යුතුයි. උගත් විශ‍්‍රාමික විනිසුරුවරයා කියා සිටියේ තමන් තවත් ඉදිරියට ගොස් උතුරු නැගෙනහිර සඳහා ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවීමට කැමති බවයි. එහෙත් එවැනි තීරණයක් ගැනීමට පෙර ්ඡුඍක්‍ යෝජනා කප්පාදුව ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි බැලීමට ඔහු සූදානම් විය. 13 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ගන්නා ඕනෑම පියවරක් එල්. ටී. ටී. ඊ. යේ නැවත ඉපදීමට සහ නැවත යුද්ධයක් ආරම්භ කිරීමට පවා මුලපුරන බව සාකච්ඡාවලින් පසුව මට පෙනී ගියේය. නිසි බලය බෙදීමක් ක‍්‍රියාත්මක කිරීමට ඉන්දියාව සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර ඔවුන්ද එවැනි ක‍්‍රියාමාර්ග සඳහා මැදිහත්වීමට බැඳී සිටී. සාමාන්‍ය ජනතාවට බලපාන අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නය ණය ප‍්‍රශ්නයයි. එයද පුළුල්ව පැතිරී ඇති අතර පියා මිය ගිය පවුල්වල ප‍්‍රශ්නය නම් කාන්තාවන්ට ඉඩමක් තිබුණත් අමතර ආදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට ඇති ප‍්‍රශ්නයයි. ඔවුන් මහන මැෂින් ආදිය මිලදී ගැනීමට පුද්ගලික ක්ෂුද්‍ර ණය මූලාශ‍්‍රවලින් ණය ලබාගෙන ඇත. එහෙත් ඔවුන්ගේ අඩු ආදායම සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඔවුන් ණය උගුලකට හසුවී ඇත. සහ ණය හිමියාගේ අනුකම්පාව වන්නේ නියමිත වේලාවට මුදල් ගෙවීමට අපොහොසත් වූ විට කාන්තාවන් කී දෙනකුට ලිංගික අනුග‍්‍රහය ලබාදීමට බල කෙරෙනු ඇත්දැයි අසන්නට ලැබීම කනගාටුවට කරුණකි. වැස්සට තෙමෙමින් අව්වට පිච්චෙමින් අඩක් ඉදිකර ඇති නිවාසවල ජීවත්වීමට ඔවුහු වෙහෙසක් දරති. ඔවුන්ගේ දුක් වේදනාවලට තිත තබමින් ඔවුන් සියලූ දෙනාටම දිය යුතුව ඇති මුදල් ලබාදීමට වග බලා ගන්නා ලෙස සමසමාජ පක්ෂය වෙනුවෙන් මම රජයෙන් ඉල්ලා සිටිමි. පවුල් 65,000කට අධික සංඛ්‍යාවක් මේ අවාසනාවන්ත තත්ත්වයට පත්ව සිටින බව මට ඔවුහු මා සමග පැවසූහ.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම සඳහා රජය විසින් වැව් කිහිපයක් සංවර්ධනය කර ඇති බව දැනගැනීම සතුටට කරුණක් විය. පදිංචිකරුවන් අතර ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට ඉඩම්වලින් සාධාරණ පංගුවක් නොලැබෙන බවද මට දැනුම් දුන්නාහ. උවදුරක් වී ඇති අනෙක් ප‍්‍රශ්නය නම් රැකියා විරහිත තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයකගේ ප‍්‍රශ්නයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට රැකියාවක් ලබාගැනීමේ අපේක්ෂාව අහිමි වී ඇත. ඔවුන් පාතාල සාමාජිකයන්ගේ ග‍්‍රහණයට හසුවී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට පත්වී සංවිධානාත්මක අපරාධවලට පවා යොමු වී ඇත. පොළට, කඩපිලට යන විට රන් මාල අහිමි වූ කාන්තාවන් පිළිබඳව වාර්තා විය. මෙහිදී මතු වූ අනෙකුත් කරුණු අතර රාජ්‍ය සේවයේ දක්ෂ දෙමළ නිලධාරීන්ට පිරවිය හැකි පුරප්පාඩු රැසක් තිබීම ද ප‍්‍රධාන වේ. එහෙත් ඔවුන් නොසලකා හරින ලද අතර ඔවුන්ට අඩු සුදුසුකම් තිබියදී පවා දෙමළ නොවන නිලධාරීන් පත් කරමින් සිටියහ. නීතිය හා සාමය අවශ්‍ය පරිදි පවත්වාගෙන නොයන, මූලික වශයෙන් අල්ලස් අපේක්ෂාවෙන් කටයුතු කරන පොලිස් අංශ පිළිබඳව ද චෝදනා එල්ල විය. කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාව, අලිමංකඩ ලූණු ලේවාය වැනි කලින් තිබුණු රාජ්‍ය ආයතන ක‍්‍රියා විරහිතව පැවතීම සම්බන්ධයෙන් රජය කෙරෙහි දැඩි නොසතුටක් ද විය. ඒවා නැවත පණ ගැන්වුවහොත් ඔවුන්ගේ විරැකියා මට්ටම අඩු කරනු ඇත. අවසාන වශයෙන් මා සඳහන් කළ යුත්තේ ඉන්දීය ධීවරයා විසින් සිදුකරන උතුරු මුහුදේ බලහත්කාර මසුන් දඩයම් කිරීමයි. විශේෂයෙන්ම බොටම් ට්‍රෝලින් කිරීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි විරෝධයකි. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව අදාළ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසත්, මෙම ක‍්‍රියාවට එරෙහිව ශ‍්‍රී ලංකා රජය දැඩිව කටයුතු කරමින් ඒ සඳහා වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.

දෙමළ මිනිසුන්ගේ හදගැස්ම හඳුනාගැනීම

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment