දෙල්කඳ පොළ සහ එහි ඡන්ද ප‍්‍රතිපල

1756

රාජපක්ෂවරුන්ගේ මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ද කිට්ටු දේශපාලන හිතවතකු, ආධාරකරුවකු සහ කැපකරුවකු වූ නීතිඥ සුසිල් පේ‍්‍රමජයන්ත මේ වනවිට කවර ඉරණමකට මුහුණ දී ඇත්ද යන්නත් කවර කෝච්චියක් ඔහුගේ බෙල්ල උඩින් ගියේද යන්නත් මේ වනවිට අපේ බුද්ධිමත් පාඨකයා දනී. පාඨකයා නොදන්නා එකම කාරණය දෙල්කඳ පොළේදී මහින්දානන්ද අලූත්ගමගේ සහ බන්ධුල ගුණවර්ධන විවේචනය කළ පමණින් සුසිල් පේ‍්‍රමජයන්තගේ රාජ්‍ය ඇමැති රෙද්ද ආණ්ඩුව විසින් කඩන ලද්දේ මන්ද යන්නය. එහෙත් රෙද්ද කැඩුවයි කියා සුසිල් පේ‍්‍රමජයන්ත නිරුවත් වුණේ නැත. හොඳ වේලාවට ඔහු දිග කලිසමක් යටට ඇඳ සිටියේය. ඇමැතිකමත් නැති බැවින් මේ කලිසමට උඩින් කෝට් එකකුත් ඇඳගෙන පරණ පුරුදු නීතිඥ රස්සාව සඳහා උසාවි යෑමට ඔහු තීරණය කර තිබේ.

ඇමැතිකම ඉවත් කළ සැණින් සිය කාර්යාලයට ගිය සුසිල් පේ‍්‍රමජයන්ත නිල රථය ද ලිපි ලේඛන ද ආපසු භාරදී ත‍්‍රීවීලරයකින් ගෙදර ගියේය. පේ‍්‍රමජයන්ත කොතරම් යහපත් සහ අවංක පුද්ගලයකු වුවද ත‍්‍රීවීලරයකින් ගෙදර යෑම පොඩි ෂෝ කෑල්ලක් බව පෙනේ. ඒ සඳහා උපදෙස් දී තමා සිනහවට ලක් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සුසිල් පේ‍්‍රමජයන්ත සිය දේශපාලන උපදේශකයන්ට දඬුවම් කළ යුතුය. මාධ්‍යකරුවන්ට ප‍්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයියක් තමාට ඇදී ඇති බවය. මේ ආකාරයෙන් දේශපාලන ලොතරැයි ඇදගන්නට හැකි නම් උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, විදුර වික‍්‍රමනායක යනාදී වශයෙන් නිතර ආණ්ඩුව විවේචනය කරන ඇමැතිවරුන් දෙල්කඳ පොළට යැවීම සඳහා වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා ඇත. ඉහත සඳහන් නම් අතරින් තිදෙනෙක් එනම් වාසු, විමල් සහ උදය යනාදීහු යුගදනවිය ඇමරිකාවට විකිණීමේ කැබිනට් පත‍්‍රිකාව අභියෝගයට ලක් කරමින් දැනටමත් උසාවි ගොස් තිබේ. ඒ අනුව අපගේ වැටහීම වන්නේ සුසිල් පේ‍්‍රමජයන්ත රාජ්‍ය ඇමැතිකමින් නෙරපීම පිටුපස රජය විවේචනය කරමින් දෙල්කඳ පොළේදී ඔහු කළ ප‍්‍රකාශයට වැඩි යමක් ඇති බවයි. මෙහිදී සුප‍්‍රසිද්ධ දෙල්කඳ පොළ තිබෙන දෙල්කඳ ගැන යමක් සඳහන් කළ යුතුය.

මෙයට අවුරුදු සියගණනකට පෙර කෝට්ටේ රාජධානිය පැවැති යුගයේදී නුගේගොඩ, දෙල්කඳ, විජේරාම, නාවින්න, මහරගම ප‍්‍රදේශ ගන කැලෑවකි. එකල රාජද්‍රෝහීන් සහ වෙනත් අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දෙන ලද්දේ දෙල්කඳ පිහිටි විශාල කැලෑව තුළදීය. කැලෑව තුළට ගෙනයන අපරාධකරුවාගේ හිසගසා මරණ ලදී. පසුකාලයේදී කැලෑව ආසන්න වනවිට රාජපුරුෂයන්ට අල්ලස් දී අපරාධකරුවන් පැන යෑමේ වැඩපිළිවෙළක් පටන් ගත්තේය. එම අල්ලස් දෙන ලද්දේ අදාළ අපරාධකරුගේ ඥාතීන් විසිනි. රජුට මේ බව ආරංචි වූ අතර එතැන් සිට හිස ගසා දමන අපරාධකරුගේ හිස මාලිගාවට ගෙන විත් පෙන්විය යුතු බවට රජු නියම කළේය. මෙය පාඨකයාගේ දැනුම පිණිස ඉදිරිපත් කළ අමතර කථාවකි.

සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිකමින් පලවා හරින ලද්දේ දෙල්කඳ පොළේ කතන්දරය නිසා නොව බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබිණ. මෙය යම් ප‍්‍රමාණයකට හෝ සම්පූර්ණ වශයෙන්ම ඇත්තක් විය හැකි නමුදු එය කියන්නේ ජනක තිස්සකුට්ටිආරච්චි බැවින් එය පිළිගැනීමට නොහැක. පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ මන්ත‍්‍රිනී රෝහිණී කවිරත්න මූලික කරගනිමින් හද්ද කුණුහරුප කියූ හෙතෙම තමා කිසිදු කුණුහරුපයක් නොකී බව පැවසීය. ඒ නිසා සුසිල් පේ‍්‍රමජයන්ත සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ඇතැයි කියන කාරණය ගැන සාකච්ඡා කිරීමට සිදුවන්නේ ඒ බව තිස්සකුට්ටිආරච්චි විසින් නොව මහා පාරේ ගමන් කරන සාමාන්‍ය මිනිසකු කියන ලද කතාවක් පරිදි සලකාය.

සුසිල් පේ‍්‍රමජයන්ත සහ බුද්ධි අංශ තොරතුරු පිළිබඳ සිද්ධිය ගැන අපිද හරි හැටි නොදනිමු. මෙවැනි කතාවලට Conspiracy Theory යනුවෙන් ඉංග‍්‍රීසි යෙදුමක් ඇත. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මට්ටමේ කතන්දර මේ තියරිය මගින් අර්ථකථනය කෙරේ. උදාහරණයක් වශයෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තබන ලද්දේ තල්දූවේ සෝමාරාම නමැති භික්ෂුව නොව දාගොන්නේ ඔසී කොරයා නමැති කොන්ත‍්‍රාත් පොරක් බවට කතාවක් පවතී. ලෝක යුද්ධයේදී පරාජයට පත්වූ හිට්ලර් හිසට වෙඩි තබාගෙන මළ බවට එක කතාවක් ඇති අතර ඔහු වෙනත් රටකට පැන ගොස් ජීවත් වූ බවට තව කතාවක් තිබේ. මේ දෙකම Conspiracy Theory හෙවත් අනුමාන සැකයන් සහිත කතන්දරය.

මේ රටේ සෑම ඇමැතිවරයකු සහ මන්ත‍්‍රීවරයකු පිටුපසම බුද්ධි අංශ සිටිති. ඔවුන් අදාළ ප‍්‍රභූවරයා ආරක්ෂා කරන අතරම ඔහු ගහන දේශපාලන ගේම් සහ ඞීල් ගැන ද සොයා බලා ආණ්ඩුවට වාර්තා කරයි. මේ අනුව බුද්ධි අංශ Conspiracy Theory යට අනුව සුසිල් පේ‍්‍රමජයන්ත පහත සඳහන් කාර්යයන්වල නිරත වී තිබිය යුතුය. 1. ආණ්ඩුව පෙරළීම සඳහා දේශීය හෝ විදේශීය සන්නද්ධ හෝ සන්නද්ධ නොවන බලවේගයක් සමග එකතුවීම. 2. ජ වි පෙ, ශ‍්‍රී ල නි ප, ස ජ බ, එ ජා ප, ඉලංකෙයි තමිල් අරසුකච්චි, ට‍්‍රැක්ටර් ලකුණ දරන ජනසෙත පෙරමුණ හෝ වෙනත් කණ්ඩායමක් සමග ඞීල් දැමීම. 3. ආණ්ඩුව පෙරළීම සඳහා අවි ආයුධ රැස් කිරීම හෝ අරමුදල් රැස් කිරීම. 4. මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමට කල්පනා කිරීම.

රාජ්‍ය ඇමැති ධුරය අහිමි වීමෙන් ස්වල්ප වේලාවකට පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡුාවක් කළේය. එහිදී ඔහු කියා සිටියේ, තමා කිසිදු පාර්ශ්වයක් සමග ඞීල් එකක් දමා නැති බවත් පොදු අපේක්ෂක වීමේ උවමනාවකින් නොපෙළෙන බවත්ය. ආණ්ඩුව පෙරළීම සඳහා අවි ආයුධ හෝ අරමුදල් රැස් කිරීම පිළිබඳ මේ සාකච්ඡාවේදී කිසිවක් කියවුණේ ද නැත. එසේ නම් රාජපක්ෂවරුන්ගේ හොඳම මිතුරකුගෙන් ආණ්ඩුව ගේම ඉල්ලන්නේ ඇයි?

ආණ්ඩුව මේ දිනවල මහත් සේ විවේචනයට ලක්වෙයි. උදය, විමල්, වාසු, විදුර වික‍්‍රමනායක යනාදීන් ආණ්ඩුවට ෂොට් දෙන්නේ එම ෂොට්වල දිග හා පළල පිළිබඳ කිසිදු තැකීමකින් තොරවය. සමහරවිට ආණ්ඩුව සුසිල් පේ‍්‍රමජයන්ත පාවිච්චි කරන්නට ඇත්තේ සෙසු අයට ද පාඩමක් ගෙන දීම පිණිස විය යුතුය. අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ ඛනිජ තෙල් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැනි වැදගත් තනතුරු දැරූ සුසිල්ට මේ ආණ්ඩුවෙන් ලැබුණු රාජ්‍ය ඇමැතිකම සමාන වන්නේ තුන් වේලම බත් කෑමට පුරුදු වූ මිනිහකුට එකී බත් ප‍්‍රතිපාදනය නවත්වා වේලකට පාන් කාල බැගින් දීමටය. සුසිල් පේ‍්‍රමජයන්තට ඇමැතිකම තිබුණත් නැතත් අපට වැඩක් නැත. අප ඉල්ලන්නේ ඔහු ඉවත් කිරීම පිටුපස ඇති රසවත් රහස අන් අයට රහසේ අපට විතරක් හෙළි කරන ලෙසය. මෙය දැනගන්නා තුරු පොඩි නින්ද නොයන ගතියක් මේ දිනවල අපට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment