දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍ය උළෙල අද

196

– රාජ්‍ය නායකයෝ රැසක්  ලන්ඩන් නුවරට එති

රුසියානු ජනපති පුටින්ට,  සිරියානු, වෙනිසියුලානු සහ  ඇෆ්ගනිස්තානයේ  නියෝජිතයකුට ඇරයුම් නෑ


දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19දා) පැවැත්වේ. ඇගේ රාජකීය අවමංගල්‍ය උත්සවය බි්‍රතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී ඇරැඹේ.

රැජනගේ අවමංගල්‍යය, දශක ගණනාවකට පසු එක්සත් රාජධානියේ රාජකීයයන්ගේ සහ දේශපාලනඥයන් සහභාගි වන විශාලතම රැස්වීම්වලින් එකක් වනු ඇත. මේ සඳහා ආරාධනා නිකුත් කෙරුණු රාජ්‍ය නායකයන් 500ක් පමණ සහභාගි වීමට නියමිතය. රාජ්‍ය නායකයන්ගෙන් බහුතරයකට වාණිජ ගුවන් යානාවලින් පැමිණෙන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් බටහිර ලන්ඩනයේ ස්ථානයකට ගොඩ බැසීමට නියමිතව තිබිණි. වෙස්ට්මිනිස්ටර් ඇබේහි උත්සවයකට 2,200 දෙනකුට පමණ සහභාගි විය හැකිය.

වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු බි්‍රතාන්‍යයේ රජවරුන්ට සහ රැජිනියන්ට කිරුළු පළඳවන ඓතිහාසික දේවස්ථානයයි. 18 වන සියවසේ සිට කිසිදු රජෙකුගේ අවමංගල්‍ය උත්සවයක් එහි පවත්වා නොතිබුණි. 1900 ගණන්වලදී රැජනගේ පියාගේ, මුත්තණුවන්ගේ සහ මිත්තණිය වන වික්ටෝරියා රැජනගේ අවමංගල්‍ය කටයුතු වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්විණි.

රැජනගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා ඇමෙරිකානු ජනපති ජනාධිපති ජෝ බයිඩෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩෙන් ලන්ඩන් නුවරට ඊයේ දිනයේම පැමිණ සිටියහ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාත් දෙවන එළිසබෙත් රැජනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටී. රැජින සිය පාලන කාලය පුරාම ප්‍රධානියා ලෙස කටයුතු කළ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයෝ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට අපේක්ෂා කෙරෙති. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ ඔස්ටේ්‍රලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ද ආරාධනයන් පිළිගෙන ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්ෂේත්‍රයක රාජාණ්ඩුවේ නියෝජිතයා ලෙස කටයුතු කරන ආණ්ඩුකාර – ජෙනරාල්වරුන් ගණනාවක් ඔවුන්ගේ රටවල නායකයන් සමඟ සහභාගි වනු ඇත. ඉන්දියාව නියෝජනය කරන්නේ ජනාධිපති ද්‍රෞපති මුර්මු මහත්මිය විසිනි. දෙවන එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට ආරාධනා නොකළ අය අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද වෙයි. සිරියාව, වෙනිසියුලාව සහ ඇෆ්ගනිස්ථානයේ කිසිදු නියෝජිතයකුට ආරාධනා කර නොමැති බව මාධ්‍ය වාර්තා පවසයි.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එළිසබෙත් රැජන වසර 70 ක් කිරීටය හොබවා පසුගිය 08 වැනිදා බැල්මොරල්හිදී මිය ගියාය. 1952 දී සිංහාසනයට පැමිණි රැජන, ඇයගේ ධුර කාලය තුළ දැවැන්ත සමාජ වෙනසක් දුටුවාය. එළිසබෙත් රැජන 1952 පෙබරවාරි මාසයේදී සිංහාසනයට පත්වූ නමුත් 1953 ජුනි වන තෙක් කිරුළු පැළැඳ සිටියේ නැත. රැජන මියගිය මොහොතේ සිංහාසනය වහාම උත්සවයකින් තොරව එහි උරුමකරු වන හිටපු වේල්ස් කුමර චාල්ස්ට හිමිවිය. ඔහු තෙවන චාල්ස් රජු ලෙස හැඳින්වේ. චාල්ස්, ස්වාධීන රටවල් 56 කින් සහ බිලියන 2.4ක ජනතාවකින් සමන්විත පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට ද පත්ව සිටියි. මින් රටවල් 14ක් සඳහා මෙන්ම එක්සත් රාජධානිය සඳහා ද රාජ්‍ය නායකයා වන්නේ රජුය.

එළිසබත් රැජන දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 1954 දී එතුමිය ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ රැජන ලෙසින් වන අතර 1981 ලංකාවට පැමිණියේ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙසිනි.

සැප්තැම්බර් 8 වැනිදා දෙවන එළිසබෙත් රැජන අභාවප්‍රාප්ත වීමෙන් පසුව රාජකීය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, එය ඇගේ අවමංගල්‍යයෙන් පසු සත්දිනක් දක්වා බලපැවැත්වේ. ශෝක කාලය සනිටුහන් කිරීමේ නිල ක්‍රමයන්ගෙන් පළමුවැන්නක් නම් රජයේ සහ රාජකීය පවුලට සම්බන්ධ ගොඩනැගිලිවල ධජයන් අඩකුඹුකර තැබීමයි. 2002 වසරේදී වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ රැජනගේ මවගේ අවමංගල්‍යය පැවැත්විණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment