දෙවරක් ලෝක ශූරයෝ මූලික වටයෙන්ම ගෙදර

308

සිම්බාබ්වේ සහ අයර්ලන්තය සුපිරි 12 වටයට

2022 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි 12 වටයට පිවිසීමට අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ඊයේ (21 වැනිදා) සමත් විය.

ඒ සමගම දෙවතාවක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට යෑමට සිදුවිය.

අයර්ලන්තය හමුවේ ඊයේ කඩුලු 9ක දරුණු පරාජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට සුපිරි 12 වටය අහිමි වී ගිය අතර මූලික වටයේ දී ඔවුන් ඊට පෙර ස්කොට්ලන්තය හමුවේ ද පරාජයට පත්විය.

දෙවරක් ලෝක ශූරයෝ මූලික වටයෙන්ම ගෙදර

ඒ අනුව මූලික වටයේ දී තමන් සහභාගි වූ තරග තුනෙන් එකක් පමණක් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට සිදුවිය.

ඊයේ හවස ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ සමග මූලික වටයේ බී කාණ්ඩය යටතේ තරග තුනෙන් දෙකක් ජයගත් අනෙක් කණ්ඩායම ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අතර ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන් ‘බී‘ කාණ්ඩයේ පළමු කණ්ඩායම ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේය.

ඊයේ උදෑසන බටහිර ඉන්දීය කොදෙව්වන් සහ අයර්ලන්තය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණ 146 ක් පමණක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 17 යි පන්දු තුනක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ජයග්‍රාහී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පෝල් ස්ටර්ලින්ග් ලකුණු 66ක් සහ ලොර්කර් ටකර් ලකුණු 45 ක් ලබා ගත්තේය. අයර්ලන්ත කණ්ඩායමේ දැවී ගිය එකම පිතිකරුවා වූ නායක ඇන්ඩි බැල්බිරින් ලකුණු 37 ක් ලබා ගත්තේය.

එම කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගරෙත් ඩෙලානි පන්දුවාර හතර තුළදී ලකුණු 16කට කඩුලු 3ක් දවාගත් අතර එම දක්ෂතාව හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි විය.

සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී ලබා ගත හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 132ක් පමණි.

එම කණ්ඩායම වෙනුවෙන් ජී. මුන්සේ ලකුණු 54ක් ලබා ගත්ත ද සෙසු පිතිකරුවන් ගෙන් එම කණ්ඩායමට නිසි සහයක් නොලැබීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට පහසු ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය පන්දුවාර 18 යි පන්දු 3කදී ඉක්මවා ගිය සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීය.

ජයග්‍රාහී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ක්‍රේග් අර්වින් ලකුණු 58 ක් ලබා ගත්තේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment