දෙවරක් විවාහ වී පළමු බිරිඳව යළි ඉල්ලූ දකුණු පළාතේ මාළු ව්‍යාපාරිකයා

2070

දෙවැනි බිරිඳ පැනලා ගියේ හොඳම මිතුරා සමග

චමත් මධුසංඛ දකුණු පළාතේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 18 කි. පාසල් අධ්‍යාපනය අතරමග නතර කර දැමූ ඔහු මාළු ව්‍යාපාරයේ නිරත විය. ඒ ධීවරයන්ගෙන් මාළු මිලදී ගන්නා අතරමැදියකු ලෙසින්ය. උසස් අධ්‍යාපනයක් නොලැබුවද කුඩා කල සිටම ඔහුට ව්‍යාපාර කිරීමේ ඥානය පිහිටා තිබුණි. එම නිසා කලක් යද්දී මාළු මිලදී ගැනීමේ ව්‍යාපාරය ඉතා සාර්ථක ලෙස කරගෙන යෑමට ඔහුට හැකි විය.

අඩු වයසෙන්ම ව්‍යාපාර ලෝකයට පිවිස සාර්ථක වූ නිසා චමත්ට මිල මුදල්වලින් එතරම් හිඟයක් නොතිබිණි. ව්‍යාපාර කටයුතුවලට අමතරව මිතුරන් සමඟ විනෝද වීම, මත්පැන් පානය කිරීම ආදිය මොහුගේ ප‍්‍රමුඛතම කාර්යන් විය. ඒ ස`දහා අවශ්‍ය මිල මුදල් ද ඔහුගේ අත තිබුණි.

වසර කිහිපයක් ඔහු එලෙස කෙළිලොල් ජීවිතයක් ගත කළේය. ඒ කාලය අතරතුර ඔහුට විවාහව උත්සවයකදී තරුණියක
මුණගැසිණි. ඇය නමින් සෙව්වන්දි පෙරේරාය.

සෙව්වන්දි දකුණු ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඇය නිවසට වී කාලය ගත කළාය. දුටුවන් වශී කරවන සුළු රූපයක් අයට උපතින්ම පිහිටා තිබුණි. එම නිසා පාසල් කාලයේ සිටම පේ‍්‍රම සම්බන්ධතා කිහිපයක් ඇය පවත්වාගෙන ගියාය. එහෙත් ඒ කිසිවක් ස්ථිර ඒවා නොවීය. එවන් පසුබිමක් මත චමත්ව ඇය හඳුනා ගන්නේ ඉහත සඳහන් කළ විවාහ උත්සවයේදීය. එම දැනහැඳින ගැනීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ ඔවුන් පෙම්වතුන් බවට පත්වීමයි.

එතැන් පටන් දෙදෙනාට දෙදෙනා දැඩි ලෙස ආදරය කිරීමට පටන් ගත්හ. ලැබුන සෑම විටම දෙදෙනා මුණගැසී පෙම් සුව විඳිමින් ආදර වදන් තෙපලූහ. දිනක් එවැනි මොහොතක දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

‘‘බබා අපිට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවානේ.”

‘‘ඒ මොකක්ද?”

‘‘ඇයි අනේ මම ඔයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල්නෙ.”

‘‘ඒක ප‍්‍රශ්නයක් කරගන්න එපා සෙව්. මම ඔයාට ගොඩක් ආදරෙයිනේ. ආදරයට වයස් සීමා, කුල මල ප‍්‍රශ්න නැහැ.”

‘‘ඒක ඔයානේ කියන්නේ. ඒත් ඕගොල්ලන්ගේ අම්මලාට ඒක ප‍්‍රශ්නයක් වේවි.”

‘‘එහෙම ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මම බලා ගන්නම්.”

‘‘ඇත්තද, ඒ තරම් ඔයා මට ආදරෙයිද?”

‘‘ඔව් මම ඔයාට ගොඩක් ආදරෙයි. මට මැරෙනකම් ඔයා ළඟට වෙලා ඉන්න ඕනා සෙව්.”

‘‘මමත් එහෙම තමයි පණ. ඔයා මගේ ඇෙඟ් කෑල්ලක් වගේ. ඔයා නැතුව එක මොහොතක්වත් මට ජීවත් වෙන්න බැරි වේවි. මම ආසයි ඉක්මනට ඔයා ළඟට එන්න.”

‘‘ඉතින් මටත් ඕන ඒක තමයි.”

‘‘ඒත් අපි තවම පොඩිනේ චමත්. ඔයාට අවුරුදු දහ අටයි. මට විස්සයි. ගෙවල් වලින් කැමති වෙන එකක් නැහැ දැන්මම.”

‘‘ගෙවල්වල අයගේ කැමැත්ත වැඩක් නැහැ. මට ජීවත් වෙන්න සල්ලි තියෙනවා. අපි දෙන්නාගෙ වයසත් හරිනෙ. ඒක නිසා වැඩිය ඔයා ඒ ගැන හිතන්න එපා.”

‘‘එහෙනම් අපි ඉක්මනට කසාද බඳිමු.”

‘‘ඒකට මම හෙට වුණත් කැමතියි සෙව්.”

ඒ අනුව චමත්ගේ සහ සෙව්වන්දිගේ කැමැත්තට අනුව දෙමව්පියන්ගේ අදහස් නොතකා ඔවුන් විවාහ විය. එලෙස විවාහ වී වසර ගණනක් ඔවුහු සතුටින් කල් ගෙවූහ. ඒ අතර ඔවුන්ගේ කැදැල්ල තවත් ආලෝකමත් කිරීමට කිරිකැටියකු ද පැමිණියේය. වසර දෙකක් පමණ එලෙස ගත විය. ඒ කාලය අතරතුර චමත්ට තවත් තරුණියක මුණගැසුණි. ඇය නමින් ඉෂානිය. ඇයද දකුණු පළාතේ පදිංචි තරුණියකි. රැකියාවක් නොකළ ඇය වෘත්තිය පාඨමාලාවක් හැදෑරුවාය. ඒ ගාල්ල නගරයේය. ඇයට චමත්ව මුණගැසුනේ එම පාඨමාලාව හදාරන අතරතුරයි. එලෙස මාස දෙකක් පමණ ගත වෙද්දී ඇය චමත්ගේ අනියම් පෙම්වතිය බවට පත් වූවාය.

දිනක් නිවාඩු නිකේතනයක පෙම් සුව විඳින අතරතුර චමත් ඇයට මෙලෙස පැවසුවේය.

‘‘මට දැන් ගෙදර ගෑනිව එපා වෙලා තියෙන්නේ. පුතා නිසා ඉවසගෙන ඉන්නවා”

‘‘ඇයි ඒ”

‘‘අනේ මන්දා. මට දැන් එයා ඉස්සර වගේ ආදරේ නැහැ. කිසිම සතුටක් නැහැ එයා එක්ක ඉ`දලා.”

‘‘ඒකනෙ. ඔයාට මම කොච්චර ආදරේද කියලා දන්නෙ නැහැනේ.”

‘‘මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා.”

‘‘දැනගෙන වැඩක් නැහැනෙ. ඔයාට මාව කවදාවත් කසාද බඳින්න වෙන්නේ නැහැනේ.”

‘‘ඇයි එහෙම කියන්නේ.”

‘‘ඔයා කසාද බැඳලා. හැමදාමත් මම ඔයාගේ හො… ගැ…. තමයි.”

‘‘පිස්සුද එහෙම කියන්න එපා.”

‘‘එහෙනම් කොහොමද කියන්න ඕනා. අපේ ගෙදරින් දැන් කසාද බඳින්න කියලා මට බල කරනවා. මොකද කරන්නේ මම.”

‘‘තව පොඩි කාලයක් ඉවසන්න.”

‘‘එහෙම කියලා මම අවුරුදු

ගාණක් ඉවසුවා. ඔයා ඉක්මනට තීරණයක් ගන්න. නැත්නම් මට අම්මලගෙ කැමැත්තට ඉඩ දෙන්න වෙනවා.”

‘‘එහෙම කරන්න එපා. මට ඔයාව ඕනේ.”

‘‘තේරුම් ගන්න චමත්. මම පත්වෙලා ඉන්න තත්ත්වේ ගැන.”

‘‘මට මාසයක් දෙන්න හරියටම.”

චමත් එදින නිවෙස බලා ගියේ දැඩි තීරණයක් ගනිමින්ය. ඒ තම නීත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වීමේ අරමුණින්ය.

ඔවුන් ගත කළේ සාර්ථක පවුල් ජීවිතයක් නොවේ. විවාහ වී වසර කිහිපයක සිට ඔවුන් අතර දිගින් දිගටම සණ්ඩු සරුවල් ඇති විය. එයට ප‍්‍රධානම හේතුව වූයේ චමත්ගේ අනියම් සම්බන්ධතාවයයි. සෙව්වන්දිට ද වුවමනා වී තිබුණේ චමත්ගෙන් වෙන් වී පුතා සමග තනිකඩ ජීවිතයක් ගත කිරීමටයි. එවැනි තත්ත්වයක් යටතේ චමත් තම තීරණය ඇයට එදිනම පැවසුවේය. ඒ අනුව ඇයද එම තීරණයට කැමති වූවාය.

දික්කසාද වී මාස කිහිපයකට පසු චමත් තම අනියම් පෙම්වතිය වන ඉෂානිව නිවසට කැඳවාගෙන ආවේය. ඒ තමන්ගේ නීත්‍යානුකූල දෙවන බිරිඳ ලෙසයි. එලෙස වසර කිහිපයක් ගත විය. ඒ කාලය අතරතුර චමත්ගෙන් ඇයට දරුවන් සිව් දෙනකුම ලැබුණි. විවිධ හැලහැප්පීම් මැද වුව ද ඔවුන් සතුටින් කාලය ගත කළහ. වසර අටක් පමණ එලෙස ගත විය.

දිනක් චමත්ට ගාල්ල නගරයේදී තම පළමු බිරිඳ වන සෙව්වන්දි මුණගැසුණි. ඒ දික්කසාද වී වසර දොළහකට පමණ පසුවයි. එලෙස මුණගැසුණු දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

‘‘කොහොමද සෙව්වන්දි?.”

‘‘හොඳයි කියලා කියන්න දෙයක් නැහැ.”

‘‘ඇයි එහෙම කියන්නේ. කෝ මගේ පුතා දැන්.”

‘‘එයා ලොකුයි. ඔයා පොඞ්ඩක්වත් එයා ගැන හොයල බැලූවෙ නැහැනේ. ඒකෙන් වැඩක් නැහැ දැන්, ඔයාට කොහොමද?”

‘‘මට වරදක් නැහැ. හොඳින් ඉන්නවා. ළමයි හතර දෙනෙක් ඉන්නවා දැන්.”

‘‘එහෙමද?”

‘‘ඔයා මොකද කළේ පහුගිය කාලේ.”

‘‘ඥාති ගෙදරක පුතාව නවත්තලා මම රට ගියා. අවුරුදු ගාණක් ඉ`දලා සල්ලි ටිකක් හම්බ කරගෙන ආවා. එහෙත් වැඩක් වුණේ නැහැ. ඒ සේරම වියදම් වෙලා ඉවරයි. දැන් ඉන්න හිටින්න තැනක්වත් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නේ පුතා එක්ක.”

‘‘හරි ඒ ගැන බය වෙන්න එපා. මොනව වුණත් ඒ මගේ පුතා. මම මැරෙනකම් ඔය දෙන්නා බලාගන්නම්.”

‘‘එහෙම කරන්න පුළුවන්ද? වයිෆ් මොනවා කියයිද දන්නේ නැහැනේ.”

‘‘ඒවායින් වැඩක් නැහැ. මට නම්බර් එක දෙන්න. නවතින්න

ගෙයක් හොයලා අද හෙටම මම කෝල් කරන්නම්.”

‘‘එහෙම කරන්න පුළුවන්නම් ලොකු පිනක්.”

චමත් සති කිහිපයක් යන්නට මත්තෙන් තම පළමු බිරිඳ සහ පුතාට නැවතීම සඳහා නිවසක් කුලියට සොයා දුන්නේය. ඉන්පසු ඔවුන්ට ජීවත් වීම සඳහා මුදල් ද ලබා දුන්නේය. මාස කිහිපයකට පසු ඔහුගේ වර්තමාන බිරිඳට ඒ බව ආරංචි විය. ඒ අනුව ඔහුගෙන් ඇය ඒ පිළිබඳව මෙලෙස විමසුවාය.

‘‘මොකක්ද ඔයා මේ නටන නාඩගම.”

‘‘මොකක්ද?”

‘‘මම දන්නේ නැහැ කියල හිතන්න එපා.”

‘‘අර ගෑණිට ගෙයක් එහෙම හොයල දීලා තියෙන්නේ.”

‘‘මම ඒ ගෑණිට නොවේ ගේ හොයා දුන්නෙ. මගේ පුතාට. එයත් මගේ ලේ වලින් ඉපදිච්ච කෙනෙක්.”

‘‘හරි ඉතින් ඕක මට කියන්න තිබුනනේ.”

‘‘කියන්න තමයි හිටියේ. ඒත් ඔයා අවුල් වෙයි කියලා කිව්වේ නැත්තෙ.”

‘‘ඇයි මම එහෙම අවුල් වෙන්නේ. ඒ ඔයාගේ ළමයා. පළවෙනි කසාද බිරිඳ. ඒක නිසා ඒ අයට පිට ඉන්න එපා කියන්න. මෙන්න මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්න කියන්න.”

‘‘මොනවද ඔයා මේ කියන්නේ කේන්තියෙන්.”

‘‘කේන්තියෙන් නෙමෙයි මම කියන්නේ. ඇත්තට කියන්නේ.”

‘‘මොනවා.”

‘‘ඔව් ඇත්ත. මගේ විරුද්ධත්වයක් නැහැ. ඒ ගොල්ලන්ටත් අපේ ගෙදර ඇවිල්ලා ඉන්න කියන්න.”

තම දෙවැනි බිරි`දගේ එම කීමට අනුව චමත් පළමු කසාදයේ බිරිඳ සහ දරුවා තම නිවසට ගෙන්වා ගත්තේය. එලෙස ගෙන්වාගෙන බිරින්දෑවරු දෙදෙනා සහ දරුවන් පස්දෙනා සමඟ කාලය ගත කළේය.

චමත්ගේ අසල්වැසි නිවසේ සිටියේ මලීෂ ගිම්හානයි. ඔහු ජීවත් වූයේ තනිවමයි. එයට හේතුව වූයේ වසර කිහිපයකට පෙර බිරිඳ ඔහුව අතහැර යෑමයි. එම නිසා තනිවම ජීවත් වූ මලීෂට නිතරම පාහේ කෑම බීම ලබා දුන්නේ චමත්ගේ නිවසින්ය.

දිනපතාම පාහේ චමත් සහ මලීෂ මත්පැන් පානය කිරීමට පුරුදු වී සිටියහ. එලෙස මත්පැන් පානය කළ දිනක මලීෂ, චමත්ට මෙලෙස පැවසුවේය.

‘‘උඹට මොන ප‍්‍රශ්නද, දැන් ගෑනු දෙන්නෙක්ම ඉන්නවනේ. මට හිටිය

ගෑනිත් දාලා ගියා.”

‘‘ඉතිං උඹ තව ගෑනියෙක්

හොයාගනින්.”

‘‘දැන් කොහෙන්ද ආයෙත් මම

ගෑනු හොයන්නෙ.”

‘‘ඇයි බං බැරි ඔය කොල්ල වගේ ඉන්නේ.”

‘‘අනේ මේ නිකං විහිලූ නොකර හිටපන්.”

‘‘මම විහිලූ නොවෙයි කළේ”

‘‘එහෙනම් මට උඹගෙ

ගෑනියෙක් දියන්.”

‘‘අයියෝ ඕක මොකක්ද? මගේ පළවෙනි ගෑනිව අරගෙන පලයන්.”

චමත් එය ඔහුට පැවසුවේ විහිලූවකට මෙන්ය. එහෙත් සතියකට පමණ පසු සිදුවූයේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. ඒ චමත්ගේ දෙවැනි කසාද බිරිඳ තම දරුවන් සිවුදෙනා ද තනිකර දමා මලීෂ සමග හොර රහසේ පැන යෑමයි. චමත් එම සිද්ධියත් සමඟ මානසිකව ඇද වැටුණි. එහෙත් එම අවස්ථාවේදී ඔහුගේ පළවෙනි කසාද බිරිඳ ඉදිරිපත් වී ඔහුට පැවසුවේ මෙවන් දෙයකි.

‘‘දුක් වෙන්න එපා දැන් ඔයා කැමතිනම් මම දරුවෝ පස් දෙනාම බලාගෙන ගෙදරට වෙලා ඉන්නම්.”

එය ඇසීමත් සමග ඔහුගේ පපුව පළමු බිරිඳ වෙනුවෙන් උණු වී ගියේය. වහාම පොලිසියට ගිය ඔහු තම දෙවැනි කසාද බිරිඳ දික්කසාද කර පළමු බිරි`ද යළි විවාහ කර ගැනීම සඳහා අවසර ඉල්ලූවේය.

පසුව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ චමත්ගේ දෙවැනි කසාද බිරිඳ මලීෂ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි. ඇය චමත්ගේ පළවෙනි බිරිඳ නිවසට රැගෙන ඒමට අවසර දී ඇත්තේ ද තමන්ගේ අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන යෑම සඳහාය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඇය මලීෂ සමග හොර රහසේ පැන යෑමයි

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment