දෙවියන්ගේ කැමැත්තට කාන්තාවන්ට අතවර කළ මැදිරිගිරියේ කට්ටඩියා…

903

පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ පදිංචි සුනිල් ගුණතිලක සිවිල් ආරක්ෂක අංශයේ සේවයේ නියතු පුද්ගලයෙකි. විවාහකයකු වන ඔහු දෙදරු පියෙකි. සිවිල් ආරක්ෂක අංශයේ නියුතු වුවත් ඔහු යන්ත‍්‍ර ගුරුකම්වලට දැක්වූයේ දැඩි උනන්දුවකි. එම උනන්දුව නිසාම වසර කිහිපයක සිට ඔහු ඒවා ඉගෙන ගැනීමට කටයුතු කළේය.

දිනක් ඔහු තම ඥාතීන්ට සහ මිතුරන්ට මෙලෙස පැවසුවේය.

‘‘මට කාලි මෑණියන්ගෙන් වරමක් ලැබුණා. ඒ වරම දුන්නෙ මං ගැන ගොඩක් කල් කාලි මෑණියෝ බලන් ඉඳලා. ආත්ම ගණනක ඉඳලා මම එයාගෙ දරුවෙක්ලූ. ඒකයි මට මිනිසුන්ට උදව් කරන්න වරමක් දීලා තියෙන්නේ. ඒක නිසා දැන් මට සාත්තර කියන්න පුළුවන්.”

එතැනින් නොනැවතුණු ඔහු තම නිවසේ දේවාලයක් දමා ගත්තේය. ඒ සාත්තර කීම සඳහාය. එතැන් පටන් කවුරුත් ඔහුව හැඳින්වූයේ ‘‘කට්ටඩි මහතා” යන අන්වර්ථ නාමයෙනි. ටික කලක් ගිය පසු සිවිල් ආරක්ෂක අංශයේ සේවය කළ මෙම පුද්ගලයා ජනප‍්‍රිය කට්ටඩියෙක් බවට පත්විය.

නිවෙස් ආරක්ෂා කිරීම, හදි හූනියන් කැපීම, තරහ වුණ අය නැවත ගෙන්වා දීම, පෙරේත කුම්භාන්ඩයෝ එළවීම සහ අ`දුන බලා සාත්තර කීම ආදී නොයෙක් කටයුතු මෙම කට්ටඩියා සිදුකළේය.

ආරාධනා ලැබුණු පසු මෙරට විවිධ ප‍්‍රදේශවලට ගොස් ඔහු එවැනි කටයුතු සිදු කළේය. එවැනි අවස්ථාවල සහායකයා ලෙස රැගෙන ගියේ අවුරුදු දහනවයක් වයසැති ඔහුගේ පුතාවයි. ඔහුගේ අරමුණ වූයේ තම පුතාව ද කට්ටඩියෙක් කිරීමටයි.

දිනක් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ හාලිඇල ලන්දේවත්ත ප‍්‍රදේශයේ කාන්තාවකගෙනි. ඇය එම කට්ටඩියාට මෙලෙස පැවසුවා ය.

‘‘ගුරුන්නාන්සේ අපේ ගෙදරට කවුරුහරි කොඩිවිනයක් කරලා. කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. හැමදාම ගෙදර රණ්ඩු. පුළුවන්නම් ඇවිල්ලා කොඩිවිනය අයින් කරලා දීලා යන්න.”

‘‘මම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. එහෙත් කමක් නැහැ. කරදර වැඩි නම් මම එන්නම්. ඇවිත් කොඩිවිනය කපල දීලා යන්නම්.”

කතාව එතනින් අවසන් නොවුණි. කොඩිවිනය කැපීමට අවශ්‍ය ද්‍රව්‍ය, ඒ සඳහා දිනයක් සහ අය කරන මුදල්ද එදිනම කතා කර ගත්තේය.

නියමිත දිනය දා කට්ටඩියා සහ ඔහුගේ පුතු හාලිඇල ප‍්‍රදේශයේ එම නිවස වෙත ගියහ. ගොස් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රියා නිවස විපරම් කර බැලූ කට්ටඩියා පැවසුවේය ළඟම ඥාතියෙකු බලගතු කොඩිවිනයක් කර ඇති බවයි. එදිනම එම කොඩිවිනය කපා අයින් කළ යුතු බවද ඔහු පැවසුවේය. එම නිසා රාත‍්‍රි කාලයේ කොඩිවිනය කැපීමට කට්ටඩියා සූදානම් විය.

කොඩිවිනය කෙසේ වුවත් එම නිවසේ සිටි අවුරුදු හතළිස් එකක් සහ අවුරුදු දහනමයක් වයසැති කාන්තාවන් දෙදෙනකුට මෙම කට්ටඩියා පැමිණි මොහොතේ සිට බැල්ම යෙදුවේය. ඔහු කොඩිවිනය අස්සේ එම කාන්තාවන් දෙදෙනාට ලිංගික අතවර කිරීම සඳහාද සැලසුමක් ක‍්‍රියාත්මක කළේය.

මල් බුලත් ආදී දෑ යොදා නිවසේ සාලය මැද පිදේනි තටුවක් සාදා තිබුණි. කට්ටඩියාගේ පුතා එයට වරින් වර දුම්මල අල්ලා දුම් ගැසුවේය. ඒ අතර කට්ටඩියා මොනවදෝ භාෂාවකින් මන්තර වගයක් ජප කරමින් සිටියේය. ඒ වන විට වෙලාව රාත‍්‍රි 10.00 පසු වී තිබුණි.

එක්වරම ආරූඪ වූ කට්ටඩියා මෙලෙස පැවසුවේය.

‘‘බොහොම බලගතු කොඩිවිනයක් කරලා තියෙන්නේ. පිරිමි පුළුටක්වත් ගේ ඇතුලෙ ඉන්න බැහැ. එහෙම හිටියොත් මේ කොඩිවිනය අයින් කරන්න බැහැ. ඒක නිසා වතුර මුට්ටි ටිකකුත් අරගෙන සේරම පිරිමි ටික එළියට ගිහින් තුන්මං හන්දිවල රැකවල් ලාගෙන ඉන්න.”

‘‘අවශ්‍ය වෙලාවට ආපහු එන්න. ඒකට මම පණිවිඩයක් එවන්නම්. හැබැයි මට ආවතේව කරන්න මේ කාන්තාවො දෙන්නා තියලා යන්න.” කට්ටඩියාගේ බසට රැවටුණු එම නිවසේ සිටි සියලූම පිරිමි වතුර මුට්ටි කිහිපයකුත් රැගෙන නිවස ආසන්නයේ පිහිටි තුංමං හන්දිවල මදුරුවෝ තල තලා රැකවල් ලාගෙන සිටියහ. ඒ කට්ටඩියා කොඩිවිනය අයින් කරන තුරුය.

සියලූම පිරිමි නිවසින් ගිය පසු කට්ටඩියා දේව ආරූඪයෙන් තම සිතේ තිබූ තිරිසන් ආශාවන් ඉටුකර ගැනීමට සැරසුණේය. ඒ අනුව පළමුව අවුරුදු හතළිස් එකක් වයසැති කාන්තාවට කාමරය තුළට යන ලෙස ඔහු පැවසුවේය. ඉන්පසු බොරු ආරූඪයක් රැගෙන ඔහුද කාමරය තුළට ගියේය.

එලෙස කාමරය තුළට රිංගූ කට්ටඩියා එම කාන්තාවට පැවසුවේ තමන්ට ආරූඪ වී ඇති දෙවියන්ට අවශ්‍ය දේ කර ගැනීම සඳහා නිශ්ශබ්දව සිටින ලෙසයි. එයට අවනත වූ කාන්තාව නිසොල්මන්ව සිටියාය. එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් කට්ටඩියා කාන්තාව වැළඳගෙන තම සිතේ තිබූ ලිංගික ආශාවන් ඉටු කරගත්තේය.

එතනින් නොනැවතුණු කට්ටඩියා දෙවැනි වර අවුරුදු දහ නවයක් වයසැති තරුණියට කාමරයට යන ලෙස පැවසුවේය. ඉන්පසු යළි කාමරයට ගිය කට්ටඩියා දෙවියන්ගේ කැමැත්තට ඉඩ දෙන්න යැයි පවසමින් ඇයට ද ලිංගික අතවර කළේය.

අවසානයේ කට්ටඩියා එම කාන්තාවන් දෙදෙනාටම පැවසුවේ තමන් මේ කිසි දෙයක් නොදන්නා බවත් ආරූඪයෙන් දෙවියන් වහන්සේගේ කීමට එලෙස කළ බවත්ය. මද වේලාවක් ගත වෙද්දී කාන්තාවන් දෙදෙනාට මෙම කට්ටඩියා ගැන සැකයක් සිතුණි.

යළි නිවසට පුරුෂයෙන් පැමිණි පසු කාන්තාවන් දෙදෙනා තමන්ට සිදු වූ අතවරය ගැන ඔහුන්ට පැවසූහ. එහිදී එම පුරුෂයන් මොහු හොර කට්ටඩියෙක් බව දැනගෙන හාලිඇල පොලිසියට සිදු වූ සිද්ධිය පැවසුවේය. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු අදාළ කට්ටඩියාව අත්අඩංගුවට ගත්හ. ඒ කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේය.

ඔබත් නිවසේ ශාන්තිකර්මයක් කර ගන්නවානම් ප‍්‍රවේශම් වන්න. ඒ මන්ද යත් මෙවැනි පහත් ලිංගික ආශාවන් ඇති කට්ටඩියන් තවත් බොහෝ සිටින බැවින්ය.

ගයාන් සමරසිංහ
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment