‘දෙවි සමිඳුන් වෙත හැරී එන්න’

201

චතාරික සමය යනු දේව ජනතාව ශුභාරංචියේ හදවත ලෙස හැඳින්වෙන ‘‘කි‍්‍රස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස’’ එනම් උන්වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සිහිපත් කරනු ලබන සමයයි. අළු බදාදා පියතුමා විසින් විශ්වාසීකයන්ගේ නළල මත අළු තැවරීම තුළින් සිහි කැඳවන්නේ ‘දූවිල්ලෙන් තැනූ අප නැවත මොහොතක දූවිල්ලට ම හැරී යනු ඇති බවයි.’’

නොමැරෙන මිනිසුන් ලෙස දිවි ගෙවන අප මේ පිළිබඳව ජීවිත කාලය පුරාවට ම අවබෝධයෙන් යුතුව දිවි ගත කළ යුතු වෙමු. මෙලොව සියල්ල අනිත්‍යය, අප රැස් කළ සියලූ වස්තු සම්පත්, අපගේ නිලතල බලතල, ප‍්‍රසිද්ධිය සියල්ල අතහැර කිසියම් මොහොතක මේ තාවකාලික නවාතැන්පළෙන් පිටවී යෑම පමණක් ස්ථිරය.

‘‘වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න’’
(ජොවෙල් 2:13)

ශුද්ධ ලියැවිල්ල තුළින් ජොවෙල් දිවැස් ප‍්‍රසාදිවරයා අපට එසේ ප‍්‍රකාශ කරයි. එහෙත් අද බොහෝ දෙනා වෙනස් කර ගන්නේ ‘‘සිත්’’ නොව ‘‘වත’’ පමණි. අලංකාරව ඇඳුමෙන්, පැළඳුමෙන්, සැරසී දේව මන්දිරය වෙත පිය නැඟුව ද සමිඳාණන් වහන්සේට වැදගත් වනුයේ ඇඳුම පැළඳුම හෝ අපගේ මහා ලොකු තත්ත්ව තරාතිරම නොව, පිරිසිදු ඇතුළාන්ත සිතය.

මේ චතාරික සමයේ සත්‍ය ලෙසම අවංකව එළැඹෙන දින හතළිහක කාලය තුළ ‘‘චෛතසිකයේ’’ සැබෑ වෙනසක් තුළින් දෙවිඳුන් වෙත හැරී ඒම අපගේ බලවත් වගකීමයි. මෙය පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ නම්, වෛරයෙන් පේ‍්‍රමයට, ආයුක්තියෙන් යුක්තියට, අසාධාරණයෙන් සාධාරණයට, බොරුවෙන් සත්‍යයට, යම් මනුෂ්‍යයකු හැරී එන්නේ නම් ඒ මෙම විශ්වයේ පරම සත්‍ය දෙවිඳුන් වෙත පැමිණීමයි. සැබෑ ලෙස උන්වහන්සේව අත්දැකීමයි.

බොහෝ විට අප ආගම අදහනුයේ මතුපිටින් පමණි. අපි අකුරට ම සියලූ වත්පිළිවෙත් ඉටු කරමු. එහෙත් අපගේ ඇතුළාන්තය තුළ බොහෝ දුර්වලකම් ඇති බව අපි සිහි තබා ගත යුතු වෙමු. ජරා ජීර්ණ වූ ඇතුළාන්තයක් ඇතිව හදිසියේ මිය යෑමට සිදුවුවහොත් සුගතියට නොව අගතියට යෑමට අපට සිදු වේ. මේ සඳහා සැබෑ මනස්ථාපනයක් (සිත වෙනස් කැර ගැනීමට අවශ්‍යය. එදා ගොල් ගොතා කඳු මුදුනේ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ මනුෂ්‍යයාගේ පාප වෙනුවෙන් පරිත්‍යාගී වූ සේ අපට ද අන් අය වෙනුවෙන් පරිත්‍යාගී වීමට උන්වහන්සේ ආරාධනා කරයි. බොහෝ විට අප යහපත් දේ කරන්නේ නරකාදියට යනැයි බියෙනි. එය අපගේ දුබල මිනිස් ස්වභාවයයි. එහෙත් අප පුණ්‍ය කි‍්‍රයා කළ යුත්තේ නිහඬව, අවංක චේතනාවෙනි. උන්වහන්සේ අපට උගන්වා ඇත්තේ මොන යහපත් දේ කළත් ලෝකයාගෙන් ප‍්‍රශංසා, ගරු බුහුමන්, නම්බු නාම, නොලබන ලෙසයි. ඒ සෑම දෙයක්ම දෙවිඳුන් වෙනුවෙන් කළ යුතු දෙයක් ලෙස සලකා කරන ලෙසයි.

ලූෂන් ෂර්ලි එඞ්වඞ් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment