දෙවෙනි තරගය වැස්සට හේදෙයි

131

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට මත්තෙන් අතහැර දැමීමට තරග විනිසුරුවෝ ඊයේ (28 දා) තීරණය කළහ.

දිනයේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවම වශයෙන් පන්දුවාර විස්සක තරගයක් ලෙසින් හෝ පැවැත්වීමට සංවිධායකයින් උපරිම උත්සාහයක නිරත වුවද එම බලාපොරොත්තු කිසිවක් සඵල නොවීය.

පන්දුවාර විස්සක තරගයක් ලෙසින් පැවැත්වීමට නම් තරගය අවම වශයෙන් නවසීලන්ත වේලාවෙන් ප.ව. 7.02 ට පෙර ආරම්භ කළ යුතු වුවත් දිගින් දිගටම වර්ෂාව පැවැතීම නිසා තරගය ප.ව. 4.25 ට අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගය අතහැර දැමීමත් සමග දෙපිළම අතර ප්‍රසාද ලකුණු බෙදී

ගියහ. එබැවින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු තවදුරටත් බිඳ වැටිණ. නවතම යාවත්කාලීනයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 ක් දක්වා ඉහළ ගොස් සිටියද 9 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත තෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 9 වැනි තැනට ඇද දැමීමට අවස්ථාව උදාවන අතර එහිදී නවසීලන්තය සහ නෙදර්ලන්තය ඉදිරි තරගවලදී දක්වනු ලබන දක්ෂතා අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන තීරණය වනු ඇත.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment