දෙස් විදෙස් කතුන් බලෙන් ගණිකාවන් කළ කෝටිපති ව්‍යාපාරිකයකු ගැන විමර්ශන අරඹයි

842

විදේශීය කතුන් හා ලාංකීය කතුන් ආයුර්වේද සම්බාහන වෘත්තීය සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුවිසල් අධිසුඛෝපභෝගී නිවසකට රැගෙනවිත් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පෙරේදා (18 වැනිදා) අදාළ සුඛෝපභෝගී නිවස වැටලූ එම ඒකකය, එහි සිටි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක්, ලාංකික කාන්තාවක් සහ කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගණිකා ඇසුර පතා පැමිණෙන අයකුගෙන් රුපියල් 15,000 සේ සිට ඉහළට මුදල් අයකර ඇතැයි හෙළිවූ බව එම ඒකකය පවසයි.

කළමනාකරු සහ ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන ඉන්දුනීසියානු කත හා ලාංකීය කත අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් බවද එම ඒකකය පවසයි.

සම්බාහනය සඳහා බව පවසා කාන්තාවන් රැගෙන විත් පසුව ඔවුන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අදාළ කෝටිපති ව්‍යාපාරිකයාට මහාධිකරණයේ නඩු ඇතැයි හෙළිවූ බවද එම ඒකකය කියයි.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ජනිත, උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්, පොලිස් සැරයන්වරුන් වන බටුවත්ත (1445), බාලසූරිය (77090) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගී වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment