දෙසැම්බර් වන විට අයි.එම්.එෆ්. අනුමැතිය ලැබේවි

188

මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා මේ වසරේ (2022) දෙසැම්බර් මාසය වන විට එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

මේ වන විට ණය හිමියන් සමග සාකච්ඡා කරගෙන යන බවද එම ක්‍රියාවලියේ ප්‍රගතියක් පෙන්නුම් කරන බව තමාට ප්‍රකාශ කළ හැකි බවද මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය.

ණය හිමියන්ගෙන් මූල්‍යමය සහතික කිරීම් ලබා ගෙන අපේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවට යොමු කළ හැකි වනු ඇති බවද ඒ වෙනුවෙන් දැන් කටයුතු කරගෙන යන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකාව අදාළ මූල්‍යමය සහතික කිරීම් ගැනීමට ප්‍රමාද වුවහොත් එහිදී වැඩසටහන සඳහා මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාද වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. ලබන සතියේ මුදල් රජ්‍ය ඇමැතිතුමා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමක් මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට යන බවත් එහිදී ඉක්මනින් ප්‍රගතියක් ඇති කර ගැනීමට එම ක්‍රියාවලියෙන් අපේක්‍ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment