දෙසිය විසිපහකට රටක් වැනසිය හැකි ද?

311

වර්ග කිලෝමීටර් 65,610 කින් සමන්විත ලෝකයේ දූපත් විශාලත්වය අතින් 25 වන ස්ථානයට හිමිකම් කියනා ශ්‍රී ලංකාවේ පිහිටීම ලෝක භූ දේශපාලනයේ කැපී පෙනෙනා භූමි ප්‍රදේශයක් ලෙස හඳුනා ගැනේ.

 ශ්‍රී ලංකාව දකුණු ආසියාවට අයත් ඉන්දියාවේ  අග්නිදිග ප්‍රදේශයට සමීපව වයඹ දෙසින් ඉන්දියාවටත්, නිරිත දිගින් මාලදිවයින සමගත් සමුද්‍රීයව මායිම්ව ඇත්තාක් මෙන්ම සේද මාවත විෂයෙහි ද ප්‍රශස්ථ බලපෑමක් කිරීමට හැකියාවක් සහිත නිදහස් සහ ස්වාධීන රාජ්‍යයකි. දෙකෝටි විසිලක්ෂයකට ආසන්න ජනගහනයකින් 70% කට අධික බහුතරය ථේරවාද බෞද්ධයන් වන අතර ශ්‍රී ලංකාව බහු වාර්ගික ජන සංස්කෘතියකට ද උරුමකම් කියන්නේය. අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රම ආකෘතිය මුල්කොට ගත් මෙරට පළාත් 09 කින්, දිස්ත්‍රික්ක 25 කින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 කින් මෙන්ම ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022 කින් සමන්විත වේ.

 1948 දී බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව මේ වන තෙක් වසර හැත්තෑපහකට ආසන්න කාලයක් රට කරවූවෝ වූයේ ශ්‍රී ලාංකික නායකයෝය. එහෙත් වත්මන වන විට ඉතිහාසයේ කවරදාකවත් නොවූ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප මුහුණ දෙමින් පසුවෙමු. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තයන්ට අනුව ස්වභාව සෞන්දර්යයෙන් ආඪ්‍ය අතීතයේ ආසියාවේ දැවැන්ත ආර්ථික ප්‍රගමනයකට නෑකම් කියූ අප අදවන විට උද්ධමනයෙන් දෙවැනි වන්නේ සිම්බාබ්වේ දේශයට පමණි. ඒ ද 132% ක උද්ධමනයක් වාර්තා කරමිනි.

 ශ්‍රී ලංකාව පත්ව ඇති මෙම තත්ත්වයට වගකිව යුතු වන්නේ ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් 225 ම පමණක් ද යන්න විමසා බැලිය යුතුය. මේසා විශාල වර්ග සැතපුම් ගණනකට හිමිකම් කියනා ශ්‍රී ලංකාව වත්මන් තත්ත්වයට ඇද දැමීමට ඔවුන්ට පමණක් හැකිවේද? වරින් වර බලයට පැමිණි රෙජීමයන්ගේ දූෂිත සහ අක්‍රමිකතාවයන්ගෙන් යුත් රාජ්‍ය ප්‍රතිපත්තීන් පමණක් ම මෙම ඛේදවාචකයට හේතු වුණි ද යන්න විමසා බැලීමට කාලය එළඹ ඇත. සැබැවින්ම මෙම ඛේදනීය තත්ත්වයට රට පත් කිරීමට දායක වූ අනෙක් දායකාරකාදීහු කවරහුද?

 1931 වර්ෂයේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ආණ්ඩුක්‍රම මාදිලිය මෙරටට හඳුන්වා දීමේ අටියෙන් ගෙන ආ සර්වජන ඡන්ද බලය ලැබූ ශ්‍රී ලාංකික පුරවැසියෝ ද මෙම අර්බුදයේ 225 දෙනා හා සමානවම කොටස්කරුවෝ වී හමාරය. දැනට බලයේ ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංකල්පයන්ට ගරු කරමින් බලයට පත් වූයේ 16,263,885 දෙනකුගේ මහජන කැමැත්ත හරහාය. එසේ නම් මෙවැනි තත්ත්වයක් තුළ පුරවැසියකු වශයෙන් ඔබගේත් මගේත් වගකීම් නිසි අයුරින් සිදු වී ඇත් ද යන්න නැවත වරක් සිතා බැලීමට කාලය පැමිණ ඇත. පුරවැසියන් වශයෙන් අප විසින් ඡන්දය ලබා දුන් මහජන නියෝජිතයන් මෙන් ම අප ද මෙම අර්බුදය නිර්මාණය කිරීම උදෙසා අල්ප මාත්‍රයකින් හෝ දායකවූවෝ වෙමු. එම දායකත්වයේ ආරම්භය සනිටුහන් වන්නේ අප ඡන්ද දායකයකු වශයෙන් ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කිරීමත් සමගිනි.

 රාජ්‍යයක පුරවැසිභාවය හිමි වන්නේ නෛතිකමය විධිවිධානයන් ආශ්‍රය කොටගෙනය. එය උත්පත්තියෙන් හෝ ලියාපදිංචියෙන් අත්කොට ගත හැකි තත්ත්වයකි. කිසියම් රාජ්‍යයක සාමාජිකත්වය ලැබගත් පසු එම රාජ්‍ය තුළ සිදුවනා සෑම ක්‍රියාකාරීත්වයකටම අප ද එකසේ පුරවැසියන් වශයෙන් වගකිව යුතු වන්නෙමු.

 ශ්‍රී ලංකාව වත්මන වන විට ඇද වැටී ඇති තත්ත්වයට අප පාර්ශ්වකරුවන් වන කිහිපාකාරයක් පවතී.

 පළමු වැන්න ඡන්ද දායකයන් ලෙස මෙම අර්බුදය නිර්මාණයට දායක වීමයි. ඡන්ද දායකයා යනු මැතිවරණ කාලයේ දී පමණක් ඉදිරියට පැමිණෙනා පුරවැසියන් හඳුනාගනු ලබන තවත් එක් අන්වර්ථ නාමයක් පමණි. මෙම විශේෂ පුද්ගල කණ්ඩායම සමග මහජන ස්වාධිපත්‍ය ද ගැට ගැසී පැවතීම මෙහි කැපී පෙනෙනා විශේෂත්වයක් වේ. ඩොනමෝර් සමයේ සර්ව ජන ඡන්ද බලය ලබාදීම අඥාන තීරණයක් යැයි ලංකා ජාතික සංගමය පුන පුනා කියන්නට ඇත්තේ ද ලාංකික ජනතාවට නිසි වගකිව යුත්තන් තේරුම් ගැනීමට ඇති නොහැකියාව නිසා යැයි විටෙක තර්ක කළ හැකිය. ඒ මහජන තීන්දු තීරණ රටක උන්නතියට මෙන්ම රටක විනාශයකටත් හේතු වන බැවිනි. පාරම්පරික දේශපාලන ප්‍රවාහය තවදුරටත් සපථ කරමින් ඉදිරියට ගෙන යෑමේ අභිමථාර්ත ඇතැතිව පියාගෙන් දරුවන්ට සංක්‍රමණය වන පක්ෂ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට අතවනමින් සිටී. බහු පක්ෂ ක්‍රමයකින් සමන්විත අධිපති ද්විපක්ෂ ක්‍රමයකින් සමන්විත ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ ක්‍රමය මගින් සාමාජිකයන් තෝරා පත් කරගනු ලබන්නේ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයන් කියවා නොව හුදෙක් තම මවගේ හෝ පියාගේ සමාජානුයෝජනය මත වේ. එහෙයින් ව්‍යවස්ථාදායකය නියෝජනය කළ යුත්තේ කවරුහු ද, නොකළ යුත්තෝ කවරහු ද යන්න තෝරා බේරා ගැනීමට අද වන විට අප අපොහොසත්ව ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හුදෙක් කතා සාප්පුවක් පමණක් යැයි හඳුනා ගැනෙන්නේ ද එහෙයිනි.

 ඡන්ද දායකයකු වශයෙන් පමණක් නොව පුරවැසියකු වශයෙන් ද අප අපගේ භූමිකාව හරිහැටි තේරුම්ගෙන නොමැත. රටෙහි එකම උරුමකරුවන් බවට දේශපාලකයන් පත්කොට අප අත් පිස දමාගත් කර්මය අද අපි සියල්ලෝම එක සේ විඳවන්නෝය. වසර හැත්තෑ පහක් ම පාලකයෝ මෙරට උරුමකරුවෝ කළ අප රටෙන් බිම් අඟලෙන් අඟල විකුණා දමන විටත් නිවට නියාලුවන් සේ ලබා සිටියෙමු. එසේ ම දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යාපෘතීන්ට මුවා වෙමින් සහ රාජ්‍ය දේපළ කොල්ලකමින් තම රෙජීමය සුපෝෂණය කරගත් පාපී දේශපාලකයන් මෙන් ම ඒ වටා රැස්ව සිටි සාමාන්‍ය මහජනතාව ද මෙයට වගකිව යුත්තෝය. පුරවැසි වගකීම් නිසි අයුරින් ඉටු නොකොට අද මෙම උද්ගතව ඇති තත්ත්වයට 225 දෙනකුට පමණක් ඇඟිල්ල දික් කිරීම සර්ව සාධාරණ නොවන්නේය. රට පුරා දිනෙන් දින ඉහළ යන ඉන්ධන පෝලිම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ද වළක්වා ගත හැකි වන්නේ අප විසින් පුරවැසි වගකීම් නිසි අයුරින් ඉටු කරන්නේ නම් පමණකි. ඉතා දිගු අවසානයක් නොදකිනා තරමට ඉන්ධන පෝලිම් රට තුළ නිර්මාණය වී ඇත්තේ කළු කඩ මාෆියාකරුවන්ට පිං සිදුවන්නටය. දිනපතා ඉන්ධන හල් අසළ රුඳී සිටිමින් ඉන්ධන ඉහළ මිල ගණන් යටතේ තවත් සාමාන්‍ය මිනිසකුට විකිණීමට තැත් කරනා මහජනතාවක් සිටිය දී පාලකයන්ගෙන් පමණක් සාධාරණය පැතීම අපුලසහගතය.

 මෙපමණක් ද නොව වාර්ගික දේශපාලනය ඉදිරියට ගෙන එමින් තමා වටා සිටිනා අන්‍යාගමික සහෝදරයා දෙසට සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට අපට අරගලය ආරම්භ කරනා තෙක්ම කල්බැලීමට සිදු වීම කෙතරම් නම් ඛේදජනක වන්නේද? 1956 වර්ෂයේ සිට හඳුන්වා දුන් ජනවාර්ගික දේශපාලන ප්‍රවාහය ද ඒ වටා රැස් වූ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව ද මෙම උත්ගතව ඇති තත්ත්වයට වග උත්තරකරුවන් කළ යුතුය. එසේ ම තම තමන්ට ආවේණික දේශපාලන මතවාදය කරපින්නා ගත් ශ්‍රී ලාංකිකයන්ට සර්ව ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අමතකව ගොස් තිබුණි. ධනවාදී ලිබරල් දේශපාලන මතවාදයත්, සමාජවාදී කොමියුනිෂ්ට් දේශපාලන මතවාදයත් දෙකොණෙහි ගැට ගසාගත් අපි මේ වනවිට කරමුලටම සිරවී සිටින්නෙමු. එහෙයින් මෙම අර්බුදය නිර්මාණය කරවූවෝ ව්‍යවස්ථාදායක නියෝජිතයෝ ම පමණක් නොවෙති. රාජ්‍ය සේවකයන් විසින් ද පුරවැසියන් වශයෙන් ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම් හරිහැටි තේරුම් නොගැනීම ද මෙම අර්බුදයේ කූඨප්‍රාප්තිය සනිටුහන් කිරීමට හේතු වී ඇත. බහුතරයක් රාජ්‍ය සේවකයන් අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතාවයන්ට හසුවූවෝය. එසේ ම ඉහළ වපසරියක ප්‍රසාරණය වී ඇති අකාර්යක්ෂම රාජ්‍ය සේවය ද ශ්‍රී ලංකාවට අත්ව ඇති මෙම ඛේදනීය ඉරණමට හවුල්කරුවන් වී ඇත. තම බඩගෝස්තරය රැක ගැනීමටත්, පටු දේශපාලන අරමුණු සහ අවශ්‍යතාවයන් මුදුන්පමුණුවා ගැනීමේ වුවමනාවත් හේතුවෙන් අප විසින් බිම ඇද දමා ඇත්තේ ස්වයංපෝෂිත ආර්ථිකයකින් ආඪ්‍ය වූ සුපෝෂිත නිදහස් රාජ්‍යයකි.

 එසේ නම් උද්ගතව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුදයට 100% ක් වගවිය යුත්තේ දියවන්නාව නියෝජනය කරන්නවුන් පමණක් ම නොවන්නේය. ඔවුන් වටා එක් රැස් වූ ඉහළ රාජ්‍ය සේවකයාගේ සිට පහළ රාජ්‍ය සේවකයා දක්වා වූ පිරිසත්, අනෙකුත් සාමාන්‍ය සුළු සේවකයනුත් මෙම අර්බුදයේ දායකාරකාදීහුය. මේ වනවිට ආණ්ඩු විරෝධීව ක්‍රියාත්මක වන අරගලය හුදෙක් බලයට පත්වනා නායකයන් පන්නා දැමීමම පමණක් අරමුණු නොකොට ගත යුතුය. මෙය හුදෙක් බඩ වියත රැක ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක නොවිය යුත්තක් වනවා සේම අනාගත දරු පරපුරට නිදහස් සුපෝෂිත රාජ්‍යයකට ඇති හිමිකම සපථ කිරීමට හේතු වන්නක් විය යුතුය.

 ඒ අනුව මහජන නියෝජිතයන් 225 දෙනාම පමණක් නොව හරිහැටි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වත් නොකියවා කතිරය ගසනා බොහෝ දෙනා මෙන්ම තම අවශ්‍යතාවය වෙනුවෙන් මහජන ස්වාධිපත්‍ය දේශපාලකයන් ඉදිරියේ උකසට තබනා සියලු මහජනතාව ද මෙම අර්බුදයේ කොටස්කරුවෝය. මොහොතකට සිතා බැලිය යුතු කාරණය වන්නේ ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ සැබෑ සත්‍යවාදියකු වේ නම් පමණක් ඔබට අනෙකා විවේචනය කිරීමේ පුරවැසි අයිතිය නිතැතින්ම හිමිවන වගය. එනයින් මරණ මංචකයේ ඇද වැටී ඇති ලක් මව සමග සිදුකළ අපුල දේශපාලන ක්‍රීඩාවේ පරාජිතයා ස, පමණක් ම නොව එහි පරාජිතයෝ අපි සියල්ලෝ ම වන්නෙමු.


 සහය කථිකාචාර්ය
 ජේ.එච්.එස්.ටී. ජයමහ
 දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

 සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment