‘ජනතාව කියන දේ ඇහෙන්නෙ නැත්නම් තේරෙන විදියට කියන්න අපි සූදානම්’

529

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු – වසන්ත මුදලිගේ

දෙසීය විසිපහම එපා කියන්නෙ මේ ක්‍රමවේදයම එපා කියන එක

ගෝඨාභයට මේ ඩීල්එක ඇතුලෙ ඉඳන් ආරක්ෂා වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ

පැවති සෑම ආණ්ඩුවකම මර්දනයේ යකඩ සපත්තුවලට පෑගෙමින් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය මතු පරපුර වෙනුවෙන් අත් කරගත් ජයග්‍රහණ බොහෝය. ලෙයින් කඳුලින් සටහන් වූ එම සටන් ඔස්සේ පන්නරය ලැබූ ඔවුන් මේ මොහොතේ රටේ පවතින දේශපාලන අරාජිකත්වය සහ ආර්ථික කඩා වැටීම හමුවේ පැන නැඟුණ ජනතා අරගලයට සාධනීයව මැදිහත්ව සිටිනු පෙනෙයි. සමස්ත අරගලය හමුවේ අසෙන ඒ හඬ බැහැර කළ නොහැකි එකකි. මේ එම හඬ නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අප සමග සම්මුඛ සංවාදගත වූ අයුරුය.

● අරගලයේ ආසන්න ජයග්‍රහණය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත්ම. දැන් නව අගමැතිවරයෙක් රජය භාරගෙන තිබෙනවා. අරගලයේ පාර්ශ්ව මේ වෙනසත් එක්ක තෘප්තිමත් වෙනවද?

රටේ ජනතාව පාරට බැස්සෙ ඇයි කියන තැන ඉඳන් අපි ඔය ප්‍රශ්නයට උත්තර හොයන්න ඕන. හේතුව පහුගිය කාලේ ගොවියගේ පැත්තෙන් මුහුණ දුන්න ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. ධීවරයගේ පැත්තෙන්, රාජ්‍ය සහ පෞද්ගලික සේවකයගේ පැත්තෙන් මුහුණ දුන්න ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. ශිෂ්‍යයාගේ පැත්තෙන් වගේම මේ රටම මුහුණ දුන්න ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. ඒ ප්‍රශ්න සමග විවිධ සටන් පාඨ සමග හැමෝම සටන් කළා. ඒ එක එක සටන් පාඨ එකතු වෙලා හැදුණ ඉල්ලීම තමයි මේ ආණ්ඩුවම ගෙදර යන්න ඕන, ගෝඨා ගෝ හෝම් කියන තැනට මේ අරගලය ආවේ. ඒ සටන් පාඨයත් එක්ක විවිධ ක්‍රියා මාර්ග තේරුවම ආණ්ඩුවට සිදුවුණා ජනතාව ඉස්සරහ දණ ගහන්න. කැබිනට් එක පළවෙනි මොහොතේ අයින් වෙන්නෙ ඒ නිසා. මහ බැංකු අධිපති අයින් වෙන්නේ ඒ නිසා. අවසානයේ ඒක අගමැතිවරයා ඉල්ලා අස්වීම දක්වාම ගේනවා. මේවා තාවකාලික ජයග්‍රහණ වුණාට ජයග්‍රහණයේ වැඩි පංගුව තියෙන්නෙ ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වීම තුළින්. ඔය තත්ත්වය ඇතුලෙ තමයි අපට නව අගමැතිවරයෙක් දිවුරුම් දීම හමුවෙන්නෙ. ඉතින් මේ පත්වුණ අගමැතිවරයා කවුද? මේ අගමැතිවරයා තමයි ලංකාවේ පස් වතාවක් අගමැතිවරයා වෙලා මේ ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැරි වුණු පුද්ගලයා. ඒ වගේම පාස්කු ප්‍රහාරය වෙන වෙලාවෙත් රටේ අගමැති මොහු. නිකන් නෙවෙයි දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ බලතල හොඳට තිබුණ අගමැතිවරයෙක්. ඒ වගේම මේ වෙද්දි ඩොලර් හිඟය කියල ආර්ථික අර්බුදය ඇතිවෙන්න එක හේතුවක් මහ බැංකු මංකොල්ලය. මහ බැංකුවේ රටේ මුදල් මංකොල්ලකාපු වෙලාවේ රටේ හිටිය නායකයා තමයි මේ ඉන්නෙ. ඒ වගේම පහුගිය මැතිවරණයේදී අවම වශයෙන් මහජන ඡන්දයකින් පත්වෙන්න බැරි වුණ එකම මන්ත්‍රී ධුරයක් පමණක් තිබෙන පක්ෂයේ නායකයා. ඉතින් ජනාධිපති ඇයි මේ වගේ පුද්ගලයෙක් රටේ අගමැති විදියට තෝරගත්තෙ. ඒ නිසා මේ අගමැති පත්වීම අරගලයට කිසිම පිළිතුරක්වත් අරගලය බාල වීමට හේතුවක්වත් රටේ මිනිස්සුන්ට සතුටුවීමට හේතුවක්වත් වෙන්නේ නෑ.

● එවැනි චෝදනා ඉදිරිපත් කරනවානම් ඔබ හිතන්නේ ජනාධිපතිවරයා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහව තෝරාගන්න ඇත්තෙ මොකටද?

ඒකට පළවෙනි හේතුව රාජපක්ෂ චවුර වළල්ල ආරක්ෂා කරගන්න පුළුවන් රාජපක්ෂ බංගලාවේ ඉන්න හොඳම සුවච කීකරු ගෝලයා තමයි රනිල් වික්‍රමසිංහ. මෙයාව එලවන්න තමයි රටේ මිනිස්සු ලක්ෂ හැට නවයක් ඡන්දය දීලා ගෝඨාභයලව ගෙනාවේ. ගෝඨාභයල කිව්වෙ මහ බැංකු හොරු අල්ලනවා කියල. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලනවා කියල. එහෙම කියපු අය ඒ වෙලාවේ බලයේ හිටපු කෙනාවම ගේනවා. අරගලයේ අපි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ යන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කරේ තමන් යන එක නතර කරගෙන ඉන්න පුළුවන් විදියට අගමැතිවරයෙක් පත්කර ගත්ත එක. ඒ නිසා අපි මෙය ඉදිරියේදී අනිවාර්යෙන් පරාජය කරනවා.

ගේඨාභය ජනාධිපතිවරයා ගෙදර යවනවා.

● රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී මේ තත්ත්වය තුළ ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යවනවා නම් අනුප්‍රාප්තික ජනාධිපති බවට පත්වෙන්නෙ රනිල් වික්‍රමසිංහනේ?

මේ අරගලය ඇතුලේ රටේ ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම් කිහිපයක් තියනවනෙ. ගෝඨා ගදෙර යන එක. පහුගිය කාලේ හොරා කාපූ සල්ලි ලබාගන්න එක. විගණනය. විධායක ජනාධිපති ක්‍රමය අයින් කිරීම වගේ යෝජනා. අපි කියන්නෙ, ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න කියන එකත් එක්ක අපි ඉල්ලුවේ මොකද්ද. අපි ඉල්ලුවේ විධායක ජනාධිපති ක්‍රමයත් ඉක්මනින්ම අහෝසි වෙන්න ඕන කියන එක. එතනදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියල කෙනෙක් පවතින්න බෑනෙ. එක එක ඒවා එකින් එක ගන්නෙ නැතුව සම්පූරුණ යෝජනා එකට ගත්තම මේක පැහැදිලි කරගන්න ලේසියි. රටේ ජනතාව මේ කියන්නෙ ගෝඨාභය කියන තනි මනුස්සයාට යන්න කියන එක විතරක් නෙමෙයි. මේ රට අරාජිකත්වයට ගෙන ගිය ගෝඨාභයල වගේ පාලකයෝ නැත්නම් මේ විධායක කියන ක්‍රමය පවා වෙනස් කරන්න ඕන කියන එක. ඒ නිසා තමයි අපි යෝජනා කළේ විධායක ක්‍රමය අහෝසි කරන ගමන් නව ව්‍යවස්ථාවක් හදන්න පවා සාකච්ඡා වෙන්න ඕන කියල. මේ ඔක්කොම සංයුක්තව ගත්තම ගෝඨාභය අයින් වුණා කියල රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ ඉන්නවා කියල අපේ ඔළුවට මැවෙන්නෙ නෑ.

● අලුත් ව්‍යවස්ථාවක් හදන්න හරි, ව්‍යවස්ථාවට සංශෝධන ගේන්න හරි වෙන්නෙ ඔබලා ප්‍රතික්ෂේප කරන මේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරසත් එක්කනෙ. කොහොමද මේක ප්‍රායෝගික වෙන්නේ?

අපිට මේ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ප්‍රශ්න විසඳන්න අසමත්. මේ ව්‍යවස්තවේ නීති රෙගුලාසි නෛතික පදනම් ඕන තරම් තියෙද්දි ඒ ආණ්ඩුම ව්‍යවස්ථාව නොසලකා රටේ මහ ජනතාව පාරට ආවා. එහෙම පාරට ඇවිත් අරගලයක් ඇතුලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කරපු අගමැතිවරයා පවා අයින් කරන තැනට පත්වුණා. එහෙමනම් රටේ ජනතාවගේ බහුතර ඒ හඬ නියෝජනය කරන පිරස සමග සාකච්ඡා කරන්න දැන් පටන් ගන්න ඕන. ඒක කරන්නෙ රනිල්ද, පාර්ලිමේන්තුවේ කමිටි එකක් දාලද, නැත්නම් කථානායක මූලික වෙලාද, අගවිනිසුරු මූලික වෙලාද එහෙමත් නැත්නම් වෙනම මහජන කවුන්සිලයක් හරහාද කියන එක තීරණය කරන්න වෙන්නෙ මේ රටේ පාරට බැහැල ඉන්න විවිධ වූ මේ සංවිධානත් එක්ක. මහ පාරට බැහැල ඉන්න සංවිධාන එකතු කරගත්තු සාකච්ඡා සභාවක් දැන් අපිට ඕන. නැත්නම් මහජන මණ්ඩලයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන සාකච්ඡාව පටන් ගන්න වෙන්නෙ මේ සභාව ඇතුළෙ. ජනතාවට පිළිගන්න පුළුවන් ඉල්ලන වෙනස කරන්න වෙන්නෙ ඒ සාකච්ඡාව ඇතුළෙ විතරයි. මේ තියන පාර්ලිමේන්තුව තුළ මහජන මතය නියෝජනය වෙන්නෙ නෑනෙ. ඒක නිසා ඒක ඇතුලේ අපි මේ කතා කරන ප්‍රශ්න ඇතුළෙ විසඳුම් ලැබෙයි කියල විශ්වාස කරන්න බෑ. ඒකයි අපි කියන්නෙ මේ ඉන්න සියලු පාර්ශ්ව එකතු කරගත්ත ව්‍යුහයක් හදන්න ඕන. එම ව්‍යුහයයි දැන් මේ පාර්ලිමේන්තුවේ නඩත්තු වන ව්‍යුහයයි අතර ඒකාබද්ධ සාකච්ඡාවකින් තමයි මේක කරන්න වෙන්නෙ.

● මේ පිරිසවත් මේක කරයි කියල අරගලයේ නිරත කණ්ඩායම් අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසියම් කණ්ඩායමක් ගැන විශ්වාසයක් තියනවාද?

ඔබ දකින්න ඇති සටන් පාඨයක් පසුගිය කාලේ මේ අරගලයේදී ගොඩක් මිනිස්සු දෙසිය විසිපහම එපා කියල බෝඩ් අල්ලන් හිටියා. ඇත්තටම ඒ සටන් පාඨය ඇතුලේ ප්‍රකාශයට පත්වෙන්නෙ, පසුගිය කාලේ පාර්ලිමේන්තු ක්‍රමවේදයට තියන විවේචනය. මේ ඔළු ගෙඩි දෙසීය විසිපහ කියන එකම නෙමෙයි මේ. ගෙවී ගිය කාලය පුරා රටේ ජනතාවට තිබුණ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු ක්‍රමය තුළ උත්තර ලැබුණද කියන විවේචනය තමයි ඒකෙන් කියවෙන්නෙ. උදාහරණයක් විදියට කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත එද්දී පාර්ලිමේන්තුවේ මතයත්, ඒකට ජනතාවගේ තිබුණ මතයත් අපි දැක්කා. ගුරු වැටුප් ප්‍රශ්නයේදීත් අපි ඒක දැක්කා. රටේ දේපල විකුණද්දී, සමහර ගිවිසුම් අත්සන් කරද්දී, පොහොර කප්පාදු කරද්දී පාර්ලිමේන්තුවේත් රටේ ජනතාවගේ මතයත් අපි දැක්කා. මේතනදී හැම වෙලාවෙම මත දෙකක් විදියට තිබුණෙ. ඉතින් මේ දෙසිය විසිපහම එපා කියන මේ අරගලය ඇතුළේදි කවුරුත් මේ පාර්ලිමේන්තුව ඇතුළේ කවුරුත්ම නිර්දේශ කරන්නෙ නෑ මෙයා ඇවිල්ල කරන්න කියල. සියලු පාර්ශ්ව සාමුහික ක්‍රියාකමක් ඇතුලේ මේ ප්‍රශ්නයට උත්තර හොයමු කියන එකයි අරගලය ඇතුළේ තියෙන්නෙ. මොකද අපි දන්නවා කාටවත් මේ ප්‍රශ්නෙ හෙට විසඳන්න සුපිරි බලයක් නෑනෙ. ඒකට තමයි දැන් සාමුහික සහභාගිත්වය ගැන දැන් සාකච්ඡාවෙමින් තියෙන්නෙ. ඒකට තමයි මේ ආණ්ඩුව හෝ කවුරුත් සාධනීය පිළිතුරක් නොදී තියෙන්නෙ.

‘ජනතාව කියන දේ ඇහෙන්නෙ නැත්නම් තේරෙන විදියට කියන්න අපි සූදානම්’

● අරගලයෙදි මේ කියන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න කියන එකනෙ. එත් එක්කම ජනතාව මේ වටා රොක් වෙන්නෙ ගෑස් නැති වීම, ඉන්ධන නැති වීම, බඩු මිල ඉහළ යෑම වැනි ජීවත්වීමට අපහසු වූ දෛනික ආර්ථික ගැටලුත් එක්ක. නව අගමැතිවරයා දිවුරුම් දුන්න ගමන් කියනවා තමන් මේ ආර්ථික ගැටලු ඉක්මනින්ම විසඳනවා කියල. මේවා විසඳුවොත් අරගලයේ තියන ජවය අඩුවෙයිද?

ඒ වෙලාවේ නව අගමැතිවරයා කිව්ව ප්‍රකාශය අපි දැක්කා. ඔහු කිව්වා, තුන් වේල කන්න පුළුවන් රටක් හදන්න ඕන. තරුණයන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් හදන්න ඕන. රුපියලේ අගය වැඩි කරන්න ඕන. මේ කරුණු තුන කියල හතරවෙනියට ඔහු කිව්වේ ඉක්මනට අයි. එම්. එෆ්. එකෙන් ණය ගන්න ඕන. ඉතින් අයි. එම්. එෆ්. එකෙන් ණය ගන්න එක උත්තරයක් වෙනවද. පහු ගිය කාලේ ණය අරගෙන ගත්ත ණය වාරික ගෙවාගන්න බැරුව එහෙම තමයි මේ අර්බුදය නිර්මාණය කෙරුණේ. ඒක මේ රටේ කාටත් මතක ඇති. සුපිරි වීරයෙක් වගේ අගමැති පුටුවට ආව රනිල් වික්‍රමසිංහ දැන් කියන්නෙ ණය ගන්නවා කියල. ඉතින් ණයක් අරන් කෙටිකාලීනව මේ ප්‍රශ්නය විසඳුවා කියල ඒක දීර්ඝකාලීන උත්තරයක් වෙන්නෙ නෑ.

● ඒක වැරදි නම් ඔබලගේ යෝජනාව මොකක්ද?

අපි යෝජනා කරනවා 2015 ඉඳන් මේ රටේ බදු ගෙවපු නැති සමාගම් තියනවා. ඒ ගෙවල නැති සමාගම්වල නොගෙවූ බදු ප්‍රමාණය රුපියල් කෝටි ගාණක්. අන්න ඒක අය කරගන්න ක්‍රමවේදයක් හදන්න. දැන් ආණ්ඩුවට ඩොලර් නැති වුණාට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ට, හිතවත් සමාගම්වලට ඕන තරම් කළු සල්ලි නැද්ද. ඒ සල්ලි ගන්නෙ නැද්ද. ඒක කරන්නෙ නැතිව අයි. එම්. එෆ්. ගිහින් ණය ගන්නවා කියනවා. රටේ ජනතාවට තුන් වේලම කන්න පුළුවන් වටපිටාවක් හැදෙනවනම් හොඳයි. හැබැයි අපි දන්නවා කයිවාරු ගැහුවට ප්‍රායෝගික තලයේ රනිල්ටවත් ගෝඨාභයටවත් ඕක කරන්න බෑ. ණය විතරක් අරගෙන මේක කරන්න ගියොත් ආයෙත් වටයකින් මීට වඩා දරුණු විදියට අපි වැටෙන්නෙ මේ වළටම තමා.

● අරගලය කරන තරුණ කණ්ඩායම් ඇතුළේ මේ ප්‍රශ්නය විසඳාගෙන යන්න ඊට වඩා සාධනීය විසඳුමක් තියනවද?

මේ අරගලය තුළ අපි ඇතුළු තවත් විවිධ පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. ඔවුන් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපිත් යෝජනා දහතුනක් ඉදිරිපත් කර තිබෙනවා. පොදුවේ මුළු රටේ ඉන්න සියලුම අරගලකරුවන් කියන්නෙ ගෝඨාට ගෙදර යන්න. ඊට පස්සෙ මේ පාර්ශ්ව ඉදිරපත් කළ යෝජනා වලින් ගන්න පුළුවන් යෝජනා මොනවද කියල සාකච්ඡාවට බඳුන් කරල ගන්න. මේ ඉන්න පාර්ශ්වත් පාලනයට සම්බන්ධ කරගමු වගේ එන යෝජනා. මේ සියල්ල සාකච්ඡාවට බඳුන් කරමින් තමයි අපි ඉස්සරහට රට හදන්න අදාළ මැදිහත් වීම කරන්නෙ.

● ඔය මොනව කිව්වත් තමන්ගෙ ධූර කාලය ඉන්නවා කියල ජනාධිපතිවරයා කියා තිබෙනවා. අරගලයත් නතර කරන්නෙ නෑ කියා ඔබලා කියනවා. පාලනයට ප්‍රතිවිරුද්ධව අරගලය, වැඩ වර්ජන නිසා ඇතිවන මේ අස්ථාවරත්වය රට තවත් ආගාධයට ගෙනයෑමනෙ වෙන්නෙ?

ලක්ෂ හැට නවයක් ගත්ත ආණ්ඩුව පළවෙනි මොහොතෙ ජනාධිපතිතුමාට කිව්වෙ පුටින් කෙනෙක්, තරු ගොඩක් තියනවා, මහතීර් මොහොමඩ් නැත්නම් ලී ක්වාන් යූ කෙනෙක් කියලනෙ. ඊට පස්සෙ එයා තමයි හොඳටම කරන්නෙ කියලත් කව්වා. එහෙම කියපු ආණ්ඩුවක අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න වුණා. අරගලයෙදි මේ කරන මැදිහත් වීමත් එක්ක ජනාධිපතිවරයා කියනවනම් ධූර කාලේ ඇතුළේ අයින් වෙන්නෙ නෑ කියල. අපි ඒක කරනවා. අපි ඒක කරන්නෙ මීට වඩා විවිධ දැවැන්ත මැදිහත් වීම් ඇතුළෙ. මොකද අපි ඒක කරනවාම කියල කියන්නෙ අපි අගමැතිව අයින් කරල පෙන්වලා තියනවා. දැන් රටේ ජනාධිපති පාරක් හොයාගෙන තිබ්බට රනිල් වික්‍රමසිංහ දාල තමන් කටුව ඇතුලෙ ඉඳන් ආරක්ෂා වෙන්න, අපි කියනවා එහෙම ආරක්ෂා වෙන්න බෑ රටේ ජනාධිපතිට. පරමාධිපත්‍ය බලය තියෙන්නෙ ජනතාව ළඟ. එහෙම අයින් වෙන්නෙ නෑම කියනවනම් හරි අපි කරල බලමු. මහ පාරේ මැදිහත් වීම් ඇතුළේ කරල බලමු. අපි මේ අරගලයට ආවේ අතරමැදින් නවත්වන්න නෙමෙයි. මොකද රට ආරාජික වෙනවා කියල බොරු පම්පෝරි ගහන්නෙ ආණ්ඩුවනෙ. දැනටත් රට කොහොමත් අරාජිකයි. අරාජික වෙන්න දෙයක් නෑ රට. රට ආරාජික කරල තියෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ. අරාජික වූ රට ගොඩගන්න තමයි ගෝඨාභයට අයින් වෙන්න කියල කියන්නෙ. ඒ සිංහල ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගන්න ඕන මුලින්.

● පාර්ලිමේන්තුව ළඟ හොරු ගෝ ගම පටන්ගෙන විරෝධතාව තාවකාලිකව නතර කරල එතනින් ආවේ නැවතත් අරගලය එතැනට එනවා කියල. නැවත ඒ සටන් පාඨයත් එක්ක අරගලය දියවන්නාවට යනවද?

පාර්ලිමේන්තුව අසල අපි ඒ ක්‍රියාමාර්ගය තේරුවේ ජනතා මතය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා. තවදුරටත් අපි විශ්වාස කරන්නෙ මේ පාර්ලිමේන්තුව ඇතුළේ රටේ ජනතාවගේ ප්‍රශ්නය කතා වෙන්නෙ නෑ කියල. ඉතින් එහෙම නැති තාක් අපිට සිද්ධ වෙනවා මේ රටේ අම්මා තාත්තගේ ප්‍රශ්නය අරගෙන පාර්ලිමේන්තුව අසල ක්‍රියාමාර්ගවලට යන්න. අපි ලෑස්තියි ඒ ප්‍රශ්න අරගෙන අගමැතිගේ ගෙදරටත් යන්න. අපි ලෑස්තියි රටේ ජනාධිපති දැන් ඉන්න තැනටත් යන්න. ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න ජනතාව කියන දේ ඇහෙන්නෙ නැත්නම් ඇහෙන විදියට කියන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බලමණ්ඩලය විදියට ගතයුතු හොඳම ක්‍රියාමාර්ගත් එක්ක මැදිහත් වෙනවා.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment