දෙහදු කඩුල්ලෙන් පැන ගැමුණු කුමරුගේ පිය සටහන් රැඳි කොත්මලේට

415

මේ හිමිදිරිය සීතලය. ගම්පොළ නුවරඑළිය පාරේ පුස්සැල්ලාවේ සිටින අපට ඒ සීතල කොහොමටත් දැණුනේය. හිමිදිරි කාලය යනුම මේ සුන්දර කඳු වැටි කොහොමටත් මීදුම් සේල පළඳින කාලයයි. ඒ සේල උණා දමන්නේ නොඉඳුල් හිරු කිරණත් සමගය. කඳු තරණය කරන්නන් අතර සුපතල මොනරගල කන්දේ සිදුවන මේ සුන්දර විපර්යාසයෙන් අප දෙනෙත් පිනවා ගත්තේ දෙහදු කඩුල්ල වෙත යෑමට අපේ මඟ පෙන්වන්නා වූ හෂාන් පැමිණීමට මදක් ප්‍රමාද වීම නිසාය. ඒ ප්‍රමාදයෙන් අවට පිරිසරය විඳි අපි ක්‍රි. පූ. 180 ත් 161 ත් අතර කාලයේදී සිදුවූ සුවිශේෂී සිදුවීම් පෙළක ජීවමාන සාක්ෂි දරා සිටින පරිසරයකට ළඟා වුණෙමු. මේ ගැමුණු කුමරු ගැමි ජීවිතයක් ගත කරමින් ජීවත් වූ කොත්මලේය.

වර්තමාන කොත්මලේ ප්‍රදේශය එදා අයත්ව පැවතියේ මායා රටටය. ඓතිහාසික මූලාශ්‍ර අනුව අතීත හෙළ දීපය රුහුණු මායා පිහිටි රට යනුවෙන් කොටස් තුනකට බෙදා පාලනය විය. මේ තුන් සිංහලයම එක්සේසත් කළ දුටුගැමුණු නරේද්‍රයාණෝගේ කුමර ජීවිත කාලය හා බැඳි වැදගත් තොරතුරු තිබෙනේනේ මාගම රජ වාසලේ නොව කොත්මලේය. ඒ පෙර සඳහන් මොනරගල කඳු වැටිය පාමුලේ ඇති සුන්දර කොටගපිටිය ගමේය. දෙහදු කඩුල්ලෙන් ඇතුළු වී ගැමුණු කුමාරයා ගිය එම උරුපැලැස්ස කොටගපිටිය ගමට යෑමට ප්‍රථම ඔබ කොත්මලේ ඉතිහාසය දැනගැනීම වැදගත්ය. එවිට ගැමුණු කුමාරයා කොත්මලේ ප්‍රදේශයටම ආවේ ඇයි දැයි තේරුම් ගැනීමට යම් ඉඟියක් ලැබෙණු ඇත.

වර්තමාන කොත්මලය ශත වර්ෂ ගණනාවකට පෙර අතීතයේදී යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වූ පළාතක් බව ජනප්‍රවාදවල කියැවෙන්නේය. එම ඉතිහාසය පඬුවස්දෙව් රජුගේ රාජ්‍ය කාලය දක්වාම පැරණිය. එකළ හෙලදිව බලවත්ව සිටි ගෝත්‍රයන් වන්නේ යක්ෂ නාග සහ සිංහ යන ගෝත්‍රයන්ය. මේ ගෝත්‍රයන්ගෙන් යක්ෂ ගෝත්‍රයට අයත් ජනයා වැඩි වශයෙන් ජීවත්වූ පළාතක් ලෙස කොත්මලය ප්‍රසිද්ධව ඇත. යක්ෂ ගෝත්‍රිකයන් යකඩ කර්මාන්තය පිළිබඳ දැනුමක් ඇති ජන කොටසක් ලෙස පිළිගැනීමත් කොත්මලේ ප්‍රදේශයේ යකඩ නිෂ්පාදනයට යොදා ගන්නා යපස් නිධි පැවති බවට සාධක තිබීමත් නිසා එම තොරතුරු නිවැරදි යැයි සිතිය හැකිය. එම මතයට වඩාත් රුකුල් දෙන රසවත් ජනප්‍රවාද කතාද කොත්මලේ පැරණි ජනයා අතර තවමත් ප්‍රසිද්ධය. ඒ කතා අතරින් මේ ප්‍රදේශයට “කොත්මලේ” යන නම හැදුණු හැටි කියැවෙන කතාව අපට වැදගත්ය. එය සිදුවී තිබෙන්නේ කවර කලෙකද යන්න හරි හැටි නොකියවෙතත් ශත වර්ෂ ගණනාවකට ඉහත මේ ප්‍රදේශයේ ගුරුකම්වලට හපන් ගුරුන්නාන්සේ කෙනෙක් වාසය කර ඇත. ඔහු තොවිල් වැඩක් නිම කර මේ කඳුවැටිය දිගේ එන විට දැක ඇත්තේ කන්දෙන් මහා අග්නි දහරාවන් තුනක් විදාරණය වන අයුරුය. ඒ අග්නි ගිනි සිළු තුන කොතක හැඩයෙන් විහිදෙන විට එය මහත් ආශ්චර්යක් යැයි සිතූ ගරුන්නාන්සේ තමා කරේ තිබූ යක් බෙරය ගෙන ගසන්නට විය. ඒ බෙර හඬ ඇසී පැමිණි ගම්මුන්ට දැක ගත හැකි වූයේ කන්දෙන් ගිනි සිළු පිටවන අයුරුය. කොතක හැඩයට එම ගිනි සිළු නැඟීම නිසා එම සිදුවීමෙන් පසු මේ ප්‍රදේශය කොත්මලය ලෙස ව්‍යවහාර වූ බවට වන කතාව මෙහි අදත් ජනප්‍රියය. ඇතැම් ගැමියන් අපට කීවේ එදා කොත් ආකාරයෙන් ගිනි සිළු නැඟි තැන අද කොත්තුන්ගොඩ නමින් හඳුන්වනවා කියාය. මේ ජනප්‍රවාද කතාව වඩා වැදගත් වන්නේ වර්තමානයේදීද දැක ගත හැකි විශාල වළවල් එම කොතුන්ගොඩ ස්ථානයේදී දැකගත හැකි වීමය. ඇතැම් විට එම වළවල් නිර්මාණය වන්නට ඇත්තේ භූ ගර්භය අභ්‍යන්තරයේ සිට පැමිණි මැග්මා පිටවීමක් නිසා වන්නට ඇත.

එම පුරාවෘත්තයෙන් ශතවර්ෂ ගණනාවකට පසු එළාර නැමති චෝල සම්භවයක් සහිත ආක්‍රමණිකයා අනුරාධපුර අගනුවර කරගෙන මේ රටේ එක් කොටසක් පාලනය කළේය. එම කාලයේද කොත්මලේ වැඩි වශයෙන් ජීවත්ව ඇත්තේ යක්ෂ ගෝත්‍රයට නෑකම් කියන ජනතාවමය. ඒ සමයේ කොත්මලේ පැවතියේද මාගම රාජ්‍ය පාලනයට යටත්වය. ගැමුණු කුමාරයා කොත්මලයට පැමිණීමට හේතු වූයේ එම ආක්‍රමණික එළාර රජු සමග යුද වැදීමට පිය රජු වන කාවන්තිස්සගෙන් කීප වරක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවුණු සිදුවීමෙන් බව කවුරුත් දන්නා කතාවකි. ගැමුණු කුමාරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු පිය රජු නිවටයෙකැයි හඟවා පිය රජුට කාන්තා ඇඳුම් යැව්වේ යැයි ඉතිහාසයේ ඇත. එයින් උරණ වූ කාවන්තිස්ස රජු ගැමුණු කුමරු දුෂ්ඨ ගාමිණී යැයි පවසා ඔහුව සිපිරි ගෙයි තැබීමට අණ කරන ලද්දේය. වංශ කතාකරුවන්ට අනුව ගැමුණු කුමාරයා මාළිගයෙන් පැන ආවේ එම දඬුවමින් බේරීමත් සිතේ ඇති වූ කලකිරීමත් නිසාය.

ඒ කුමක් වෙතත් ගැමුණු කුමරු මාගමින් පැනවිත් නාඹර තරුණ විය ගෙවා දැමුවේ මේ මනස්කාන්ත පරිසරයෙන් යුත් කොත්මලේය. අප දැන් පැමිණ සිටින්නේ ගැමුණු කුමරු එදා මාගම සිට ගිනිමලය දෙසින් පළාවිත් ඌරුපැලැස්ස ග්‍රාමයට ඇතුල් වූ කඩදොර හෙවත් දෙහදු කඩුල්ල අසලය. වර්තමාන කොත්මලේ ජලාශයට ඉහළින් කොත්මලේ ජලාශය නැරඹුම් ස්ථානයට ආසන්නව එය පිහිටා ඇත. පුරාවිද්‍යා අධිකාරිය විසින් සරංක්ෂණය කර තිබෙන එම පිවිසුම් ද්වාරය අදටත් මනා ශක්තිමත් ගාම්භීර පෙනුමකින් යුතුය. විශාල කළු ගලින් ක්‍රමවත්ව ඉදිකර පැවති එය අතීත ජන ජීවිතය ගැනත් එකළ ආරක්ෂක විධි ගැනත් නිහඬ කතාවක් කියන්නේය. සැබවින්ම එදා මාගමින් මායා රටට ඇතුල්වීමට කඩදොර වැනි පිවිසුම් ස්ථාන හතරක් තිබී ඇත. ඉන් අනෙකුත් පිවිසුම් දොරටු වන්නේ නියම්ගම් දොර, ගල් දොර සහ වට දොරය. මේ ස්ථාන තුනම කාලාන්තරයක් තිස්සේ විඳි සොබාදහමේ නේක උපද්‍රවවලින්ද මිනිස් ක්‍රියාකාරකම්වලින්ද විනාශව ගොස් වර්තමානයේ දැකගැනීමට නොහැකි මුත් කඩදොර අදද එලෙසම දැකගත හැකිය.

දෙහදු කඩුල්ලෙන් පැන ගැමුණු කුමරුගේ පිය සටහන් රැඳි කොත්මලේට
මහේෂ්

කඩ දොරට ඒ නම් ලැබුණේද ගැමුණු කුමාරයා නිසා යැයි කතාවක් ඇත. කුමරුගේ මඟුල් අසිපත ගමට ඇතුවීමට ප්‍රථම මෙහි සැඟවීම නිසා කඩු දොර පසුව කඩ දොර බවට පත් වූ බව ඉන් එක් කතාවකි. තවත් කතාවක කියැවෙන්නේ කුමරුගේ කඩුව ඒ අසල නුග රුකක සැඟවූ විට එම නුග ගස දෙකඩ වූ බවය. කඩුව නිසා නුගය දෙකඩ වීම මත මෙතැනට දෙහදු කඩුල්ල වූ බව අනෙක් කතාවය. ඒ යටගියාව කෙසේ නිර්මාණය වුණත් අප දෙහදු කඩුල්ල ළඟ මදක් විවේකීව හිඳ එදා ගැමුණු කුමරු මෙම ස්ථානයට පැමිණි අයුරු මනසින් දැක ගැනීමට උත්සහ කළෙමු. සුරනිමල නැමති යෝධයා සමග පැමිණි ගැමුණු කුමරු කොත්මලේ කඳු වැටිය අසලදී ස්වකීය රාජාභරණ ගලවා රාජකීය වෙළඹත් සමගම සුරනිමලට භාර කළ අයුරු.., එතැන් සිට ගැමියෙකුගේ වෙස් ගෙන පැමිණි කුමරු කඩ දොර අසලදී මඟුල් කඩුව සඟවන අයුරු.. කඩදොරින් ඇතුළුව ගල් පඩි දිගේ කුමරු ඌරුපැලැස්ස සොයා යන අයුරු… සැබවින්ම මේ සියල්ල සිතුවම්පට සේ මැවෙන්නේ එදා පැවති බවට සිතින් මවා ගත හැකි පරිසරයක් අදද දෙහදු කඩුල්ල සමීපයේ දිස්වන නිසාය. කඳු දුර්ගවලින් වටව පවතින මේ ප්‍රදේශය එකළ සිටම පර සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂාව සිටීමට කදිම පළාතක් විය. ගැමුණු කුමාරයා මාලිගයෙන් පලා විත් ආරක්ෂාකාරීව සිටීමට කොත්මලේ තෝරා ගැනීමේ එක් හේතුවක් වන්නට ඇත්තේද එය වන්නට ඇත.

දෙහදු කඩුල්ල දැක බලා ගැනීමෙන් පසු අප ගියේ ගැමුණු කුමාරයා ගැමි ජීවිතය ගෙවූ කාලයේ ස්නානය කළ රජ පිහිල්ල දැකගැනීමටය. ගැමි මිහිරියාව මදකුදු අඩු නොවූ ගම්මානයක් පසු කරමින් එක් පැත්තකින් කන්දකින්ද අනෙක් පැත්තෙන් කොත්මලේ ජලාශයටද මායිම් වන වෙල්යායක් මැද නතර විය. හෙල් මළු ක්‍රමයට සකස් කර අස්වද්දා පැවති එම කෙත්වතු යායේ හරිත පැහැය දකින අප කාගේත් සිතට ගෙනාවේ අමුතුම ආශ්වාදජනක හැඟීමකි. මාවෙල නමින් ඉතිහාසයේ සඳහන් ගැමුණු කුමරු තනිවම අස්වද්දා ඇත්තේ මේ වෙල්යායය. ඉපැරණි රජ පිහිල්ල නැතිනම් රණමුණේ පිහිල්ල පිහිටා ඇත්තේද මේ මාවෙල මැද්දේය. ඔබ ඒ හරිත පැහැගත් හෙල් මළු කෙත් වතු යාය මැදින් ඉහළට ගිය විට කාලාන්තරයක් මුළුල්ලේ නොකඩවා ඇද හැලෙන රණමුණේ පිහිල්ලේ රීදි පැහැ දියදහර දැකගත හැකිය. එදා ගැමුණු කුමරු ගුප්තා නමින් මාවෙල අස්වද්දා විඩා නිවාගැනීමට සවස් කාලයේ දිය නා ගත්තේ මේ රණමුණේ පිහිල්ලෙන්ය. ගැමුණු කුමරු දොළොස් වසක් ඌරුපැලැස්සේ ගෙවූ ජීවිතයේදී රන්මැණිකාත් කුඩා සාලිය කුමාරයාත් සමග මේ අවට ඕනෑ තරම් පිය සටහන් තබන්නට ඇත.

ඇත්තෙන්ම ඉතිහාසය පිළිබඳ අභිරුචියක් දක්වන සංචාරකයන් පමණක් නොව පාසල් දුවා දරුවන්ද දැක බලා ගත යුතු ස්ථාන වන්නේ මෙවැනි ඓතිහාසික සිදුවීම්වල මකත ඇති ස්ථානයන්ය. නමුත් වර්තමානයේ අප දැක ඇත්තේ පාසල් අධ්‍යාපන චාරිකා පවා සංවිධානය වන්නේ දැණුම එක්කරගත හැකි මෙවැනි වටිනා ස්ථාන කරා නොවේ. රණමුණේ පිහිල්ලට ඉහළින් ඇති ඉපැරණි අම්බලමේ ගිමන් හරිමින් මේ ගමනට එක්වූ නිමල් ෆැන්සිස් සහ ජයනාත් බෝදාහන්දි සහෘදයන් සමග අප කතා කළේ එයයි. පැසල් ඉතිහාස පොතෙන් පවා අපේ ඉතිහාසයේ මේ උත්තුංග කාල පරිච්ඡේදය ගලවා දැමූ අතීතයක් ඇති අපට මේ වටිනා පරිසරය දැක ගැනීමට හැකිවූයේ කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මහේෂ් ගල්ඒදණ්ඩ සහ ශ්‍රී මවුන්ට් හෝටලයේ රවීන්ද්‍ර හිතුවතුන් දැක්වූ නොමසුරු සහයෝගය නිසාය. රණමුණේ සහ දෙහදු කඩුල්ල යන ඓතිහාසික ස්ථාන දැක ගැනීමට පැමිණෙන සංචාරකයන්ට ඉතා ආසන්නම සංචාරක නවාතැන ශ්‍රී මවුන්ට් හෝටලය බැවින් සාධාරණ මිල ගණන් යටතේ එහි නවතැන් පහසුකම් සහ මාර්ගෝපදේශන සේවා ලබාදෙමින් ඔවුන් දක්වන සේවයද ඇගයිය යුතුය. කිසිදා නොසිඳෙතැයි කියන සිසිලැති රණමුණේ පිහිල්ලෙන් ඇදහැලෙන දියෙන් විඩා නිවා අප රාජකීය පහස ලද මාවෙල මැදින් නික්මුණේ කොත්මලේ පුරාවෘතවල සැඟවුණු එවැනි තවත් වටිනා ස්ථානයක් කරා යෑමටය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment