දෙහිවල පරෙවි අබිරහස මරණ පරීක්‍ෂණයෙන් එළියට

1112

දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ අනවසරයෙන් පවත්වාගන යනු ලබන පරෙවි කූඩුවක මව සමග සිටි කුඩා පැටවුන් දෙදෙනකුට බලහත්කාරයෙන් බඩ ඉරිඟු කැබලි කැවීම නිසා මියගොස් ඇතැයි සත්වෝද්‍යාන නිලධාරියෙකු පැවසීය.

මීට සති කිහිපයකට පෙර සත්වෝද්‍යානය තුළ පෞද්ගලිකව පරෙවි කූඩුවක් පවත්වාගෙන යන බවට මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසු එහි විමර්ශන කටයුතු සිදු කරමින් සිටින මොහොතක එම කූඩුවේ සිටි කුඩා පරෙවි පැටවුන් දෙදෙනකු අබිරහස් ලෙස මිය යෑම කිසියම් කුමන්ත‍්‍රණයක් විය හැකි බැවින් එම පැටවුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලැබිණි.

ඒ අනුව කූඩුවේ සිටි පැටවුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන පශූ වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර එම වාර්තාවට අනුව පැටවුන්ගේ ගොජුර ප‍්‍රදේශයේ විශාල ප‍්‍රමාණයේ බඩ ඉරිඟු ඇට කැබලි එකතු වී තිබීමෙන් සිදුවූ අපහසුතා හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බව අනාවරණය කර ගන්නට හැකි වී ඇතැයි එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

පරෙවි පැටවුනට කුඩා කාලයේදී මව් කිරිල්ලිය විසින් පමණක්ම ආහාර ලබා දීම සිදුකෙරුණද මෙහිදී කුමණ හෝ ක‍්‍රමයකින් මෙම පැටවුන් දෙදෙනාට බලහත්කාරයෙන් බඩ ඉරිඟු ඇට විශාල ප‍්‍රමාණයේ කැබලි කවා පැටවුන් ඝාතනය කිරීමට සැලසුම් සහගත ලෙස සිදු කළ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවත්, ඒ තුළින් මේ වන විට සිදුවෙමින් පවත්නා විමර්ශන කටයුතු වෙනතකට යොමු කිරීමේ යටි අරමුණක් තිබිය හැකි බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පාලනාධිකාරිය මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඔවුහූ පෙන්වා දෙති.

මේ පිළිබඳ සත්වෝද්‍යානය අධ්‍යක්ෂක ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසීමේදී මෙය අභ්‍යන්තර ප‍්‍රශ්නයක්. සත්වෝද්‍යානය තුළ සිදු වූ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා. එම පරීක්ෂණ කටයුතුවලට සහාය දක්වමින් මා මේ අවස්ථාවේ කිසිවක් ප‍්‍රකාශ කරන්නේ නැතැයි පැවසුවාය.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment