දෙහිවල මුහුදේ ඛේදවාචකය: අඩි 15 ක් දිග කිඹුලෙකු පුද්ගලයෙකු කටින් අල්ලාගෙන ඉන්නවා දුටුවා

787

තවත් කිමිඳුම්කරුවෙක් සාක්‍ෂි දෙයි

මම වසර 33 ක කාලයක සිට කිමිඳුම් රැකියාව කරනවා. පදිංචිය අනතුර වූ ස්ථානය ආසන්නයේමයි. ජනවාරි 3 දා දහවල් 11.00 ට පමණ මම නිවස අසල රැඳී සිටියදී පුද්ගලයකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට හිතවතෙකු මාර්ගයෙන් දැන ගත්තා. ඒ සමගම මම තවත් පිරිසක් සමග එම ස්ථානයට යද්දී දැක්කා කිමිදුම්කරුවන් භාවිතා කරන පාද ආවරණයක් වෙරළේ සිට මීටර් සීයක් පමණ දුරින් මුහුදේ පාවෙනවා. ඒ ආසන්නයේ කිඹුලෙකුද සිටිනව දැක්කා.

ක්ෂණයකින් මම තව කීප දෙනකුත් ඒ අසළ නවතා තිබූ බෝට්ටුවක් රැගෙන කිඹුලා රැඳී සිටින ස්ථානයට ළ`ගාවන විට අඩි පහළොවක් පමණ දිගින් යුත් කිඹුලකු පුද්ගලයකු කටින් අල්ලාගෙන ඉන්නව දැක්කා. අපි කිඹුලා ඉන්න තැනට එකවරම ගියේ නැහැ. අපේ බෝට්ටුවටත් පහර දීලා අනතුරක් කරවිය කියලා සැක සිතුණු නිසා.

පසුව හෙමින් හෙමින් බෝට්ටුව කිඹුලා ආසන්නයටම ගිහින් බෝට්ටුවේ ඇන්කර් එක කිඹුලගේ සිරුරට දැම්මා. නමුත් පැටලූණේ නැහැ. ඒ සමගම කිඹුලා අර පුද්ගලයාත් රැගෙන විනාඩි දහයක් පමණ දිය යටට ගොස් නැවත මතු වුණා. ඒ සමග නැවතත් බෝට්ටුව කිඹුලා සිටින ස්ථානයට ළං කරල එක්වරම නැවත ඇන්කර් එක දැම්මා. ඒ අවස්ථාවේදී ඇන්කර් එකට කිඹුලා හිර වුණා. ඒ සමගම බෝට්ටුව දියඹ දෙසට වේගයෙන් ධාවනය කිරීමත් සමග අල්ලා සිටි පුද්ගලයා කිඹුලාගෙන් අතහැරුණා. ඒ සමගම අපි ක්ෂණයකින් ක‍්‍රියාත්මක වී අනතුරට පත් පුද්ගලයා අපි බෝට්ටුවට පටවාගෙන ගොඩබිමට රැගෙන ආවා. එම අවස්ථාවේදී තමයි දැනගත්තේ අනතුරට ලක්ව සිටින්නේ කිමි`දුම් රස්සාවේ යෙදෙන ජයන්ත බව. ඒ වනවිට ජයන්තගේ නහයෙන් සුදු පාට සෙම වැනි යමක් පිටව තිබුණා.

පසුව කිමි`දුම් රස්සාවේ යෙදීමට පැමිණි තවත් පුද්ගලයන් හතර දෙනකු සහ අවට සිටි පිරිස දැනුවත් කොට වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා.

පසුව ප‍්‍රතිකාර ස`දහා ජයන්ත කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. සිද්ධිය ඇසින් දුටු කිමි`දුම්කරුවකු වන දෙහිවල දුම්රියපළ පාරේ කන්නපුලිගේ නන්දන කුශාන්ත මහතා දෙහිවල මුහුදු තීරයේ ප‍්‍රදේශයේදී සුරතල් මසුන් අල්ලමින් සිටියදී කිඹුලකුගේ ග‍්‍රහණයට හසුව මරණයට පත් කිමි`දුම්කරුවකුගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන වීරසේන සිල්වා මාවතේ, අරලිය නිවාස, අංක ත්‍ 5 හි පදිංචි කිරුළපනගේ සෝමසිරි පීරිස් (56* නමැති කිමි`දුම්කරුවෙකි.

මෙම පුද්ගලයා ඉකුත් 03 දා උදෑසන දෙහිවල දුම්රියපළ පිටුපස ගොඩගල අසල මුහුදු කලාපයේ විසිතුරු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ කිමිදෙමින් සිටියදී කිඹුලෙකුගේ ග‍්‍රහනයට හසුව අනතුරකට ලක්ව තිබුණි.

අනතුරින් මියගිය පුද්ගලයාගේ වම් අතෙහි උරහිස සහ වැලමිට අතර සිරුරේ ස්ථාන කිහිපයක සිදුරු වූ තුවාල කැළල් කිහිපයක් දක්නට තිබූ අතර වම් අත බිඳී ගොස් තිබුණි.

 පසුව තවත් කිමි`දුම්කරුවන් කිහිප දෙනකුගේ ආධාරයෙන් ග‍්‍රහනයට ලක්ව තිබූ පුද්ගලයා කිඹුලාගෙන් මුදාගෙන ප‍්‍රතිකාර ස`දහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහිදී මියගොස් ඇති බවට හඳුනාගත් පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් (04) දා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකෙරිණි.

මෙහිදී පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය බී. ඇන්. ටී. ඇම්. බෝරුක්ගම මහතා විසින් ලබාදී තිබුණි.

එහිදී සාක්ෂි දෙමින් මියගිය පුද්ගලයාගේ බිරිඳ වන ලක්ෂ්මි පෙරේරා (52) මහත්මිය මෙසේ කීවාය.

මේ මියගොස් සිටින්නේ මගේ සැමියා. මීට වසර තිහකට පමණ පෙර අපි විවාහ වුණා. අපිට එක දරුවෙක් ඉන්නවා. අපි ජීවත් වුණේ විසිතුරු මසුන් අලෙවි කිරීමේ ව්‍යාපාරයකින්. මා සමඟ විවාහ වීමටත් පෙර සැමියා එම රැකියාවේ නියැළී සිටියා. දෙහිවල මුහුදේ තමයි රැකියාව කළේ.

මුහුදේ කිමිදෙමින් මේ විසිතුරු මසුන් ඇල්ලූවෙ. ඒ සඳහා සැමියා ඔක්සිජන් ටැංකි භාවිතා කළේ නැහැ. කිමි`දුම් ඇඳුමක් සහ ඒ සඳහා අවශ්‍ය පා වරල් පමණයි භාවිතා කළේ.

සුපුරුදු පරිදි 03 දා උදෑසන රැකියාවට ගියා. දවල් 12 පමණ ගෙවල් ළඟ හිතවතෙක් ඇවිල්ලා මට කිව්වා මගේ සැමියාට කිඹුලෙක් පහර දීලා කළුබෝවිල රෝහලට රැගෙන ගියා කියලා. ඒ අනුව සැමියාගෙ නංගිත් සමග මම කළුබෝවිල රෝහලට ගියා. එහිදී වෛද්‍යවරුන් මට කීවා සැමියා කිඹුලකුගේ පහරදීමකින් මියගොස් ඇති බව. මරණය පිළිබඳව මට සැකයක් නෑ.

ඒත් මේ දුක මම දරාගන්නෙ කොහොමද? මෙවන් විපතක් තව කෙනකුට නොවෙන්න කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා යැයි කීවාය. මෙහිදී මියගිය පුද්ගලයාගේ සහෝදරියක් වන කිල්ලපනගේ ඉන්ද්‍රානි පීරිස් මහත්මිය ද සාක්ෂි ලබා දුන්නාය.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව මරණයට හේතුව මුහුදේ දී කිඹුලකුගේ ග‍්‍රහනයට හසුවීමෙන් මුහුදු දියේ ගිලී සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.

මෙහිදී හදිසි මරණ පරීක්ෂකවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් මෙසේද කීය.

සංචාරක පාරාදීසයක් වන දෙහිවල – ගල්කිස්ස ප‍්‍රදේශවල සුරතල් මසුන් අපනයනය මෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් අතිවිශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයනවා. ඒ වගේම මෙරට ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගයක්. එහෙත් සියල්ල සිදු කිරීම සඳහා ජනතාවට ආරක්ෂාවක් අවශ්‍යයි. එබැවින් මේ සියල්ලගේම පැවැත්මට වෙරළාශ‍්‍රිතව කිඹුලන් ගැවසීම බරපතළ තර්ජනයක් බැවින් අනතුර සිදු කළ කිඹුලා අල්ලා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙසත් මෙවන් අනතුරු ඉදිරියේදී සිදු නොවීමට බලධාරීන් වහා දැනුවත් කොට සුදුසු පියවර ගන්නා ලෙසත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (68142) කුමාර නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment