දෙහිවල සතුන් වත්තටත් වසන්තය ඇවිදින්

1163

දෙහිවල තියෙන්නේ මොනවද කියල ඇහුවම සමහරු ‘ඇඹුල්’ කියල කියපු කාලයකුත් තිබුණා. විවිධ රසායනික සංයෝග ගැනත් කිව්වා. ඒත් දෙහිවල හරිම අපූරු සත්වෝද්‍යානයක් තියන බව බොහෝ දෙනකුට අමතක වෙලා.

කොවිඞ් 19 වසංගත තත්ත්වයත් එක්ක මහජනතාවගේ සංචරණ නිදහස හා විනෝදාස්වාදය පිණිස වූ නිදහස නැතිවෙලා ගියාම ඔය වගේ දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. ඒත් ඉතින් හැම දෙයක්ම හැමදාම පවතින්නෙත් නෑ. ඒක තමයි ලෝක ධර්මතාව. කොවිඞ් වුණත් මහා විනාශයක් කරල ඉවර වුණාම අවසානයක් තියෙන්නත් එපායැ.

අපත් ඔන්න කොවිඞ් අවසානයට ටික ටික ළං වෙලා. මහජනතාව සෞඛ්‍ය පුරුදු රැකගනිමින්ම තම තමන්ගේ නිදහසත් ක‍්‍රමානුකූලව භුක්ති විඳින්න පටන් ගත්තොත් කොවිඞ් අහවරක් කරන එක මහ කජ්ජක් වෙන එකක් නෑ. එන්නතේ රැකවරණයත් තියනවනේ.

මේ ගැන හොඳින් තේරුම් ගන්න දෙහිවල සතුන් වත්තේ පාලනාධිකාරිය දෙහිවල සත්වෝද්‍යානය මහජන ප‍්‍රදර්ශනයට විවෘත කරන්න රජයෙන් අවසර අරන්. සෞඛ්‍යාරක්‍ෂිතව සියලූ නීති රීති අනුගමනය කරමින් ටික ටික සතුන්වත්ත පසුගියදා මහජන ප‍්‍රදර්ශනයට විවෘත වුණේ එහෙමයි.

දෙහිවල සතුන් වත්තටත් වසන්තය ඇවිදින්

අක්කර 23 ක් වන භූමි භාගයක පිහිටා ඇති දෙහිවල සත්වෝද්‍යානය එහි සිටින සතුන් සඳහා අක්කර 18 ක භූමි භාගයක් වෙන් කර තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය වැඩ භාරගැනීමත් සමඟ සත්වෝද්‍යානය මහජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථානයක් බවට පත්වෙලා. පසුගිය දිනක දෙහිවල සත්වෝද්‍යානය බලන්න යන්න අපටත් අවස්ථාවක් ලැබුණා.

අප සත්වෝද්‍යානය තුළට යන විටත් එහි වැඩිහිටි පුද්ගලයන්, තරුණ පිරිස් මෙන්ම දූ දරුවන් සතුන්ව නරඹමින් වින්දනයක් ලබන ආකාරය දැකගත හැකි වුණා. පවතින තත්ත්වය හමුවේ සත්වෝද්‍යානය තුළට නරඹන්නන් ඇතුල්කර ගැනීමේදී නරඹන්නන්ගේ උෂ්ණත්වය මැන බලා දෑත් පිරිසිදු කර සත්වෝද්‍යානය නැරඹීම අනිවාර්ය වුණා. මෙහි අරමුණ සත්වෝද්‍යානය තුළ සිටින සත්ත්වයන් මෙන්ම එම සත්ත්වයන් රැකබලා ගන්නා සේවකයන්ගේ ආරක්‍ෂාව. ඒක නරක නෑ. මීට පෙර සත්වෝද්‍යානයේ සිටින සිංහ පවුලට කොවිඞ් වැළඳීමේ සිද්ධියත් සමග සත්වෝද්‍යානයේ සියලූම සතුන්ගේ ආරක්‍ෂාව ගැන පාලනාධිකාරිය සැලකිලිමත් වුණා. මේ වනවිට එම සිංහ පවුල යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මේ වන විට සත්ව විශේෂ පවුල් 255 කට අයත් සත්ත්වයන් 3485 දෙනෙක් ඉන්නවා. මෙම සතුන් අතර ක්‍ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය සහ වෙනත් මුහුදු ජීවීන් යන සත්ත්ව වර්ග විශේෂයි.

දෙහිවල සතුන් වත්තටත් වසන්තය ඇවිදින්

අපි සතුන් නරඹන අතරතුර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය අප සමග මෙලෙස කතාබහට එක් වුණා.

මම දැන් සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වෙලා මාසයයි. මේ මාසය තුළ සත්වෝද්‍යානය තුළ විශාල වෙනසක් වෙලා තියෙනවා. මේ කොවිඞ් තත්ත්වය නිසා සතුන් වත්ත කාලයක්ම වහලා තිබුණා. නරඹන්නන් නැති නිසා කිසිම ආදායමක් උපයාගන්න බැරි වුණා. කොහොම වුණත් දැන් රට විවෘත කළාට පසු මේ සත්වෝද්‍යානය නඩත්තු කටයුතු කරමින් නරඹන්නන්ගේ ලස්සන තැනක් බවට පත්කරමින් තිබෙනවා. මේ සත්වෝද්‍යානයේ විශාල භූමි ප‍්‍රමාණයක් තිබෙනවා. මේකේ උiාන සැලසුම්කරණය කරලා ලස්සන කරලා තියෙනවා. විශේෂයෙන් අපේ දුවා දරුවන්ට විනෝද වෙන්න සෙල්ලම් කරන්න ස්ථානයකුත් ලස්සනට හදලයි තියෙන්නේ.

දැනටත් සත්වෝද්‍යානයේ සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් සිදුවෙමින් තියෙනවා. දැනටමත් මේ සතුන්ගේ කූඩු විශාල කරලා තියෙනවා. අර අඳුරු ගතිය සහිත කූඩුවලට එලියේ ආලෝකය ලැබෙන විදිහට සකස්කරලා තියෙනවා. මේක මෙහෙම කිව්වාට වැඩක් නැහැ. ඒකට සතුන් වත්තට ඇවිල්ලම බලන්න ඕනේ. මේ දෙහිවල සතුන්වත්ත මේ රටේ ජනතාවගේ වගේම විදේශිකයන්ගේත් ආකර්ෂණීයම ස්ථානයක් බවට පත්කරන්නයි මගේ බලාපොරොත්තුව.

දෙහිවල සතුන් වත්තටත් වසන්තය ඇවිදින්

මට මේ ඉන්න සේවකයන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ අය මේ ඉන්න සතුන්ට හරිම ආදරෙයි. හරිම ආදරෙන් මේ සතුන්ව රැකබලා ගන්නේ. පශු වෛද්‍යවරුන් මේ සතුන්ට හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවද? මේ අයට කොවිඞ් රෝග ලක්‍ෂණ තියෙනවද? කියලා දෙහිවල සතුන්වත්තේ සේවය කරන අපේ පශු වෛද්‍ය නිලධාරිවරුන් පරීක්‍ෂාවට ලක්කරනවා. ඒ විතරක් නොවෙයි. දෙහිවල සතුන්වත්තේ සියලූම සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද සොයා බැලීමක් කරනවා. ඒ වගේම සත්වෝද්‍යානය නරඹන්න එන සියලූ දෙනාවමත් අපි ඇතුළට ගන්නේ ශරීර උෂ්ණත්වය මැන බලලා. ඒ අය අත් සෝදාගත්තට පසුව තමයි ඇතුල් කරගන්නේ. මෙහි අංක 1 සතුන්ගේ වගේම සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව. මොකද දෙයක් වුණාට පස්සේ කතා කරලා බැහැනේ. සතුන්ට වුණත් අපි දිනපතාම ආහාර, කොළ වර්ග ගේනවා. මීට පෙර සත්වෝද්‍යානයේ අලින්ගේ නැටුම් සංදර්ශන තිබුණා. නමුත් දැන් මේවා පෙන්වන්න පිරිස ඒකරාශි කරන්න බැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සත්වෝද්‍යාන පරිශ‍්‍රයේ ස්ථාන කීපයක පුළුල් රූපවාහිනි පුවරු සවිකරලා ජනතාවට අලි සංදර්ශන නරඹන්න දෙන්න.

මීට පෙර දෙහිවල සත්වෝද්‍යානයේ තියෙන වැසිකිලි වලින් මුදල් අය කළා. නමුත් දැන් එහෙම මුදල් අයකරන්නේ නැහැ. සත්වෝද්‍යානය නරඹන්න ගන්න ටිකට් එකට ඒ සඳහා සුළු මුදලක් අයකර ගන්නවා.

ආපන ශාලා වුණත් විධිමත් ක‍්‍රමයකට පවත්වාගෙන යනවා. මේ එන නරඹන්නන්ගේ අතේ තියෙන මුදලට ආහාර ලබාගත හැකි ආපනශාලා තියෙනවා.

දෙහිවල සතුන් වත්තටත් වසන්තය ඇවිදින්

සත්වෝද්‍යානය නරඹන්න එන බොහෝ දෙනකුට ප‍්‍රශ්නයක් වුණේ තම තමන්ගේ වාහන නවතා තබන්න ආරක්‍ෂිත තැනක් නැතිවීම. ඒ ගැනත් අපි ඇගෙන් විමසුවා. සත්වෝද්‍යානය ඉදිරිපිට වාහන ගාල්කිරීමේ පහසුකම් ද සපයා තිබෙනවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවෙන් ඒ නතර කරන වාහනවලට ටිකට් කඩනවා. අපි ඒ අයට ම දැනුම් දුන්නා මේ නතර කරලා තියෙන නරඹන්නන්ගේ වාහනත් ආරක්‍ෂා කරලා දෙන්න කියලා.

සතුන්වත්තට අලූත් සත්ව විශේෂ ගණනාවක් එකතුවෙලා තියෙනවා. වැඩිහිටියෝ වගේම අපේ පුංචි දුවලා පුතාලත් හරි ආසයිනේ සත්තු නරඹන්න. මම හැමෝටම ආරාධනා කරනවා මේ සතුන් වත්තට එන්න කියලා. මොකද කොවිඞ් නිසා කාලයක්ම හැමදෙනාම ගෙවල්වල හිරවෙලානේ හිටියේ. ඒ නිසා මේ මානසික පීඩනය දුරුකර ගන්න පවුලේ හැමෝම එන්න සතුන් වත්තට.

ඒ වගේම සතුන් වත්තට ඇවිත් සතුන් නරඹන සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා ඔබ සතුන් නැරඹුවාට කමක් නැහැ. සතුන්ට කෑම නම් දාන්න එපා. සතුන් වත්තේ අපි තව අපූරු වැඩක් සංවිධානය කළා. දැන් මේ නත්තල් මාසයනේ. මේ නත්තල් මාසයේ සතුන් වත්ත නරඹන්න එන පුංචි දුවලා පුතාලට නත්තල් සීයා අතින් තෑගි දෙන්න තීරණය කළා. ඒ අනුව සෑම සති අන්තයකම දෙහිවල සතුන් වත්ත බලන්න එන සියලූම දුවලා පුතාලට නත්තල් සීයාගේ අතින් තෑගි ලැබෙනවා. නත්තල් සීයා සතුන් වත්ත පුරාම ඇවිද යමින් තමයි මේ නත්තල් තෑගි දෙන්නේ. මේකත් හරිම අපූරු වැඩක්.

දෙහිවල සතුන් වත්තටත් වසන්තය ඇවිදින්

දෙහිවල සතුන් වත්තේ සේවය කරන සේවක මහත්ම මහත්මීන්ගේ සුබ සාධනය වෙනුවෙනුත් වැඩ කටයුතු රාශියක් සංවිධානය කරල තියන බව එතුමිය අප හා කිව්වා. මේ සත්වෝද්‍යානයට අලූතෙන්ම එකතු වුණු කළු හංස පැටව් පස්දෙනා ගැනත් නොකියාම බැහැ. අවුරුදු 86 ක සත්වෝද්‍යාන ඉතිහාසයේ පළමු වරට ඉපදුණු මෙම කළු හංස පැටව් අතරේ ගැහැනු සතුන් තුන්දෙනෙකුත්, පිරිමි සතුන් දෙන්නෙකුත් ඉන්නවා. ඒ වගේම මේ කළු හංසයන් බිහි කරපු හංස අම්මා තවත් බිත්තර 4 ක් දාලා තියෙනවා. ඕස්ටේ‍්‍රලියාව නිජබිම කරගත්තු කළු හංසයන් හත්දෙනෙක් දැන් අපේ සතුන් වත්තේ ඉන්නවා.

ඒ වගේම ජනතාවට උරග උයන ගියොත් රතුපාට විෂ විදින නාගයා, දියමන්ති කිඹුලා, රාජකීය පිඹුරා, මැඩගස්කර් පිඹුරා දැකබලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ‘හිපෝ පොටේ මස්’ බලන්නත් පුළුවන්. මගේ ඉදිරි බලාපොරොත්තුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය මේ රටේ විතරක් නොවෙයි ලෝකයේම පැසසුමට ලක්වන සත්වෝද්‍යානයක් බවට පත් කිරීම.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
ඡායාරූප – පි‍්‍රයන්ත මද්දුමආරච්චි,
ධර්මසේන වැලිපිටිය

විශේෂ ස්තූතිය

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරි නිහාල් සෙනරත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ පුද්ගලික සහකාර ඉෂානි ජයලත්, දෙහිවල සත්වෝද්‍යාන මාධ්‍ය අංශයේ නදීර උදයංග යන මහත්ම මහත්මීන්ට

advertistmentadvertistment
advertistmentadvertistment