දේපළට කෑදරව කෝටිපති පියා මැරූ පුතා යළි රිමාන්ඩ්

861

පියා සතු සියලූ දේපළ තනිව භුක්ති විඳීමේ අරමුණින් සමීර් ගුලාම් හුසේන් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළේ යැයි චෝදනා එල්ලවී ඇති අලි ගුලාම් හුසේන් නමැති සැකකාර පුත‍්‍රයා ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඊයේ (08 දා) නියෝග කළාය.

එම සැකකරු එකී ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ ඔහු යටතේ සේවය කළ කළමනාකරුවකු ලවා සකස් කරගත් පලංචි ටයි ගැටය සහිත ටයි පටියක් යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 දා) අධිකරණයට පැවසීය.

එම ඝාතනය සිදුකිරීමට පෙර එම කළමනාකරු ඇමැතූ සැකකරු ‘‘මම ණයවෙලා තිබෙන බව තාත්තා දැනගත්තොත් මාර ප‍්‍රශ්නයක් තමයි වෙන්නේ.’’ යැයි ප‍්‍රකාශ කර ඇති බවත් සැකකරු ඔහුගේ පියාගේ කාර්යාලය තුළට ගිය පසු ඇසුන කෑගැසීම කුමක්දැයි සොයා බැලීමට යනවිට ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා බිම වැටී සිටිනු දක්නට ලැබුණු බවටත් එම කළමනාකරු ප‍්‍රකාශයක් ලබාදී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවසීය.

එම අවස්ථාවේදී මියගිය අයගේ ගෙල සිරකර තිබූ ටයිපටිය සැකකරු ගලවමින් සිටිනු දක්නට ලැබුණු බව හා එය තමා ලවා පලංචි ගැටය සකස් කරගත් ටයිපටිය ලෙස හඳුනාගත් බවට ද එම කළමනාකරු කී ප‍්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය. එකී මරණය සිදුවී ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවත් එමගින් අස්ථි බිඳීමක් සිදුවී ඇති බවටත් මියගිය අයගේ මෘතශරීරය නැවත ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා දන්වා ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment