දේවානන්දාගේ කාර්යාලයට කොටි බෝම්බකාරිය ගෙනා කාන්තාවට මරණ දඬුවම

168

අත්හිටුවූ සිර දඬුවම් ඉවතට

පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු මරණයට පත්කරමින් 2004 වසරේදී එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්දා මහතාගේ කොල්ලුපිටියේ පිහිටි කාර්යාලයේ බෝම්බයක් පුපුරුවාගත් මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ. බෝම්බකාරිය එම කාර්යාලයට රැගෙන පැමිණියේ යැයි කියන සෙල්වකුමාර් සත්‍යලීලා හෙවත් සත්‍යා නමැත්තියට අභියාචනාධිකරණය පෙරේදා (23 දා) මරණීය දණ්ඩනය නියම කළේය.

ඇය අත්අඩංගුවට ගෙන දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම වරෙන්තු නිකුත් කරනා ලෙසට ද සම්පත් අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල කොළඹ මහාධිකරණයට වැඩිදුරටත් නියෝග කළේය.

2004.03.01 වැනිදා හා 2004.07.07 වැනිදා කාලය අතරතුරදී ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කරීමට කුමන්ත්‍රණය කිරීම, පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු සිවුදෙනකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය 2018.01.16 වැනිදා සෙල්වකුමාර් සත්‍යලීලා නමැති විත්තිකාරියට වසර 15කට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමකොට තිබිණි.

එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් විභාග කළ අභියාචනාධිකරණය, මහාධිකරණය නියමකොට තිබූ අත්හිටුවූ සිර දඬුවම් ඉවත්කොට විත්තිකාරියට එලෙස මරණීය දණ්ඩනය නියම කර තිබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment