දේශගුණික විපර්යාස සමුළුවට පැමිණි පුද්ගලික ජෙට් යානාවලට විරෝධයක්

279

මෙම දිනවල ඊජිප්තුවේ පැවැත්වෙන ‘කෝප්27’ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා බොහෝ රාජ්‍ය නායකයන් හා නිලධාරීන් පරිසරයට හානිකර වායුන් අධික වශයෙන් මුදා හැරෙන පුද්ගලික ජෙට් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් පාරිසරික හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ඉකුත් සතියේ ඊජිප්තුවේ ‘ශාර්ම් එල් ෂීක්’ නගරයේ ඇරඹි දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ඉකුත් නොවැම්බර් 4-6 කාලය තුළදී පමණක් පුද්ගලික ජෙට් යානා 36ක් විවිධ රටවල සිට ඊජිප්තුවට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ. අනතුරුව ද තවත් ජෙට් යානා 64ක් කයිරෝ අගනුවරට පැමිණ ඇති බව හෙළි වී තිබේ. මෙම ජෙට් යානා

මගින් පරිසරයට මුදා හැරෙන අහිතකර හරිතාගාර වායුන් ප්‍රමාණය වාණිජ ගුවන් යානා මගින් මුදා හැරෙන එම වායුන් ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව පාරිසරික ක්‍රියාකාරීහු පවසති. කෝප් 27 දේශගුණික විපර්යාස සමුළුව ඇරඹීමට පෙර දිනයේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටි ස්කිපොල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඊජිප්තුවේ සමුළුව වෙත පියාසර කිරීමට සූදානම් වූ පුද්ගලික ජෙට් යානා ගුවන්ගත කිරීමට විරෝධය පළ කරමින් පාරිසරික ක්‍රියාකාරීහු සිය ගණනක් එම ජෙට් යානාවල රෝද ඉදිරිපිට හිඳ ගනිමින් හා පාපැදිවලින් ගුවන් ධාවන පථය වටා ගමන් කරමින් සිය විරෝධය පළ කර තිබිණි.

විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment