දේශප්‍රේමී සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමේ අරගලයට සියලු දෙනාම එක්විය යුතුයි

172

නව රජයක් බිහිකිරීමේ මහජන සටනට අපිත් එක්ක ඔක්කොම එකට එකතු වෙලා අත්වැල් බැඳගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අරගලකරුවන් අපේ සියලු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලු නායකයන් එක්සත්ව අද දිනයේ දී කොළඹට ලක්ෂ ගාණක් ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් සෑම තැනකින්ම ඇහුවේ මොකද කරන්නේ? කොයි වෙලාවටද එන්න ඕන කොයි විදියට ද ගමන් කරන්නේ කියලා. ඒ වගේම අපේ සියලුම ආසන සංවිධායකවරු කියන්නේ මෙම විරෝධතාවට අපේ පාක්ෂිකයෝ පමණක් නෙමෙයි කිසිම දේශපාලනයකට නියුතු වෙලා නොතිබුණු නිවෙස්වල කට්ටිය තමයි විශාල උද්‍යෝගයකින් සහභාගි වෙන්නේ කියලා. කවුරුත් නොහිතන විශාල පිරිසක් කිසි දවසක පෙළපාලිවලට සහභාගි වුණේ නැති ජනකොටසක් හෙට දිනයේ සහභාගිවෙනවා. සියලු ජාතීන් ඉතාම උනන්දුවෙන් උතුරේ ඉඳලා දකුණට සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සියල්ල එකතුවෙලා විරෝධතාවයට එනවා. හෙට අපි ඇවිත් කොළඹ කොටුව ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය වටලලා අපේ මේ ක්‍රියාදාමය ආරම්භ කරනවා. ගෝඨාභය යනකන් අපි එතනින් යන්නේ නෑ.

ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියන්ට පොලිසියේ නිලධාරීන් මහත්වරු ඇතුළු සියලු සහෝදරයන්ට කියනවා මේක අපේ තමුන්නාන්සේලාගේ සියලුදෙනාගේ අරගලයක්. දේශපාලන අරගලයක්වත් ජාතික ප්‍රශ්නයක් පිළිබඳ අරගලයක්වත් ආර්ථික ප්‍රශ්නයක් පිළිබඳ අරගලයක් නෙමෙයි. මේ රට බංකොළොත් කරපු ජනාධිපති ඇතුළු ආණ්ඩුව, හොරෙන් ගිහින් දිවුරුම්දුන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ නඩයම මේ රටෙන් එලවලා දාලා දේශප්‍රේමී සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමේ අරගලයක්. රටේ තියෙන ව්‍යසනයට පිළිතුරු සපයන වැඩපිළිවෙළක් ගේන අරගලයක්. ඒ නිසා සියලු ත්‍රිවිධ හමුදාවේ සහෝදරවරුන්ට කියනවා තමුන්නාන්සේලාගේ තුවක්කුව අපිට නෙමෙයි එල්ල කළ යුත්තේ. මේක අපේ සටනක් පමණක් නෙමෙයි සියල්ලගේම සටනක්.

මේ වෙනකොටත් භාර්යාවන් පෝලිම්වල. දරුවෝ කිරි පිටි නැතුව කන්න නැතුව ගෙවල් වල අඬනවා. දෙමව්පියෝ බෙහෙත් නැතිව දුක් විඳිනවා. පිළිකා රෝගීන්ට බෙහෙත් නැතුව මිය යනවා. වෛද්‍යවරු කියනවා හැම පැයකටම රෝගීන් හතරක් ප්‍රවාහන පහසුකම් නැතුව මිය යනවා කියලා. මේ සියලු අර්බුද ඇති කළේ මේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා. ඒ නිසා මේ රටේ සුගතියක් ඇති කරන්නට නම් ඔහු පලවා හැරිය යුතුයි. එම පලවා හැරීම ජාතියේ උවමනාවයි. රට ගොඩගන්න රට බේරගන්න සියලු දෙනා එන්න කියලා ආරාධනා කරනවා .

ත්‍රිවිධ හමුදාව පොලිසිය එදා අපේ රට බේරා ගත්තා. ඒ වෙලාවෙ අපි දේශපාලන පක්ෂ මත වාද පැත්තක දාලා මහින්ද රාජපක්ෂත් එක්ක හිටගත්තා. ඒ මොකකටවත් නෙමෙයි ත්‍රස්තවාදය තුරන් කරන්න. එදා ත්‍රිවිධ හමුදාව කීර්තිමත් සේවයක් කළා නිසා ජීවිත නැති කරගෙන අතපය පරිත්‍යාග කරගෙන මාතෘභූමිය ආරක්ෂා කර ගත්තා. ඒ තුළින් අපට නිදහස ලබා දුන්නා. දැන් අපි කියනවා තමුන්නාන්සේලාට දෙවැනි කුරිරු ත්‍රස්තවාදියාගේ පාලනයට එරෙහිව නැගී සිටිමින් සියලු දෙනා එකතුවෙලා නැවත අපේ මාතෘභූමිය ගලවා ගනිමු කියලා. ඒක තමයි සේවය හා යුතුකම. එය නැවතත් ත්‍රිවිධ හමුදාවක් ගෞරවයට පාත්‍ර වන කාරණාවක් වෙනවා.

මේ කුරිරු පාලකයන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න එපා. ඒක මහා පාපකර්මයක්. දරුවන්ට කරන පාපයක්. කාටත් බඩගින්න තියෙනවා. රටට බෙහෙත් නෑ. දරුවන්ට කිරි පිටි නෑ. ප්‍රවාහන පහසුකමක් නෑ. සියල්ල හොරාකාලා. අදත් හොරා කනවා. ඇමතිවරයෙක් අදත් ඉල්ලා අස්වෙලා හොරාකාලා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment