දේශපාලකයන්ට ජාතිවාදයක් ඇතත් රජයට ජාතිවාදයක් නැහැ…

417

මිරිසවැටිය රජමහ විහාරාධිපති ආචාර්ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි

කැනඩාවේ ජන වාර්ගික ගැටලුවට සර්ව වාර්ගික කමිටුවකින් අදහස් ගත්තා….
– කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකියොන්

ශ‍්‍රී ලංකාවේ ඇතැම් දේශපාලකයන්ට ජාතිවාදයක් ඇතත් ශ‍්‍රී ලංකා රජයට ජාතිවාදයක් නැතැයි ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ආචාර්ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ කැනඩා මහ කොමසාරිස්වරයාට පෙන්වා දුන්හ.

මිරිසවැටිය නාහිමියන් බැහැදැකීම සඳහා කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකියොන් මහතා ඉකුත් සිකුරාදා සවස අනුරාධපුරයට පැමිණියේය. බෝමළුව විහාරස්ථානයේ දී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මිරිසවැටිය විහාරස්ථානයේ දී ක්‍දාණතිලක නාහිමියන් බැහැදුටු ඒ මහතා දෙරටේ මිත‍්‍රත්වය හා ඒ ඒ රටවල සාමය ඇති කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ සාධනීය පියවර සාකච්ඡා කළේය.

මෙතෙක් සිටි බොහෝ තානාපතිවරුන් ශ‍්‍රී ලාංකීය සමාජයේ කේන්ද්‍රස්ථානයන් වන බෞද්ධ විහාරස්ථාන මගහැර වෙනත් ස්ථාන හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සමග පමණක් සාකච්ඡුා කරමින් තීරණ ගත් නමුත් ඬේවිඞ් මැකියොන් මහතා ප‍්‍රධාන විහාරස්ථානවලට ගොස් නාහිමිවරුන් බැහැදැක රටේ සැබෑ චිත‍්‍රය හඳුනා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද නාහිමියෝ ඒ මහතාට ප‍්‍රණාමය පුද කළහ.

ඇතැම් දේශපාලකයන්ට ජාතිවාදයක් තිබෙන්නට පුළුවන්. ඒත් ශ‍්‍රී ලංකා රජය ජාතිවාදී ප‍්‍රතිපත්තියන් අනුගමනය කරන්නේ නෑ. එහෙම ජාතිවාදයක් රජයට තිබුණා නම් මේ රටේ මහ බැංකු අධිපති, අගවිනිසුරු, නීතිපති ආදී ඉහළම තනතුරුවලට දෙමළ ජාතිකයන් පත්වන්නේ නෑ. වර්තමානයේ අධිකරණ ඇමැතිතුමා මුස්ලිම් ජාතික කෙනෙක් හැම ඉහළ තනතුරුකම හැම ජනවර්ගයකම අය සතුටින් රාජකාරී කරනවා. මේ නිසා රට ගැන පතුරුවන වැරදි ප‍්‍රතිරූප තේරුම් අරන් සැබෑ තොරතුරු ජාත්‍යන්තරයට වාර්තා කිරීම තානාපතිතුමන්ලාගේ වගකීමක් යැයිද නාහිමියෝ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා දෙමළ ජනතාවගේ ගැටලූ විස`දීම සම්බන්ධයෙන් රජය බොහෝ කාර්යන් කර ඇති බව තමා ද පිළිගන්නා නමුත් එම ජනතාව තෘප්තිමත් නොවන්නට හේතුව ඒ සඳහා ඉදිරිපත් කරන ලද වැඩසටහන් ජනතාවට නොදැනීම බව කියා සිටියේය. කැනඩාවද කලක දී එවැනි ජනවාර්ගික ප‍්‍රශ්නයකට මුහුණදුන් බවත් ඔවුන් ඒ සඳහා ක‍්‍රියාත්මක කරන ලද වැඩසටහන වූයේ සර්ව වාර්ගික කමිටුවක් මගින් ජනතා අදහස් විමසා එම දත්ත හා තොරතුරු විශ්ලේශනය කර බැලීම බවත් ඒ මහතා කීවේය.

මහ කොමසාරිස්වරයා සමග ඒ මහතාගේ දේශපාලන හා වෙළෙඳ කටයුතු පිළිබඳ උපදේශක ඩැනියල් බූඩෝ මහතාද එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment