දේශපාලකයන්ට – රාජ්‍ය ප්‍රධානීන්ට එරෙහි ඉල්ලා අස්කරගත් අල්ලස් නඩු යළි පවරනවා – අල්ලස් කොමිසම කියයි

292

ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව විවිධ දූෂණ චෝදනා යටතේ පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගත් සියලුම නඩු නැවත පැවරීමට කඩිනමින් පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

අමාත්‍ය ධුර හා එකී තනතුරු දරමින් සිටියදී සිදුකළ බවට ලැබුණු පැමිණිලි අනුව විධිමත් ආකාරයෙන් පරීක්‍ෂණ පවත්වා පසුගිය යහපාලන රාජ්‍ය සමයේ එවැනි පුද්ගලයන්ට එරෙහිව පවරා තිබූ නඩු 95ක් තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගැනීමට සිය කොමිෂන් සභාවට සිදු වූවත් ඉන් 43ක් ම මේ වන විටත් නැවත පවරා ඇතැයි ද එම කොමිෂන් සභාව පැවසීය. එකී තාක්‍ෂණික දෝෂ මගහැර ඉතිරි නඩු ද සුදුසු අධිකරණ හමුවේ පැවරීම සඳහා සිය කොමිෂන් සභාවේ නීතිඥවරුන් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ කටයුතු කරමින් පවතින බව ද කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රබල දේශපාලනඥයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් විශාල පිරිසකට එරෙහිව යහපාලන රාජ්‍ය පාලන සමයේ පවරා තිබූ නඩු කටයුතු විශාල ප්‍රමාණයක් නැවත පැවරීමේ කොන්දේසියට යටත්ව ඉල්ලා අස්කර ගත්ත ද එකී කොන්දේසියට අනුව කටයුතු කිරීම ප්‍රමාද වී ඇත්තේ ඇයි දැයි දිවයින කළ විමසීමට පිළිතුරු දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් එලෙස ප්‍රකාශ කළාය.

සිය කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම පූර්ණ අනුමැතිය නොමැතිව පවරා තිබූ එකී නඩුවල සැකකරුවන් හා විත්තිකරුවන් අධිකරණ හමුවේදී මතුකළ විරෝධතා අනුව චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම නිසා ඔවුන් නිදහස් කිරීමට අධිකරණ විසින් නියෝග කොට ඇති බවත් හිටපු අමාත්‍යවරයකු ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව එලෙස නැවත පවරනු ලැබූ නඩු කිහිපයක් කැඳවීමට කොළඹ මහාධිකරණය මේ වන විටත් දින නියම කර ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඒ. ජේ. ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment