දේශපාලකයන් විසඳුම් සෙවීමට යෑමෙන් විදුලි කප්පාදුව දික්වේවි!  – ඉංජිනේරු සංගමයෙන් නිවේදනයක්

136

අත්දැකීම් බහුල දක්‍ෂ ඉංජිනේරුවන් ඉවත්කොට දේශපාලනඥයන් විදුලි අර්බුදයට විසදුම් සෙවීමට යෑම නිසා විදුලි කප්පාදුව තවත් දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය පවසයි.

දැනට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර විදුලිය නිපදවීමට ජලය, ඉන්ධන අඩුවීම නිසා ඇතිවිය හැකි ඉදිරි තත්ත්වය පිළිබඳව ඉංජිනේරු සංගමය බලධාරීන් දැනුවත් කළත් එම උපදෙස් නොසලකාහරින තත්ත්වයක් ඇති බව ද එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

රටක් ලෙසට බලශක්ති ක්‍ෂේත්‍රය තුළ අප අද අත්දකින මෙම අර්බුදය විසඳීමට කිසිම ආකාරයක සැලසුමක් හෝ අවධානයක්, වගකිවයුතු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් නොකරමින්, පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කිරීම සඳහා පමණක් තාවකාලිකව තත්ත්වය සමනය කිරීමට කටයුතු කිරීම අද අප හමුවේ ඇති විශාලතම අභියෝගයයි. එසේම මෙම අර්බුදයන් සියල්ල තව තවත් දරුණු තැනකට ඇද දමමින් අත්දැකීම් බහුල එම ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමින් පරිපූර්ණ, වඩාත් තීරණාත්මක තනතුරු හෙබවූ ඉංජිනේරුවන් දෙදෙනකු අත්තනෝමතික ලෙස පසෙකට කර ඇත්තේ දේශපාලන අධිකාරියේ පටු අරමුණු වෙනුවෙන්ම පමණි. ඒ හරහා මෙම ක්‍ෂේත්‍රය තව තවත් අගාධයකට ඇද දමමින් අතිශය විශේෂඥ දැනුමක් අත්‍යවශ්‍ය, එදිනෙදා තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට දේශපාලන අතපෙවීම් සිදුකිරීම දැන් ආරම්භ කර ඇත.

ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමින් හෙබි වෘත්තිකයන් පසෙකට කර ඔවුන්ගේ මතයන් නොසලකා හරිමින්, තවදුරටත් රටේ ඉංජිනේරු ක්‍ෂේත්‍රයට අදාළ තීරණාත්මක තීන්දු තීරණ දේශපාලනඥයන් විසින් ගනු ලබයි නම් රට තව තවත් ආපස්සට ගමන් කිරීම වැළැක්විය නොහැකි බව අප ඔබ වෙත ප්‍රකාශ කරන්නේ කනගාටුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට ඉසිලිය නොහැකි පරිදි විදුලි කප්පාදුව දීර්ඝ වීම අපට වළකාගත නොහැකි වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙස අප ඔබට මෙසේ දන්වා සිටින්නෙමු.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment