දේශපාලනඥයන් සමග එක්වී ජනතාවට ලැබිය යුතු සහන කූට ව්‍යාපාරිකයන් කොල්ල කනවා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

120

* ඇමැති සිටින්නේ  පාරිභෝගිකයා සමගද  නැතිනම් සමාගම්  එක්කදැයි වහා කිවයුතුයි

මෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බවත්, ඔවුන් දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් සමඟ එක්වී ජනතාවට ලැබිය යුතු සහන අතරමැදින් කොල්ලකමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (22 දා) පැවසීය.

වත්මන් ආණ්ඩුව සාධාරණ මිලකට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට බෙදා දෙන බව කියමින් යාළු මිත‍්‍රාදීන්ට මුදල් ඉපයීම සඳහා අවස්ථා ලබා දෙමින් සිටින බවත් හෙතෙම චෝදනා කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

‘‘පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප‍්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු නොදක්වා ඉවත් කරනු ලැබුවා. අද වන විට පාරිභෝගික කටයුතු අධිකාරියේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වී තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය කියන්නේ මෑතකාලීනව සහල් මෝල් වටලෑම, සතොස සුදුලූනු වංචාව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම වැනි කාරණාවලදී වැඩි මැදිහත්වීමක් කළ ආයතනයක්.

මේ ආණ්ඩුව රජයේ තනතුරුවලට පත්වීම් ලබා දෙද්දී දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කරගෙන යෑමට දෙන බවත්, සුදුසුකම් අනුව, විද්‍යාත්මක ක‍්‍රමවේද අනුව තනතුරු ලබාදෙන බව කිව්වා. නමුත් ඒ ආයතනවලට සිදු වූ දේශපාලන මැදිහත්වීම් නිසා නිලධාරීන් ගණනාවකගේ ඉල්ලා අස්වීම සිදුවුණා. සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩල සභාපති ධුරයෙන්, මහින්ද විදානපතිරණ මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙනුත්, ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, නාලක කළුවැව මහතා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, අනිල් කොස්වත්ත මහතා ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ඩබ්. ඞී. ලක්‍ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධුරයෙනුත්, රේණුක පෙරේරා මහතා නිවාස අධිකාරියේ සභාපති ධුරයෙනුත් ආදී වශයෙන් නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. විශේෂඥ වෛද්‍යවරුන් කොවිඞ් කමිටුවලින් ඉල්ලා අස්වුණා. තානාපතිවරුන් ඉල්ලා අස්වුණා. .

පසුගිය කාලයේ රේගුවේ සිරවී ඇති භාණ්ඩ ආනයනය කරන ලද මිලට නිදහස් කර ගෙන සතොසට ලබා

ගැනීමේ තීරණයක් ගනු ලැබුවා. ඒ අනුව රේගුවේ සුදුලූනු කිලෝග‍්‍රෑම් 54,860 ක් සතොස මගින් නිදහස් කරගත්තා. ඒ කිලෝ එකක් රු. 117 ක මුදලකටයි. එය වෙළෙඳපොළේ තොග මිල ලෙස රු. 445 ක් පමණ මුදලකට අලෙවි කළ හැකිව තිබුණා. කිලෝවක සිල්ලර මිල 540 ක් වුණා. නමුත් මෙම සුදුලූනු තොගය සතොස ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ සතොස ලියාපදිංචි සුදුලූනු සැපයුම්කරුවකුටම කිලෝවක් රු. 135 ක් වැනි අඩු මුදලකට වැලිසර සතොස ගබඩාවෙන් හොර රහසේ විකුණා තිබෙනවා. ඔවුන්ට එය නැවත සතොසටම විකිණීමට හැකියි. මෙම සිදුවීම පාරිභෝගික කටයුතු අධිකාරියට වාර්තා වීමෙන් පසුව අද ඉල්ලා අස්වන විධායක අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය ඇතිව කණ්ඩායමක් ගොස් මෙම වංචාව හසුකර ගත්තා. ඔවුන් පසුගිය 09 වැනිදා ලබාගත් වැලිසර ගබඩාවේ ලොග් සටහන් අනුව මේ ගනුදෙනුව රාත‍්‍රියේ සිදුවී ඇති ආකාරය සොයා ගත්තා.

රේගුවෙන් ලබා ගත් උඳුවලටත් සිදු වූයේ මෙම වංචාවමයි. උඳු කිලෝග‍්‍රෑම් 13,975 ක් සතොස විසින් ලබා ගත්තා. මේ වනවිට උඳු කිලෝවක සිල්ලර මිල 1100 යි. නමුත් සතොස ඒවා ලබා ගත්තේ කිලෝවක් රු. 300 ටයි. ඒ සඳහා වැය වුණේ රු. 41,92,500 ක මුදලක්. සතොස මෙය ලක්ෂ 1,53,72,500කට මිල කළා. එය සතොස වෙළෙඳසල් මගින් විකිණීමට අදහස් කළා. ඒත් ඒවා වෙන සමාගම්වලට විකිණුවේ කිලෝව රු. 425 ටයි. එයින් කිලෝවකින් ලාභ තිබුණේ රු. 125 යි. නමුත් එමගින් සතොසට හැම කිලෝ එකකින්ම රු. 675 ක පාඩු වුණා. ඒවා විකුණා තිබුණේත් සතොස සැපයුම්කරුවන්ටමයි. මේ අහිමි වූ රු. 94,33,125ක මුදල සතොසටත් පාරිභෝගිකයාටත් නැතිවුණා. ඒ මුදල ගියේ සමාගම්වලටයි. එයින් ජනතාවට සහන දෙන්න තිබුණා.

අද පාරිභෝගික අධිකාරිය තමන්ට පනතෙන් තිබෙන බලතල ගිවිසුම් අත්සන් කර තමන් විසින්ම අහිමි කර  ගන්න හදනවා. නිලධාරීන් විරෝධය පළකර තිබෙන්නේ එම තත්ත්වයටයි. මේ ගිවිසුම් ගතවීම් සඳහා තීරණය කළේ කවුද? ඇමැතිවරයා සිටින්නේ පාරිභෝගිකයා පැත්තෙද? නැත්නම් සමාගම් පැත්තෙද?

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment