දේශපාලනඥයන් හා තැරැව්කරුවන් මවා පෑ බිත්තර හිඟයෙන් ගොවීන් අන්ත අසරණ වෙලා

135

දේශපාලනඥයන් සහ තැරැව්කරුවන් කණ්ඩායමක් සූක්ෂම ලෙස මෙහෙයවූ බිත්තර හිඟය පාරිභෝගිකයන් ගොවීන් අන්ත අසරණ කළැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ඩබ්. එස්. පියසිරි මහතා චෝදනා කර සිටී.

වසරකට බිත්තර මිලියන 3000ක් දේශීය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කළත් තැරැව්කරුවන් මවාපෑ බිත්තර හිඟයෙන් ගොවීන් කබලෙන් ළිපට වැටිලා. වෙළෙද අමාත්‍යාංශයේ අදූරදර්ශී ක්‍රියාව නිසා අතරමැදි වෙළෙදුන් අතට ගෙන බිත්තර මිල අධික ලෙස ඉහළ දමා පාරිභෝගිකයින් බිත්තර පරිභෝජනයෙන් ඉවත් කළැයිද හෙතෙම චෝදනා කළේය.

කිකිළි පැටවුන් බෝ කිරීමේ ආයතනය (හැචරි) 18ක් පෞද්ගලික අංශය රට තුළ පවත්වාගෙන ගිය බවත් කිකිළි පැටවුන් බෝ කිරීමට බිත්තර ලබා ගත් මව් කිකිළියන් ලක්ෂ ගණනක් මේ වනවිට මසට අලවි කර තිබෙන බවද සභාපතිවරයා පැවැසීය.

බිත්තර ආනයනය කිරීමට ඉතා සූක්ෂම ලෙස දේශපාලනඥයන් සහ අතරමැදි තැරව්කරුවන් මාස ගණනාවක සිට බිත්තර හිඟය මවා පෑවා. කිකිලි පැටවුන් නිෂ්පාදනය මේ වනවිට සම්පූර්ණයෙන්ම රට තුළ අකර්මණ්‍යවී තිබෙන බවත් මව් කිකිළියන් ආනයනය කිරීමට නුදුරේදීම සිදුවනු ඇති බවද හෙතෙම පැවැසීය.

බිත්තර හිඟයට මූලිකව උපරිම මිල නියම කිරීම බලපෑ බවත් බිත්තර ආනයනයෙන් කුරුළු උණ වැනි වසංගත රෝග යළි රට තුළ ව්‍යාප්තියට බලපාන බව කී වෛද්‍ය පියසිරි මහතා බිත්තර ආනයනයට වෙන් කෙරෙන ඩොලර් යොදාගෙන කුකුළු කර්මාන්තය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ගෙන්වා කර්මාන්තය පවත්වාගෙන යෑමට පියවර ගතයුතු බවද පැවැසීය.

මේ අවස්ථාවේදී ගොවීන්, සිල්ලර වෙළදුන් සහ තොග වෙළෙදුන් පාරිභෝගිකයන් සූරාකෑමට පියවර නොගෙන තම ආදායම අඩුකර ගෙන සාධාරණ මිලකට බිත්තර හා කුකුළු මස් සැපයීමට පියවර ගතයුතු බවද ඔහු අවධාරණය කළේය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment