දේශපාලනඥයින් හැමදේටම අත පොවනවා! මටත් බලපෑම් තිබුණා…නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

164

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරධුරය සඳහා අනුරාධා යහම්පත් මහත්මිය පත්කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.පසු ගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පෙර සමයේදීත් යහම්පත් මහත්මිය ජාතිකවාදී සංවිධාන සමග එක්ව කටයුතු කළේය. කෙසේ වුවත් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇයව ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්කරනු ලැබීය. ඒ පිළිබඳව අනුරාධා යහම්පත් මහත්මිය දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස වසර තුනහමාරක පමණ කාලයක් කටයුතු කළ ඔබව එම ධුරයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කළා. ඒ සම්බන්ධයෙන් ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද ?

පිළිතුර – ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිතුමා විසින්. මාව එම ධුරය සඳහා පත්කළේ ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්. නමුත් මාව එම ධුරයෙන් ඉවත් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින්.

2019දී පැවති මැතිවරණයෙන් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බලයට ආවේ යම් කිසි ප්‍රතිපත්තියක් මත. එම ප්‍රතිපත්තිය ගොඩනැඟීම සඳහා අපත් දායක වූවා. එම නිසා තමයි අපිත් එම ආණ්ඩුව සමග වැඩ කළේ. එම අවස්ථාවේදී 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ මෙරට ඒකීය භාවය සහ මෙරට ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා. නමුත් පසුගිය කාලයේ ඇතිවූ කොවිඩ් වසංගතය දේශපාලන කැළඹීම් කුමන්ත්‍රණ සහ තවත් හේතු නිසා ජනාධිපති ධුරය වෙනස් වූවා, අලුතින් පත්වූ ජනාධිපතිවරයාගේ ප්‍රසාදය නොමැති කම නිසා එම ධුරයෙන් අපව ඉවත් කරන බව දන්වා සිටියා.

ප්‍රශ්නය – පළාත් 9 න් 3ක ආණ්ඩුකාරවරු තමයි ඉවත් කර තිබෙන්නේ. ඒ කියන්නේ ප්‍රසාදය නොමැතිවී තිබෙන්නේ තිදෙනකුගේ පමණ ද?

පිළිතුරු – අනෙක් අය පිළිබඳව මම දන්නේ නැහැ. දේශපාලන අධිකාරිය සමග එකඟව කටයුතු නොකළ බවටත් මට චෝදනා කරලා තිබෙනවා. අපි සියලු දෙනාම දේශපාලනිකයි. නමුත් මම හිතනවා ඉහළ නිළයක් දරන කිසිවකු පවතින ආණ්ඩුවේ ජයග්‍රහන සඳහා කටයුතු කළ අයට පමණක් සේවය නොකළ යුතු බව. පෞද්ගලිකව ගත්තොත් මට දේශපාලන මතවාදයක් සහ ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් ආණ්ඩුකාර ධුරය තිබෙන්නේ එම පළාතටම සේවය කිරීම සඳහා. ඒ අනුව මම කටයුතු කළේ සියලු දෙනාටම සේවය කළ යුතුය යන පදනමෙන්. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි නැගෙනහිර පළාත ගත්තොත් එම පළාතේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ශ්වයට වඩා එම පාර්ශ්ව නියෝජනය නොකරන පාර්ශ්ව වැඩියි කියන එක. ඒ අනුව බැලුවහම මම ආණ්ඩුව නියෝජනය කළ පාර්ශ්වයන්ට පමණක් සේවය කළා නම් මට සේවය කිරීමට සිදුවන්නේ අතළොස්සකට පමණයි. මම එහෙම කටයුතු කළා නම් හරි අසාධාරණයි. දේශපාලනඥයන් කියන කොට නම් කියන්නේ ඔවුන් පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම සේවය කරන බව තමයි. නමුත් ප්‍රායෝගිකව බැලුවහම නම් එහෙම තත්ත්වයක් දකින්න නැහැ. එසේ වුවත් මට නම් පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන් මම නැගෙනහිර ආණ්ඩුකාරවරිය ලෙස පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කළ බව. දැන් මට තිබෙන චෝදනාව තමයි එහෙම කටයුතු කළා කියන එක. එම පළාතේ දේශපාලනඥයන් මට චෝදනා කරන්නේ ඔවුන්ගේ දිස්ත්‍රික්කවලට එම පළාතේ මිනිසුන්ට විශේෂත්වයක් දක්වන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – එම බලපෑම් කළේ දෙමළ ජාතික දේශපාලනඥයන් ද?

පිළිතුර – එම පළාතේ සිටින සිංහල දේශපාලනඥයන් පවා එම බලපෑම කළා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවූ සෑම අවස්ථාවකදීම මම ඉදිරිපිටදීම මට එම චෝදනාව කළා. එම දේශපාලනඥයන් සෑම දෙයකටම අතපොවන්න හදනවා. නමුත් මම ඊට එකඟ නැහැ. පර්මිට් ටෙන්ඩර් මාරුවීම් ලබාදීමේදී රැකියා ලබාදීමේදී එම බලපෑම් ආවා. නමුත් මම උත්සාහ කළා කිසිදු භේදයකින් බලපෑමකින් තොරව කටයුතු කිරීමට. නමුත් මම හිතන්නේ නැහැ කවුරුත් එය අගය කරනවා කියලා.

ඇත්තටම ආණ්ඩුකාරවරයකුට විශේෂ බලයක් නැහැ. නමුත් සෑම දෙයක්ම කරන්න ක්‍රමවේදයක් තිබෙනවා. මම කළේ එම ක්‍රමවේදයට ගරුකරලා කටයුතු කිරීම පමණයි. වැලි පර්මිට් ටෙන්ඩර් ඉඩම් බැහැර කිරීම් ආයෝජන ලබාගැනීම යන සෑම දෙයකටම ක්‍රමවේදයක් තිබෙනවා. මම කටයුතු කළේ එම ක්‍රමවේදයට පමණයි. එම ක්‍රමවේදයට අනුව කටයුතු කරන කොට විවිධ බලපෑම් එනවා. එම බලපෑම් නැති කිරීම සඳහා මම කටයුතු කළා.

ප්‍රශ්නය – අපි දන්නවා ඔබ ජතිකවාදී මතවාදයන් දරන බව. එම කාරණයත් ඔබට බලපෑවාද?

පිළිතුර – පළාත තුළදී නම් එම කාරණය බලපෑවේ නැහැ. නමුත් බෙදුම්වාදීන්ගේ බලපෑම තිබුණා. නමුත් ඔවුන් එම බලපෑම කරන්නේ ජාතික දේශපාලනයට සහ ජාත්‍යන්තර වශයෙන්.

මම සිංහල -බෞද්ධ ශිෂ්ඨාචාරය රැක ගැනීම වෙනුවෙන් සෑම විටම කතා කරනවා. ඒ වගේම වෙනත් ආගමිකයන්ට සහ ජාතිකයන්ට ඔවුන්ගේ සංස්කෘතිය භාෂාව ආගම රැක ගැනීමට ඇති අයිතිය මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. නැගෙනහිර පළාත් ජනතාවට මම එය ක්‍රියාවෙන්ම අවබෝධ කර දුන්නා. අත්තටම මම එම පළාත තුළ වැඩියෙන්ම ජනප්‍රිය දෙමළ ජනතාව අතර. එම ජනතාව නිරන්තරයෙන්ම මට ඔවුන්ගේ දෛනික කටයුතුවලට ආරාධනා කළා.

ප්‍රශ්නය – විශාල කාලයක් වසාදමා තිබූ මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීමට ඔබ කටයුතු කළා. ඒ සඳහා අන්‍ය ජාතිකයන්ගෙන් සහයෝගය ලැබුණා ද?

පිළිතුර – සිංහල විද්‍යාලය ආරම්භ කිරීමට මට බාධාවක් ඇතිවූයේ නැහැ. නමුත් වෙනත් හේතු නිසා එම කටයුත්ත ප්‍රමාද වූවා. එම විද්‍යාල භූමියේ හමුදා කඳවුරක් පිහිටුවා තිබුණා. එම ස්ථානයෙන් කොටසක් වෙන්කර ගැනීම සඳහා යම් කාලයක් ගියා. ඒ වගේම එම විද්‍යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට සිද්ධ වූවා. අපි දන්නා කියන ආයතන දැනුවත් කරලා ඔවුන්ගෙනුත් මුදල් එකතු කරගෙන තමයි එම කටයුත්ත පටන් ගත්තේ.

මඩකලපුව ප්‍රදේශයේ කලාප අධ්‍යක්ෂවරයා දෙමළ ජාතිකයෙක්. ඒ වගේම එම කාර්යාලයේ සම්පූර්ණයෙන්ම සේවය කරන්නේ දෙමළ ජාතිකයන්. ඔවුන් සමග එකතු වෙලා තමයි එම කටයුත්ත කළේ. ඇත්තටම සිංහල කණ්ඩායමක් එම ප්‍රදේශයට ගිහින් එම විද්‍යාලය යළි ආරම්භ කිරීමට කටයුතු කළේ නැහැ. ඇත්ත වශයෙන්ම එම කටයුත්ත කළේ එම ප්‍රදේශයේ නිලධාරීන් සහ ජනතාව විසින් තමයි. එම කටයුත්ත හරහා දෙමළ ජනතාවට කිසිදු අසාධාරණයක් සිද්ධ නොවන බවට විශ්වාසයක් ඔවුන් තුළ තිබුණා.

ඇත්තටම අපි ලැජ්ජාවෙන්න ඕනි මඩකලපුව දිස්ත්‍රික්කය තුළ එකම සිංහල මාධ්‍ය පාසලක්වත් තිබුණේ නැහැ. එක සිංහල ළමයෙකු හෝ සිටිනවා නම් ඒ ළමයාට තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගැනීමේ අයිතිය තිබෙනවා. එම පළාතේ සිටිය සිංහල ජනතාවගේ ළමයා අධ්‍යාපනය ලැබුවේ පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පාසල්වලට ගිහිල්ල. නමුත් දැන් එම ළමයින්ට එම ප්‍රදේශය තුළදීම තමන්ගේ අධ්‍යාපනය ලබාගැනීමට පුළුවන්කම තිබෙනවා.

ප්‍රශ්නය – සියම් මහා නිකාය පිහිටුවා වසර 270 පිරීම නිමිත්තේන් පසුගිය මැයි 14 වැනිදා ත්‍රිකුණාමලයේදී උත්සවයක් සංවිධානය කර තිබුණා. එම උත්සවය සඳහාත් සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් විරෝධයක් දැක්වූවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – මේ රටේ සිටින බෙදුම්වාදී දේශපාලනඥයන්ට මේ රටේ ජීවත්වන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙම සමගිය ඔවුන්ගේ දේශපාලන අධිකාරයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. මධ්‍යම රජයේ සිටින දේශපාලනඥයන්ට එය තේරුම් ගැනීමට බුද්ධියක් නොමැතිවීම ගැන තමයි මට කනගාටු.

ඔවුන්ට තේරෙන්නේ නැහැ බෙදුම්වාදීන් ප්‍රශ්න ඇති කරන්නේ මොන අරමුණින් ද කියලා.

මම එම පළාතේ වසර තුනහමාරක් පමණ සේවය කළා. එම කාලය තුළ අවස්ථා විස්සකදී පමණ බෙදුම්වාදීන් විවිධ ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කළා. නමුත් අපි ජනතාව අතරට

ගිහිල්ලා ජනතාවට තිබෙන ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබාදීලා එම අවස්ථාවන් පරාජය කළා. ජනතාව අතර තිබෙන සමගිය බෙදුම්වාදීන්ට දරාගන්න බැරිවෙලා තිබෙනවා. එම නිසා තමයි ඔය ප්‍රශ්න ඇති කරන්නේ.

ප්‍රශ්නය – ඔබව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය සඳහා පත්කළ පාර්ශ්වයන් සමග එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ජා කළේ නැද්ද ?

පිළිතුර – නැහැ. මම ඒ පිළිබඳව කතා කිරීමට ගියේ නැහැ. ඇත්තටම මම කිසිදු පත්වීමක් අපේක්ෂා කළේ නැහැ. ජනාධිපතිතුමා මාව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය සඳහා පත්කිරීමට තීරණය කිරීමෙන් පසුව එතුමාට මාව සම්බන්ධ කර ගැනීමටත් සතියක පමණ කාලයක් ගියා. මොකද මම ඒ දිනවල දුරකථනයට පවා එතරම් ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. 2019 දී ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව මම කිසිදු තනතුරු අපේක්ෂාවකින් තොරව මේ රට සෞභාග්‍ය කරා ගමන් කරන ආකාරය බලන් සිටියා. එහෙම ඉන්න කොට තමයි මට මෙම තනතුර බාරගන්න කියලා ආරාධනා කළේ. ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මට සතියක පමණ කාලයකුත් ලබා දුන්නා. මට එම අවස්ථාව ලබාදීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වනවා. එම පළාතට විශාල සේවයක් කිරීමට අවස්ථාව ලැබීම මට ලැබුණු ලොකු ගෞරවයක්.

එහෙත් දැන් මගේ පිළිවෙළ හෝ ප්‍රතිපත්ති නිසා එම තනතුරන් මාව ඉවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. එම නිසා මම එම තීරණය වෙනස් කිරීමට යන්නේ නැහැ. නමුත් මට ලේකම්වරයෙකු හරහා ඉල්ලා අස්වෙන්න කියලා කියපු අවස්ථාවේදී ඉල්ලා අස්වූයේ නැහැ. මොකද එය ආණ්ඩුකාරධුරයට කරන අගෞරවයක් නිසා. නමුත් මම ජනාධිපතිතුමා ලිඛිතව දැනුම්දීමෙන් පසුව ඉවත්වූවා.

ප්‍රශ්නය – උතුර සහ නැගෙනහිර යන දෙපළාතේ දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරන දෙමළ ජාතික සංධානය ඇතුඵ සංවිධාන සමග ජනාධිපතිවරයා යළිත් සාකච්ඡා කරනවා. අපි දන්නවා ඔබ අතීතයේදී එම බෙදුම්වාදයට එරෙහිව කටයුතු කළ බව. ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවාද?

පිළිතුර – මම අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ විශ්වවිද්‍යලයක. එම විශ්වවිද්‍යලයේ අධ්‍යපන කටයුතු අවසන් කරලා යළිත් මේ රටට ආපු කාලයේ දී තමයි ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළේ. අපි නුගේගොඩ හන්දියේ දී පාරට බැහැලා එම ගිවිසුමට විරෝධය පළ කළා. එම විරෝධතාවන්ට ආණ්ඩුවෙන් වෙඩ්තිබ්බා. මගේ ළඟින්ම සිටිය කෙනාට වෙඩි වැදිල මැරුණා. අපි මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා කැපවී කටයුතු කළා. ඉදිරියටත් ඒ සඳහා කැප වෙනවා.

මම සේවය කළේ රෙදිපිළි මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස තමයි. අපේ පවුලේ ආයතනයක් තිබෙනවා. මම එම ආයතනයේ වසර 35 ක් සේවය කරලා තිබෙනවා. මම දැන් යළිත් එම ආයතනයේ සේවයට යනවා. නමුත් ප්‍රශ්නයක් ආවොත් යළිත් ඉදිරිපත් වෙනවා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment