දේශපාලනඥයෙක් පත්වීම මහබැංකුවේ ප‍්‍රතිරූපයට හානියක් – පාඨලී චම්පික රණවක

288

පක්ෂ සාමාජිකයෙකු මෙන්ම දේශපාලනඥයකු වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත්වීම මෙරට මහ බැංකුවේ ප‍්‍රතිරූපයට හානියක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (13දා) ‘දිවයින’ට සඳහන් කළේය.

මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා, ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගොස් මූල්‍ය ප‍්‍රතිරූපය ගොඩනගා ගත යුතු අත්‍යවශ්‍ය මොහොතක එය හිතාමතා විනාශ කර ගැනීම බරපතළ තත්ත්වයක් බවත් එහි ප‍්‍රතිඵල ඉදිරියේදී රටට අත්විඳීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘ශ‍්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මේ රටේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ පැති කීපයකින් අතිශය වැදගත් ස්ථානයක්. රටේ මූල්‍ය වෙළෙඳ පොළේ නියාමකයා, ශ‍්‍රී ලංකා මහ බැංකුවයි. රටේ දැවැන්ත කළමනාකරණය කරන ඒ ණය ගෙවන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හසුරුවන තැන ශ‍්‍රී ලංකා මහ බැංකුව. රටේ දැවැන්තම මූල්‍ය අරමුදල් දෙක සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල පාලනය වන්නේ මහ බැංකුවෙන්. ඒ නිසා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවන ස්වාධීන ලෝකයම පිළිගත් වෘත්තීයවේදියෙක් විසින් ඉසිලීම අතිශය වැදගත්.

ශ‍්‍රී ලංකාව අර්බුදයකට පත් වූ අවස්ථාවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන කීර්තිමත් ආර්ථික විද්‍යාඥයා විසින් අර්ජුන මහේන්ද්‍රන් විසින් බිඳ දමා තිබුණු මහ බැංකුවේ ප‍්‍රතිරූපය දේශීය විදේශීය වශයෙන් ගොඩනගන්න කටයුතු කළා.

දැන් මෙතෙන්ට පත්වෙන්න යන අජිත් නිවාඞ් කබ්රාල් කියන්නේ පැහැදිලිවම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම එහි දේශපාලන නායකයෙක්. ඒ ආණ්ඩුවේ ඇමැති ධුරයක් දරපු කෙනෙක්. ඔහු වැනි කෙනෙක් ආවට පස්සේ මේ මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන එහි නියාමනය ගැන කිසිම විශ්වාසයක් ලෝක ප‍්‍රජාවට හෝ ජාතික වශයෙන් වෙළෙඳපොළට ඇතිවෙන්නේ නෑ.

මොහු පාලනය කරද්දි තමයි මුලින්ම භාණ්ඩාගාර බැඳුම්කර වංචා ආරම්භ වුණේ කියන එක වෝහාරික විගණනයෙන් පෙන්නලා දීලා තියෙනවා. ග‍්‍රීක බැඳුම්කර සිද්ධිය, හෙජින් ගනුදෙනුව සහ සුමේරි කියන ඇමරිකා එක්සත් ජනපදයේ ඔත්තු සේවාවක කටයුතු කරපු පුද්ගලයකුට ඩොලර් මිලියන හයයි දශම අටක් ලබාදීම වැනි දැවැන්ත වංචා පිළිබඳ චෝදනා ලැබූ එවැනි පුද්ගලයෙක් මෙතෙන්ට ගියාට පස්සේ මහ බැංකුවේ ප‍්‍රතිරූපය බිඳ වැටෙන එක අහන්න දෙයක්ද?’’

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment