දේශපාලනයට වඩා කලාවට ආදරය කළ රවීන්ද්‍ර විශිෂ්ට රංගධරයෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

154

රවීන්ද්‍ර රන්දෙණිය මහතා එදා දේශපාලනය කළත් ඔහුගේ කැමැත්ත තිබුණේ දේශපාලනයට වඩා රංගන කලාවටයි. එතුමා ශ්‍රී ලාංකීය සිනමාවට හා වේදිකාවට විශිෂ්ට මෙහෙවරක් කළ රංගධරයෙක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකීය සිනමාව උදෙසා සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘රවී – සිනමා අඩසියවසරක ආත්ම භාෂණය’ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.

1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන් සාධාරණය ඉටුකළ අතර පසුගිය දශක 5 පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.

දුහුලු මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, කළුදිය දහර ඇතුළු සිනමාපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමාශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ඕ.සී.අයි.සී. සහ විචාරක සම්මාන උළෙල රැසකදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක්වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන 07කින් ද හොඳම සහාය නළුවා හා ඇගැයීම සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන් ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street Child (ප්‍රධාන චරිතය), Mother Thresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ (ප්‍රධාන චරිතය) ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්ව ලබා දී ඇත.

සිනමා විචාරක ගාමිණී වේරගොඩ මහතා සිංහල බසින් හා උදිත දේවප්‍රිය මහතා ඉංග්‍රීසි බසින් රචිත රවීන්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර රවීන්ද්‍ර රන්දෙණිය මහතා විසින් එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රවීන්ද්‍ර රන්දෙණිය මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එතුමා ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දිය හැකි දක්ෂ රංගධරයෙක් බවයි.

දේශපාලනයට වඩා කලාවට ආදරය කළ රවීන්ද්‍ර විශිෂ්ට රංගධරයෙක් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

දේශපාලන වශයෙන් රවීන්ද්‍ර රන්දෙණිය මහතා තමා සමග සමීපව කටයුතු කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සිය දේශපාලන කටයුතුවලට ඔහුගෙන් ලැබුණු නොමඳ සහායද කෘතවේදීව සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

මම පළමු වරට රවීන්ද්‍ර දුටුවේ 1975 කළුදිය දහර චිත්‍රපටය තුළින්. මම එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස කැළණියට පැමිණියේද එම වර්ෂයේදීයි. එහිදී මට දළුගම සිටින රවීන්ද්‍රගේ පවුලේ අයව හඳුනා ගැනීමට ලැබුණා. ඔවුන් නිරතුරුව අප පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් කටයතු කරමින් සිටියා. ඒ අනුව ඔහු සමග මා දේශපාලන වැඩ කටයුතු කළා.

නමුත් එතුමාගේ කැමැත්ත තිබුණේ දේශපාලනය සඳහා නොවෙයි, කලා ක්ෂේත්‍රය සඳහායි. එතුමා දක්ෂ රංගධරයෙක්. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට තවත් ක්ෂේත්‍ර ගණනාවකට සිය දායකත්වය ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළයුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment