දේශපාලනය කුණු වී ගිය රටක විශ්වවිද්‍යාල ඉතුරු වේද?

208

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධිය ඉමහත් සමාජ ආන්දෝලනයකට තුඩු දුන් පුවතකි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහාචාර්යවරයාගේ පාර්ශ්වයෙන් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවගෙන්ද වෙන වෙනම විශ්ලේෂණ පමණක් නොව චෝදනා පත්‍රද ඉදිරිපත් වී තිබේ. මෙම සිද්ධියට හේතු වී ඇත්තේ මහාචාර්යවරයාගේ පුත්‍රයා සහ සිසුන් අතර ඇති වූ ආරවුලක් බවද පෙනේ. මහාචාර්යවරයාගේ පුත්‍රයා හා සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් මෙබඳු ප්‍රහාරයක් දක්වා වර්ධනය වූ ආකාරය ඒ සිදුවීම් පෙළගස්වා බලන විට පෙනීයයි. මෙහිදී එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට කරනු ලබන චෝදනා, විවේචන ආදිය පිළිබඳව අපට යමක් කිව නොහැක. එය මේ වනවිට අධිකරණය තෙක් ඇදී ගොස් තිබෙන අතර ඉන් මෙහා සමථයකට පත්වනු ඇතැයිද සිතිය නොහැකිය.

කුමක් වුවත් මෙම ප්‍රහාරය තුළින් ප්‍රකාශ වන ඛේදනීය චිත්‍රය අතිශය බියකරුය. විශ්වවිද්‍යාල යනු නොයෙක් ශාස්ත්‍ර, විද්‍යා දර්ශන ආදිය උගන්වනු ලබන, එවන් විවිධ ක්‍ෂේත්‍ර අරභයා පර්යේෂණ ගවේෂණ සිදු කරනු ලබන විද්වතුන්, ප්‍රාඥයන් ආදීන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපයක් ලෙස පොදුවේ හැඳින්වේ. එහෙත් දැන් කලක සිට අපේ විශ්වවිද්‍යාල අසාමාන්‍ය බුද්ධිමය හා සංස්කෘතික දරිද්‍රතාවකට ගොදුරුව තිබෙන බව බොහෝ මහාචාර්යවරු මෙන්ම වෙනත් විද්වත් කොටස්වල ද විවේචනයකි. එම පරිහානියට විවිධ හේතු තිබිය හැකිය. ඒවා අතර ප්‍රකට එක් හේතුවක් ලෙස විනය, සංවරය නැති සාහසිකත්වය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තවී තිබීම දැක්විය හැකිය.

මෙය සරලව විග්‍රහ කළ නොහැකි වන්නා සේම එය මෙරටේ දේශපාලනය හා අධ්‍යාපනය සමග සෘජුව බැඳී තිබෙන්නකි. රටක සමාජ – ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍රවල ඇතිවන බිඳ වැටීම, නායයාම නිසැකයෙන්ම සමස්ත සමාජයටත් ආයතන පද්ධතියටත් සෘජුව බලපාන්නකි. අපේ විශ්වවිද්‍යාල අපේක්‍ෂා භංගත්වයේ කාන්තාරයක් ලෙස හැඳින්වෙන්නේද ඒ පරිහානිය නිසාමය.

කෙසේ වුවද විශ්වවිද්‍යාල පිළිබඳව අද මෙරටේ සාමාන්‍ය ජනතාව අතර වුවද ප්‍රසන්න අදහසක් නැත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම්, සමාජ මැදිහත්වීම් ආදිය පිළිබඳව විශ්වවිද්‍යාල පාලන අධිකාරියට මෙන්ම ආණ්ඩුවලට ද ඇත්තේ එබඳුම නොරුස්නා ප්‍රතිචාර බව පැහැදිලිය. විශ්වවිද්‍යාලය යනු බුද්ධිමත් තරුණ තරුණියන්ගේ ආකල්පය, සැකසීමට දිරි දෙන සංවාද මණ්ඩපය නොවීම පිළිබඳ වගකීමේ විශාල පංගුවක් මේ පාලකයන් මෙන්ම ආණ්ඩු විසින් ද භාරගත යුතුය. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම බිඳ වැටී සිසු ප්‍රජාව අයාලේ යන තත්ත්වයකට පත්වීම කවර අතින් බැලුවත් ජාතික සම්පතක් විනාශ වීමක් බව අප පිළිගත යුතුය.

අද අප දකින්නේ ඒ සමාජ ඛේදවාචකයේ බිහිසුණු චිත්‍රයකි. ඉහත සඳහන් කළ පේරාදෙණි ප්‍රහාරය මේ සමාජ අර්බුදයේම අනිටු ඵලයකි. ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය කිසිවිටෙක හොඳ මිතුරෝ නොවෙති. විශ්වවිද්‍යාල ප්‍රජාවක යනු එය මැනවින් පසක් කර ගත හැකි ප්‍රබුද්ධ පිරිසක් වෙති. එහෙත් අවාසනාවකට මෙන් එබඳු ප්‍රඥාවක් සමාජ දැක්මක් ඔවුන්ට නැත. ඔවුන්ගේ බොහෝ ප්‍රතිචාර සාහසිකත්වය හා ප්‍රචණ්ඩත්වය කරා යොමු වන බවද රහසක් නොවේ. අද සිසුහු විශ්වවිද්‍යාල පාලනයට මෙන්ම ආණ්ඩුවලට එරෙහිව විවිධ සටන්වල නිරතව සිටිති. මේවා පසුපස දේශපාලන මෙහෙයුම්ද ඇත. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල බලය සඳහා පවතින තරගකාරිත්වය ගැන අපට වරදක් කිව නොහැක. එය මේ සමාජ දේශපාලනයේම කොටසකි. එහෙත් එතැන සිදුවන පටු දේශපාලන කල්ලිවල ක්‍රියාකාරකම් නිසා සිදුවී තිබෙන අවුලද සුළුපටු නැත. රටක ජාතික සංස්කෘතික ප්‍රශ්න සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව මැදිහත්වීම අගය කළ යුතුය. ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම ඔවුන්ගේ සෙවණ යටතේ සමාජ දේශපාලන කියැවීමක් සඳහා ශිෂ්‍යයන්ට තිබෙන අයිතිය අප පිළිගත යුතුය. එහෙත් අද සිදු වන්නේ එය නොවේ.

දේශපාලනය කුණු වී ගිය රටක විශ්වවිද්‍යාල ඉතුරු වේද?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දේශපාලන පක්‍ෂවල බළල් අත් බවට පත්ව සිටින බවට විවෘත චෝදනාවක් තිබේ. ජ. වි. පෙ. හා පෙරටුගාමි පක්‍ෂ මෙන්ම අන්තරේ හෙවත් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය මෙහිදී බොහෝ විට චෝදනාවලටද ලක්වේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සතු විය යුතු නිදහස් චින්තනය විවේක බුද්ධිය හා ප්‍රබුද්ධ මනස වෙනුවට ඒ ඒ පක්‍ෂ දේශපාලනය විසින් ශිෂ්‍යයා වර්ණ ගැන්වීමක් අද සිදුව තිබේ. ඇත්ත වසයෙන්ම ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මෙරටේ අනාගතය පිළිබඳ කිසිදු වගකීමක් ඉසිලීමට ඉඩක් සලසා දී නැත. දසක ගණනාවක් මුළුල්ලේ එකම තැන පල්වන නිසරු අධ්‍යාපන රටාවකින් විශ්වවිද්‍යාලය පිළුණුවී තිබේ. කාලීනව වෙනස් වීමට නොහැකි බුද්ධිමතුන්ගේ තිප්පොලක තත්ත්වයට ඇද වැටුණ විශ්වවිද්‍යාලය ඉන් මුදා ගැනීමට අපේ අධ්‍යාපන බලධාරීන්ට නොහැකි විය. ගම්බදින් පැමිණ මධ්‍යම පාන්තියට හා ඉහළ සමාජ තලවලට අයත් කොටසකට සීමාවූ විශ්වවිද්‍යාලය අද වඩාත් විවෘත වීම හැර වෙනත් සාධනීය වර්ධනයක් විශ්වවිද්‍යාල පද්ධතියට ලබා ගත නොහැකි වී තිබේ.

අද මේ සමාජ ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍රවල තිබෙන දූෂණය ඉතා උග්‍රවී තිබේ. දූෂණය, වංචාව හොරකම, අල්ලස මත රැඳුණු අන්තයට පිරිහී ගිය දේශපාලනයක් පවතින රටක බුද්ධිමය පිබිදීමක් සහිත විශ්වවිද්‍යාල ප්‍රජාවක් අපේක්‍ෂා කළ හැකිද නොසණ්ඩතාලයකට සිදුවන පාලනයකින් විශ්වවිද්‍යාල පමණක් නිවැරදි කර ගත හැකිද ශීඝ්‍රයෙන් පිරිහී යන සමාජ ආර්ථික දේශපාලනයක නියත ඵලයක් ලෙස අද තිබෙන ශාස්ත්‍ර බුද්ධි පරිහානිය ගැන කවර කතාද? විනාශ කාලේ විපරීත බුද්ධිඃ යන්න මොන තරම් අගනා සුභාෂිතයක්ද?

පසුගියදා එනම් මෙයට මාස කීපයකට පෙර ගාලුමුවදොර ආරම්භ වූ විරෝධතාව මේ දේශපාලනයට එරෙහිව නැගුණු ඓතිහාසික ජනතා නැගිටීමකි. එයින් ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස හෙවත් සිස්ටම් චේන්ජ් එක යන්න සමාජ අරගලයක් දක්වා වර්ධනය වූයේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේද දායකත්වයෙනි. එහෙත් එය නිෂේධ කිරීමට එතුළට රිංගාගත් මුග්ධ දේශපාලන හෙංචයියන්ගේ ආක්‍රමණය හේතු වූ බව අද පිළිගනු ලැබේ. ඇත්ත වසයෙන්ම ඒ ජනතා විරෝධය අබියස රාජපක්‍ෂ පාලනය අක්‍රීය විය. ජනාධිපතිට සිය ධුරය හැර රටින් පැනයෑමට සිදු විය. අගමැතිටද ඇමැතිවරුන්ටද සැඟවී සිටීමට සිදුවිය. එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? මහජන විරෝධයට ලක්වූ ඒ ඇමැතිවරුද අද යළිත් බලගන්වනු ලැබ සිටිති. ජනාධිපති ධුරය හොබවන රනිල් වික්‍රමසිංහ ඒ අරගලයේ අනපේක්‍ෂිත ඵලයක් වැන්න. එසේ වුවද අරගලකරුවෝද ඔහුගෙන් පවතින ක්‍රමයෙහි වෙනසක් සිදු වනු ඇතැයි කල්පනා කළහ.

එහෙත් ඒ අරගලයේ අපේක්‍ෂාවන්ට සිදු වූයේ කුමක්ද? අරගලයට දායක වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඉරණම කුමක්ද? ඒ ශිෂ්‍යයා කිසියම් දේශපාලන පක්‍ෂයක හෝ සංවිධානයකට අයත් වීම වෙනම කරුණකි. එහෙත් ඒ ශිෂ්‍යයන්ට යුක්තිය හා සාධාරණය ඉටුවීම පිළිබඳව නීති ක්‍ෂේත්‍රවල නැගෙන විවේචන ද සුළු පටු නැත. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ කරුණු දැක්වීම් සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවලද සංවාදවලට නිමිති වී තිබේ. ආණ්ඩුව මෙම ශිෂ්‍ය ප්‍රජාව දෙස වෛරී ආකල්පයකින් ක්‍රියා කරන බවද චෝදනාවක් ඇත.

කෙසේ වුවද විනය, සංයමය, අන්තයට පිරිහී ගිය විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ කුණු වීම ද ඉමහත්ය. නවක වධය, ශිෂ්‍යයන් මර්දනය හා බලහත්කාරකම මේ හැම විශ්වවිද්‍යාලයකම ඉහවහා ගොස් තිබෙන බව ඒවායේ පාලනය භාර වූ ආචාර්ය මහාචාර්යවරුම පවසති. පේරාදෙණියේ නවක වධ සිදුවීම් අතර කුප්‍රකට ඒවා ලෙස රූපා රත්නසීලි මුහුණ දුන් අත්දැකීම එක් නිදසුනක් පමණි. වාරප්‍රකාශ් නමැති නවක සිසුවාට ද ජීවිතය අහිමි කරන ලද්දේ ම්ලේච්ඡ නවක වධකරුවන් විසිනි. අදත් සිදුවන මේ වධහිංසා ගැන ශිෂ්‍ය සංගම් දක්වන අලජ්ජී පිළිවෙත ඔවුන්ගේ තුච්ඡ මානසිකත්වය පිළිබිඹු කිරීමක් වැන්න.

ඉහත සඳහන් කළ හිටපු උප කුලපතිට එල්ලවූ ප්‍රහාරය හා සම්බන්ධ ජවනිකා කීපයක්ම සජීවී ලෙස රූපවාහිනී නාලිකා මගින්ද ප්‍රචාරය විය. උප කුලපති නිල නිවසෙහි දොරවල් කඩා ගෙන සිසුන් විසින් දියත් කරන ලද තුච්ඡ ක්‍රියාන්විතය කසිකබල් දකුණු ඉන්දියානු චිත්‍රපටයක රූපරාමු පෙළක් බඳු විය. එය පාදඩයන්ගේ සාහසිකත්වය පිළිබඳ මුග්ධ ප්‍රකාශනයකි. එසේම එය ප්‍රචණ්ඩත්වය අතට ගත් පාතාල කල්ලියක රෞද්‍ර විලාසයට නොදෙවෙනි ම්ලේච්ඡ උමතුවකි.

මෙබඳුම අශිෂ්ට වාර්තා තරුණ භික්‍ෂුන් වහන්සේලා බහුතරයක් සිටින පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන්ද ලැබෙයි. අපේ උපාසකම්මලා දණ ගසා වඳින මේ තරුණ භික්ෂූහු එබඳු වන්දනයකට සුදුසු වෙත්ද? මේ තරුණ හාමුදුරුවරුන් නිවන් දැකීමට බවුන් වඩන පිරිසක් නොවූවද භික්‍ෂුත්වයේ ගෞරවය සංවරශීලය පිළිබඳ ආදර්ශයක් දිය යුතු නොවෙත්ද? මේ තරුණ භික්‍ෂුන් අතරද ඉහත සඳහන් කළ දේශපාලන පක්‍ෂ අන්ධානුකරණය කරන අය සිටිතියි සමහරු කියති. ගිහි සිසුන්ට වඩා ප්‍රබුද්ධ මනසක් මේ බොහෝ දෙනකුට නැති වුවද ඔවුන්ට අඩු තරමින් පන්සලේ නායක හාමුදුරුවන්ගෙන්වත් කාලාම සූත්‍රය ගැන විමසා ඉගෙන ගන්නට බාධාවක් නැති බවද අපගේ අදහසය. නිදහස් චින්තනයක්, ප්‍රබුද්ධ මනසක් නොමැති ළිංමැඬි අහිනක් හෝ අනුකාරක පරපුරක් වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියක් නඩත්තු කළ යුතු නැත.

ප්‍රචණ්ඩත්වය, සාහසිකත්වය නොමැති සාමකාමී හා බුද්ධිමය අරගලයකින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව යොමු විය යුතුය. තමන් වැනිම අන්ත දරිද්‍රතාවෙන්ද අප්‍රමාණ පීඩිතයෙන්ද හෙම්බත්ව සිටින නවක සිසුවකු නිරුවත් කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා උත්තමයකු නොව අධමයකු බව අද තිබෙන යථාර්ථය අපට පෙන්වා දෙයි. වසර තුනක් කඹුරා ලබා ගන්නා උපාධිය වෙනුවට අර්ථවත් ශාස්ත්‍රලාභයක් ලබාදීම අරමුණු කරගත් නවීන ලෝකය හා බැඳුණු අධ්‍යාපන පිළිවෙතක්ද අද අත්‍යවශ්‍යය. එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටද බියෙන්, චකිතයකින් තොරව ස්වාධීන මනසකින් තමන්ගේ සිසුන්ට උගත මනා ශිල්ප ඉගැන්වීමේ පරිසරයක්ද තිබිය යුතු බව ආචාර්ය සංගමය ද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විශ්වවිද්‍යාල පද්ධතියෙහි සිදුවන නවක වධය ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඒවායේ පාලන අධිකාරයෙන් ඉල්ලා ඇත. එහෙත් වර්තමානයේදී විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි තිබෙන කැළඹිල්ල මෙන්ම ඒවාට තුඩු දුන් මූලික හේතු පිළිබඳ අවධානයකින් තොරව හුදු නීතියෙන් පමණක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව යහපත් මානවකයන් බවට පත් කළ නොහැකි බවද පෙන්වා දිය යුතු වේ. අනෙක් අතට මේ වනවිටද විශ්වවිද්‍යාල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට තරම් අවශ්‍ය නීතියේ පාලනයක් සඳහා ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ද තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ සමස්ත සමාජයේම නීති ආධිපත්‍යය බිඳ වැටී තිබීමය.

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූ කොල්ලුපිටිය රිය අනතුර සම්බන්ධ රූපරාමුවලින් දැක්වුණේ ද නීතිය අතට ගත් කාන්තාවන්ගේ පාදඩ ප්‍රහාරයක විලාසයයි. මෙබඳු නීතිය අතට ගැනීම් ස්ත්‍රී පුරුෂ උගත් නූගත් ආදි කිසිදු භේදයකින් තොරව සිදු වන්නේද පවතින සමාජ දේශපාලන හා සංස්කෘතික පරිහානිය නිසාය. ගාලුමුවදොර විරෝධතාව වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කේන්ද්‍ර කොටගත් මෙහෙයුම් එයට අදාළ අනෙක් පාර්ශ්ව සඳහා සිදු නොවන බවද කියති. වසන්ත මුදලිගේ ඇතුළු අය හිර මැදිරිවල සිටිද්දී ඒ ප්‍රහාරයේ වගකිව යුතු යැයි චෝදනා ලැබූ අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්ට දක්වන ප්‍රතිචාරය ද රටටම පැහැදිලිය. එහෙත් ඒ කිසිවක් නිසා කිසිවකුට නීතිය අතට ගෙන දඬුවම් කිරීමට අයිතියක් නැති බවද සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment