දේශපාලනය නිසා ඇද වැටුණු ශානි අබේසේකර විශ්‍රාම යයි…

560

කීර්ති වර්ණකුලසූරිය

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ජුනි 30 දා පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගියේය. 1985 දී උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවයට බැදුණු ශානි අබේසේකර බරපතළ අර්බුදයකට ලක්වූයේ සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ ගෙදර වළං සෝදන බවට හඬපටයක් ඔස්සේ කළ ප‍්‍රකාශය නිසාය.

ශානි අපේ උපාලි පුවත්පත් සමාගමට නුදුරු ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන සමයේ සහකාර පොලිස් අධිකාරි ශාන්ති කුමාර් ගමන් කළ මෝටර් රියට පැරණි මාළු කඬේ අසලදී අත්බෝම්බයක් විසි කිරීමේ සිද්ධියක් සැලවිය.

මෙම සිද්ධියෙන් ශාන්ති කුමාර් මිය ගියේය. එවකට පොලිස්පති වූ ලකී කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති පුන්‍යා ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති හදිසි සාකච්ඡාවකට සහභාගී වූ ශානි මෙම ඝාතනයට හිටපු ගුවන් හමුදා භටයකු වූ ක‍්‍රිස්ටෝපර් බැරි සම්බන්ධ බවට සැක කරන්නේ යැයි හෙළි කරනු ලැබීය.

මෙම ඝාතනයට මුල් වූයේ ක‍්‍රිස්ටෝපර් බැරිගේ සහයකයකු වූ චන්ද්‍රික පෙරේරා නැමැත්තා ශාන්තිකුමාර් විසින් අත්අඩංගුවට ගැනීමයි.

මෙකී ඝාතනයේ වගකිව යුත්තන් අල්ලා ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රන්‍යා ද සිල්වා තාවකාලිකව ශානි අබේසේකරව රහස් පොලිසියට කැඳවනු ලැබීය.

1998 සැප්තැම්බර් 8 දා ක‍්‍රිස්ටෝපර් බැරි රාගම නිවසක සිටින බව තොරතුරු ලැබීමෙන් පසු ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනක කුමාරසිංහගේ මූලිකත්වයෙන් රහස් පොලිස් කණ්ඩායමක් එම නිවස වටලනු ලැබීය. මෙහිදී ශානි අබේසේකර තැබූ වෙඩි ප‍්‍රහාරයකින් බැරී සහ ඔහුගේ බිරිය ද මරුමුවට පත් විය.

එදා පොලිස් සේවයේ ගෞරවය දිනාසිටි ශානි පසුව දේශපාලකයකුගේ ආරක්‍ෂක නිලධාරියා විය. එහෙත් යහ පාලන රජය බලයට පැමිණීමත් සමග ම ශානි රහස් පොලිසියේ ප‍්‍රධානියා ලෙසට පත්විය.

එහිදී ඔහු දේශපාලකයන් සම`ග සබඳතා පැවැත් වූ අතර ඉන් එක් අයෙක් වූයේ රංජන් රාමනායකයි. මේ නිසා ශානි අබේසේකර කෙරේ ජනතාව තැබූ විශ්වාසය මුළුමනින්ම බිඳ වැටුණි. මේ නිසා විරුද්ධ පක්‍ෂයෙන් ඔහුට බරපතළ චෝදනා එල්ල විය. මෙවන් පසුබිමක් මැද හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිරගත වීමට මුල් වූයේ ශානි අසත්‍ය සාක්කි නිර්මාණය කිරීම නිසා යැයි හෙළි වීමෙන් ඔහු අත්අඩංගුවට ගැනුණි. මාස 11 ක් තිස්සේ රිමාන්ඞ් භාරයේ සිටි ශානි පසුගිය දා ඇප මත නිදහස් විය.

එහෙත් ශානි සිරගත වූයේ බලගතු සහ ප‍්‍රබල දේශපාලකයන්ට මෙන්ම හමුදා නිලධාරින්ට ද එරෙහි නඩු ගොනු කිරීම නිසා බවට ද චෝදනා එල්ල වුණි.

ජනපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ පත්වීමත් සම`ගම ශානි අබේසේකරගේ සමීපතම සගයා වූ නිශාන්ත ද සිල්වා මෙරටින් ස්විට්සර්ලන්තයට පැන ගියේය.

ඔහුගේ පැන යෑම ද ශානි අබේසේකර වසන් කළ බවට වාර්තා විය. මේ අතර රහස් පොලිසියේ ආරංචි මාර්ග පැවසුවේ යහපාලන රජයේ ඇතැම් දේශපාලකයන් තම පටු අරමුණු ඉටුකර ගැනීමට ශානිගේ නම භාවිත කළ බවයි. 36 වසරක් පොලිස් සේවයේ යෙදී සිටි ශානි අබේසේකර ඉහළට ගියේ රහස් පොලිසිය නිසාය. එහෙත් ඔහු ඇඳ වැටුණේ රහස් පොලිසිය දේශපාලනීකරණය වීමෙනි.

එසේම රාජ්‍ය නොවන සංවිධාන රහස් පොලිසිය වෙත දැඩි බලපෑම් එල්ල කළ බවට ද වාර්තා විය. මේ අතර ශානි අබේසේකර අත්අඩංගුවට පත්වීම තම වාසියට හරවා ගත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීහු ඔහුගේ නම යුරෝපා පාර්ලිමේන්තුව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ගෙන ගියේ ඩොලර් අරමුදල් ලබාගැනීම සඳහායි.

මේ හැර ශානිගේ නම දේශපාලන වාසිය සඳහා විරුද්ධ පක්‍ෂ දේශපාලකයන් නිතරම මතුරද්දී සනාථ වූයේ ඔහුව විකුණාගෙන කෑමේ මෙහෙයුමක් දියත් වූ බවයි. මෙම පසුබිම මැද ශානි අබේසේකරගේ විශ‍්‍රාම යෑම ගැන බටහිර රටවල් කීපයක් දැඩි අවධානය යොමුකර ඇත. ඒ ඔහුට දේශපාලන රැකවරණ ලබාදී වත්මන් රජයේ ප‍්‍රබලයින්ට සහ හමුදා ප‍්‍රධානින්ට එරෙහිව සාක්කි ලබා ගැනීමයි.

මේ අතර ශානි අබේසේකර වෙනුවෙන් විශ‍්‍රාමගිය පොලිස් නිලධාරීන් හෝ සංවිධාන ඉදිරිපත් වී නැත. ඒ වෙනුවට ඉදිරිපත් වී ඇත්තේ මෑතකදී අටවා ගෙන ඇති තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය නැමැති හිඟන සංවිධානයයි. පසුගිය රජය මාධ්‍යවේදීන්ට අවමන් කරමින් මාධ්‍යවේදින්ගේ නිවාස පරීක්‍ෂා කරද්දී ඇස් වසා ගෙන සිටි මේ විකට සංගමය දැන් ශානි අබේසේකර බේරාගන්නා ලෙස හඬ නඟන්නේ ඩොලර් අරමුදල ලබා ගැනීමටද? තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ශානි ගැන දැන දැනගත්තේ මෑතකදීය. මෙයට වසර ගණනාවකට පෙර ශානි ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ සේවයකරද්දී ශහුගේ නම ප‍්‍රචාරය වූයේ නැත.

ශානි යනු කලක මෙරට පොලිස් සේවයේ සිටි කාර්යක්‍ෂම නිලධාරියකු බව කිව යුතුය. ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ සේවය කරන සමයේ ඔහු ක‍්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු. එහෙත් දේශපාලකයන් ඔහුව තම වාසිය උදෙසා වනසා දමනු ලැබීය.
 

advertistmentadvertistment
advertistmentadvertistment