දේශපාලන්ඥයන්ට ගෙදර තියාගන්න මෙච්චර සල්ලි කොහෙන්ද?

791

අරගලය වනාහී රටේ බහුතරයකටත් වඩා එක සේ දැනුණු හැඟුණු එමෙන්ම සකලලෝකවාසීන්ටම ඇසුණු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නිර්පාක්‍ෂික ක්‍රියාපිළිවෙතකි. එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ ජනතාව ජීවත්වීමට කරන ලොකුම අරගලයද මේ කාලය තුළ අපට දැකිය හැක. තවද දිනකට තුන්වේලක් කුස පිරෙන්න ආහාර ගන්නා සුළු පිරිසක් සිටිනා රටේ තවත් පිරිසක් කන්නේ දෙවේලකි. නැතිනම් එක වේලකි. එයද පෝෂ්‍යදායී ආහාර වේලක් නොව යන්තම් බඩපිරෙන්නටය. එහෙව් පිරිසක් සිටිනා රටේ තමන් සතු ධනය කොපමණදැයි නොදන්නා පිරිස්ද මේ රටේ නැතුවාම නොවේ. නමුත් සත්‍ය සඟවා තැබිය නොහැක. මේ එවැනි සිද්ධි දාමයකි.

එකල ආණ්ඩුවට හා ජනාධිපති ගෝඨාභයට එරෙහිව මිරිහානෙන් ආරම්භ වූ අරගලය ගෝල්ෆේස් පිටියේ කඳවුරු බඳින්නට ආරම්භ වූයේ පක්‍ෂ පාට භේදයකින් තොරව නිර්පාක්‍ෂිකවය. ‘ආදරයේ අරගලය’ නම් ලද මෙයට මැයි 09 දා අරලියගහ මන්දිරයට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාවක් ‘මයිනා ගෝ ගම’ හා ‘ගෝඨා ගෝ ගම’ට ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ඇතිවිය. විශේෂයෙන්ම ගෝල්ෆේස් පිටියේ අරගල භූමියට ප්‍රහාර එල්ලවීමත් සමග ගම් නගර හැම එකකම පාහේ කැරලි ඇතිවිය. ඒ අතර සමහරුන් දේපළ කොල්ලකමින් නිවාස ගිනිතබන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස මැති ඇමැති නිවාස විශාල සංඛ්‍යාවක් සහ ඔවුන්ගේ හිතවතුන්ගේ දේපළ, යාන වාහන රාශියක් ගිනි රකුසාට බිලිවිය. සමහර නිවාස ගිනි තබන්නට පෙර කොල්ලකෑමටද ලක්විය.

ඇමැතිටත් නොදැනුන වෙච්ච අලාභය

එලෙස ගිනිගත් සහ කොල්ල කෑ එක් නිවසක් වූයේ වෛi රමේෂ් පතිරණ ඇමැතිවරයාගේ නිවසයි. පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහුගේ නිවස ගිනි තබන්නට පෙර එහි තිබූ රුපියල් කෝටියක පමණ මුදලක් කොල්ල කා තිබේ. තිදෙනකු විසින් මෙය කොල්ල කා තිබෙන අතර මේ වනවිට කොල්ලකරුවන්ගේ වරදින්ම ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ කොල්ලකරුවන් මාර්ගයෙන් මේ පිළිබඳ තොරතුරු පොලිසියට අනාවරණය වනතෙක්ම ඇමැතිවරයා ඒ පිළිබඳ පොලිසිය දැනුවත් නොකිරීමයි. එසේම එසේ ගිනිබත් වූ නිවාස හා දේපළ පිළිබඳ තක්සේරු කිරීමේදී පවා ඇමැතිවරයා ඒ පිළිබඳ සඳහන් නොකිරීමයි. මේ තරම් පාඩුවක්, ඇමැතිවරයා තනිවම දරාගත්තේ එම මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි නිසා වන්නට පුළුවන. කෙසේ වෙතත් පසුව ඇමැතිවරයා පොලිසියට පවසා ඇත්තේ වාහනයක් විකිණීමෙන් ලද මුදල් මේ ආකාරයන් නිවසේ තිබූ බවයි.

ආපු විදියක් දන්නේ නැති ජනපති මැඳුරේ සල්ලි

දේශපාලන්ඥයන්ට ගෙදර තියාගන්න මෙච්චර සල්ලි කොහෙන්ද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

මෙහි අනෙක් සිදුවීම වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වන ජනාධිපති මන්දිරයේ තිබී එක්කෝටි අසූ ලක්‍ෂයකට අධික මුදලක් හමුවීමයි. මෙම මුදල අරගලකරුවන්ට හමුවී ඇති අතර ඔවුන් එම මුදල කොටුව පොලිසිය වෙත භාරදී ඇත. මේ වනවිට එම මුදල් සම්බන්ධයෙන් නඩුවක් පවතින අතර එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි සටහනක් නැත. එම මුදල් ලැබුණේ කෙසේද? එය ලැබුණේ කාගෙන්ද? කුමක් සඳහාද යන්න පිළිබඳ ගැටලු පවතී.

තවත් මැති ඇමැතිවරුන් කී දෙනකුගේ නිවාස වල මේ ආකාරයෙන් බැංකුගත නොකළ, ලැබුණු මූලාශ්‍රත් නිසි ලෙස සඳහන් නොවූ, එසේ හෙළි කිරීමට නොහැකි මුදල් කොපමණ පවතීද? මහජන සේවයට පැමිණෙන විට පාපැදියෙන් එන කී දෙනෙක් වසර 5 අවසන් වනවිට කෝටිපතියන් වී සිටීද? මන්ත්‍රී, ඇමැති වැටුපෙන් මෙතරම් මුදල් කන්දරාවක් උපයා ගත හැකිද යන ගැටලුව මහජනයා නිතර නගන ප්‍රශ්නයකි. මහජන සේවයට පැමිණෙන කී දෙනෙක් අවංකව එම සේවය සපයනවාදැයි විමසුවොත් එය සමාන කළ හැක්කේ ‘නොමල ගෙයකින් අබ මිටක්’ සොයාගැනීම වැනි දෙයකටය.

මහජන නියෝජිතයන් සෑම මැතිවරණයකටම ඉදිරිපත් වන විට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. නමුත් අද වනතෙක් කිසිදු නියෝජිතයෙක් නියමාකාර වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර තිබේද? එසේම ඒ පිළිබඳ කිසිදු සොයා බැලීමක් කර නැත. කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එසේත් නැතිනම් විශේෂ ජනාධිපති කොමිෂන් සභා වෙතින් කොතරම් විමර්ශන සිදුකළත් අද වනතෙක් කිසිදු දේශපාලනඥයෙක් මේ කොමිෂන් සභා හමුවේ වැරදිකරුවන් වී නැත. කිසිදු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී ධුරය අහිමි වී නැත.

තමන්වත් දන්නැති තමන්ගෙ වත්කම්

දේශපාලනඥන්ගේ මෙරට සතු බැංකු ගිණුම්, වත්කම් පිළිබඳ කිසිදු සාක්‍ෂියක් අදවන තෙක් පොලිසියට සොයා ගැනීමට හැකිවී නැත. නමුත් දේශපාලනඥයන් සතුව කෝටි ගණන් මුදල් ඔවුන්ගේ නිවාස වල කිසිදු බියකින් තොරව තබාගන්නේ නීතියේ ඇති අඩුපාඩු නිසාද? ඒවා උපයාගත් ආකාරය පිළිබඳ කිසිදු ආයතනයකින් සොයා නොබලන නිසාද? මේ මුදල් බොහෝ විට විවිධ ටෙන්ඩර්, විවිධ ව්‍යාපෘති අනුමත කිරීම සඳහා ලැබුණු මුදල් විය හැක. එම මුදල් හොර පාරෙන්ම උණ්ඩියල් ක්‍රමයට විදේශගත බැංකු වල තැන්පත් කිරීමට සූදානම් කළ මුදල් විය හැක. සාමාන්‍ය මහජනයා රුපියල් ලක්‍ෂයක් දෙකක් හිටිගමන් බැංකුවෙහි තැන්පත් කළත් ඒ පිළිබඳ සෙවීමට ආයතන 100 ක් පවතී. නමුත් දේශපාලනඥයන් සතු ධනය පිළිබඳ කිසිවකුට වගකියන්නේ නැත. පසුගිය කාලය දෙස විමසා බැලීමේදී දේශපාලන නායකයන් සතු ධනය විශාල වශයෙන් සොරාගත් අවස්ථා කිහිපයක්ම වාර්තා විය. නමුත් පුදුමයට කරුණු වන්නේ ඒ කිසිදු අවස්ථාවක එතරම් මුදලක් සොරාගත් බවක් මාස ගණනාවක් යනතෙක් ඔවුන් නොදැන සිටීමයි. එයින් පෙනී යන්නේ ඔවුන් ඉපැයූ ධනය කොතරම්දැයි ඔවුන්වත් නොදන්නා බවයි.

මීට දශක කීපයකට පෙර මෙරට දේශපාලනය කළ දේශපාලන නායකයන් පිළිබඳ මඳක් විමසා බැලීමේදී පෙනී යන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඔවුන් දේශපාලනය කළේ සැබවින්ම සමාජ සේවයක් වශයෙනි. ඔවුන් සතු පෞද්ගලික ධනය, දේශපාලනය වෙනුවෙන් වැයකළා මිස දේශපාලනයෙන් යමක් කමක් උපයා ගත්තේ නැත. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි පැරණි දේශපාලන නායකයන් තමන් සතු ඉඩකඩම්, යාන වාහන වටිනා කෞතුක වස්තු ආදිය ජනතාව වෙනුවෙන් පුද කළහ. මේ යුගයේ සිටි දේශපාලන නායකයක් බොහෝ දෙනෙකුට මිය යන මොහොත වන විට ඉතිරිව තිබුණේ ඔවුන් පදිංචිව සිටි නිවස පමණි. නැතිනම් ඇඳිවත පමණි.

නමුත් මේ වනවිට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. නිතර පුවත් මගින් අසන්නට ලැබෙන්නේ මෙරට දේශපාලනඥයන් සතු ධනය ස්විස් බැංකුවල, උගන්ඩා රාජ්‍යයේ, සී ෂෙල්ස් දූපත්වල, ඩුබායිහි ආදී විදෙස් රටවල ගොඩගසා ඇති බවයි. පසුගිය කාලයේ නිකුත් වූ පැනමා පේපර්ස්වල මෙරට දේශපාලනඥයන් කිහිප දෙනකුගේම නම් සඳහන් විය. රමේෂ් පතිරණ ඇමැතිවරයාගේත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත් නිවාස වලින් කෝටි ගණනින් මුදල් හම්බවීම පුදුම විය යුතු කරුණක් නොවේ. පුදුම විය යුත්තේ එසේ හම්බ නොවුණානම්ය. රට, ජාතිය, ආගම පෙරට දමාගෙන දේශපාලනය කරන මෙරට නායකයන් බොහෝ දෙනකුගේ ඇතුළාත්තය අප හිතන තරම් සුදු නැත. ඔවුන් පිරිසිදු චරිත වූවානම් ශ්‍රී ලංකාව සැබවින්ම මිහිපිට දිව්‍ය ලෝකයක් වීමට ඉඩ තිබිණි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment