දේශපාලන දික්කසාදය ස්ථීරයි!

689

පාර්ලිමේන්තුවේ කැන්ටිමේ දියර කිරි ඇතුළු ආහාර වර්ග ගණනාවක්ම හිඟවීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු කිහිප දෙනකුම යකා නැටූ බවට මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. තත්ත්වය එසේනම් පොහොර, කෘමිනාශක, ඞීසල්, පෙට‍්‍රල්, ගෑස්, බෙහෙත් නොමැතිකමින් සහ දිනපතා වැඩිවන ජීවන වියදම එමෙන්ම ජනතාවට සංවේදී නොවන දේශපාලන ව්‍යහුයකින් බැටකන ජනතාව ආණ්ඩුවට සහ විපක්ෂයට කෙලෙස ප‍්‍රතිචාර දැක්විය යුතුද? ජනතා ප‍්‍රතිචාරය පිළිබඳව විමසා බැලිය යුත්තේ ප‍්‍රතිවාදීන්ට කුණු බිත්තර, අසූචි සහ ගල් ප‍්‍රහාර එල්ල කරන බවට ආණ්ඩුවට චෝදනා නැඟී ඇති තත්ත්වයක් තුළය.

බැසිල් රෝහණ රාජපක්ෂ මෙහෙයවන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන වාසු-විමල්-උදය කණ්ඩායමක් ලෙස එම පක්ෂයේ නිර්මාතෘවරයාට පසුගියදා එල්ල කළ චෝදනා ගොන්න ආන්දෝලනාත්මකය. එලෙසෙම සහසිකය. එම චෝදනා ජනතාව ඉදිරියේ ඔප්පු කිරීම වාසු-විමල්-උදය කණ්ඩායමේ වගකීමයි.

විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීමක් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවත්, සමස්ත ජාතික ආර්ථිකයම චේතාන්විතව විනාශ කිරීම ඒ මෙහෙයුමේ ප‍්‍රබල කොටසක් බවට එම කණ්ඩායම චෝදනා කළේ තරු පහේ සිනමන් ග‍්‍රෑන්ඞ් හොටලේදීය. ඒ මාර්තු 4 දිනය.

පළමුවරට එම චෝදනාව වාසු-විමල්-උදය කණ්ඩායම ප‍්‍රසිද්ධියේ එල්ල කළේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් හෝටලයේදීය. ඒ මාර්තු 2 වන දිනය. එදින ‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනතාවට ඉදිරිපත් කළ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනද සහභාගි විය.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේනද විකල්ප කණ්ඩායමේ සාමාජිකයෙකි. පාර්ලිමේන්තු නියෝජනය අනුව එම කණ්ඩායමේ ප‍්‍රබලම පක්ෂය ශ‍්‍රීලනිපයයි. ඒ එම කණ්ඩායමට අයිති 30 ක් පමණ වන මහජන නියෝජිතයන්ගෙන් 14 ක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු නිසාය.

විකල්ප කණ්ඩායමේ පක්ෂ සහ තෝරාගත් මන්ත‍්‍රීවරු බිලිබා ගැනීමේ මෙහෙයුමක් පොහොට්ටුව අනිවාර්යෙන්ම ක‍්‍රියාත්මක කරනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ‍්‍රීලනිප නායක සිරිසේන ඇතුළු සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායමම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසෙන්නේ එවැනි වාතාවරණයක් යටතේදීය. අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සමඟ එම සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක සහ සභානායක දිනේෂ් ගුණවර්ධන ද සහභාගි විය. ඒ රජය නියෝජනය කරන කණ්ඩායමේ සාමාජිකයකු ලෙසය. අධ්‍යාපන ඇමැති ගුණවර්ධන පැහැදිලි ස්ථාවරයක් ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අමුතුවෙන් කීමට දෙයක් නැත. මාර්තු 8 වන දින පැවති එම රැස්වීමෙන් පසුව දෙපාර්ශ්වයම ප‍්‍රකාශ කළේ වර්තමාන අර්බුද විස`දීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන බවයි. එවැනි සංදර්ශන පැවැත්වීමෙන් වර්තමාන අර්බුදය ජයගත නොහැක. භූමියේ සැබෑ තත්ත්වය වහාම තේරුම් ගත යුතුය. එදිනම විකල්ප කණ්ඩායම නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. වීරවංශ සටන ඉදිරියට ගෙන යෑමට සූදානම් බව අවධාරණය කර තිබේ.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ අතර දේශපාලන සටන් ඇවිලී ඇත. ශ‍්‍රීලනිපය සමඟ යම් ආකාරයක සටන් විරාමයකට යෑමට පොහොට්ටු පක්ෂය උත්සහා කරනු ඇත. සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමෙන් දේශපාලන අර්බුදය හෝ ආර්ථිකය කඩාවැටීම නැවැත්විය නොහැක. ඒ දේශපාලන අර්බුදය සහ ආර්ථික අවුල සමස්ත අභියෝගයේ ප‍්‍රධාන සාධක දෙක නිසාය.

කෙසේ වෙතත් පිළිගත හැකි, එලෙසෙම විමර්ශනයට ලක් කළ හැකි කරුණු කාරණා වහාම ඉදිරිපත් කිරීමට එම කණ්ඩායම බැඳී සිටී. ඒ එම කණ්ඩායම කළ ප‍්‍රධාන චෝදනාව හුදු දේශපාලන කාරණාවක් පමණක් නොවන බැවිනි.

මුදල් අමාත්‍යවරයා රට අස්ථාවර කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක කරන බවට වීරවංශ මන්ත‍්‍රීවරයා නැවතත් චෝදනා කරන්නේ මාර්තු 7 දින කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය පිටත දීය. ඒ 2016 වසරේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කළ විරෝධතාවයක් නිසා මහජනතාවට පීඩාවක් කළ බවට කුරුඳුවත්ත පොලිසිය ගොනුකළ නඩුවකට පෙනීසිට පිටතට පැමිණීමෙන් පසුවය. නඩුව මැයි 30 ගැනීමට දින නියම කිරීමෙන් පසුවය. ජයන්ත සමරවීර මන්ත‍්‍රීවරයාද එම නඩුවේ චූදිතයෙකි.

මෙවැනි චෝදනාවක් (මුදල් ඇමැතිවරයා සිතා මතා රට අස්ථාවර කරන බවට) කළ පසුව බැසිල් රාජපක්ෂ නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක විකල්ප කණ්ඩායම නියෝජනය කරන කිසිවකුට සිටිය නොහැක. එවැනි තත්ත්වයක් යටතේ තමන් කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බවත්, ජල සැපයුම් ඇමැති ලෙස ක‍්‍රියා නොකරන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර කරන ප‍්‍රකාශය ප‍්‍රශ්න සහගතය. ඇත්ත වශයෙන්ම පක්ෂ 11න් එළිදැක්වූ ජාතික ප‍්‍රකාශනය පිළිගත් කිසිදු මහජන නියෝජිතයකුට කැබිනට් මණ්ඩලයේ පමණක් නොව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තවදුරටත් සිටිය නොහැක. සත්‍යය අමිහිරිය. එලෙසෙම ශ‍්‍රී ලාංකීය සහ ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාටද විකල්ප කණ්ඩායම නියෝජනය කරන මහජන නියෝජිතයන් සමඟ එකට කිසිසේත් කටයුතු කළ නොහැක.

වාසුදේව තවමත් ඇමැතිවරයෙකි. තරු පහේ ශ‍්‍රී ලාංකීය දේශපාලනය ජනතා විශ්වාසය මත ගොඩනඟා නැත. එක්වරම කණ්ඩායම් දෙකටම ක‍්‍රීඩා කළ ක‍්‍රමයක්ද ඇත. එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ ආසන 225 න් එක ජාතික ලැයිස්තු අසුනක් පමණක් හිමි එජාපයට අගමැතිකම ලබාදී ජාතික ආණ්ඩුවකට යන බවට මාධ්‍ය වාර්තා කිරීම හුදු කට කතාවක් පමණක්ද? සර්ව පාක්ෂික සමුළුවක් වර්තමාන අභියෝගයට පිළිතුරක් නොවේ. ජාතික ආණ්ඩු සංකල්පය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. වසර 70 ක් තිස්සේ ශ‍්‍රී ලංකීය දේශපාලනය කළ විනාශය ප‍්‍රභාකරන් හෝ කොවිඞ් මාරයා රටට කළ විනාශයට සමකළ නොහැක.

තමන් මුදල් අමාත්‍යවරයාට කළ චෝදනා වෙනුවෙන් අවංකවම පෙනී සිටිනවානම්, වාසුදේව, වීරවංශ සහ ගම්මන්පිල තම අමාත්‍යධුරවලින් මීට පෙර ඉවත් විය යුතුව තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීරවංශ සහ ගම්මන්පිල ඉවත් නොකළානම් ඔවුන් තවමත් ඇමැතිවරුය. වාසුදේව අමාත්‍යවරයාද ජනාධිපතිවරයා ක‍්‍රියාත්මක වන තුරු බලා සිටී.

මෙම චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර පැහැදිළි නිගමනයකට එන තුරු අබමල් රේණුවක ප‍්‍රමාණයකට වත් ලැජ්ජාවක් තිබෙනවා නම් මෙම පක්ෂ සහ කණ්ඩායම් 11 නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කළ නොහැක. එලෙසෙම ප‍්‍රධාන පක්ෂයට ද එම කණ්ඩායම සමඟ කිසිසේත් එකට කටයුතු කළ නොහැක. නැවතත් අවධාරණය කළ යුතු වන්නේ දෙපාර්ශ්වයටම වර්තමාන තත්ත්වය පිළිබඳව ලැජ්ජාවක් තිබෙනවා ද යන ප‍්‍රශ්නයයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම සුදුසුද? විපක්ෂය ඒ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද? ප‍්‍රශ්නය ඉතාමත් සංකීර්ණය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධානතම දේශපාලන අරමුණක් වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කළේ විකල්ප කණ්ඩායම චෝදනා කරන පරිදි රට අස්ථාවර කිරීමටම ද යන ප‍්‍රශ්නයද නිතැතින්ම නැෙ`ග්. අද බැසිල් රාජපක්ෂට එරෙහි වී ඇති කණ්ඩායම 20 වැනි සංශෝධනයට 2020 ඔක්තෝබර් මස ඡන්දය දුන් බව අමතක කළ නොහැක. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මතවූ එම ව්‍යවස්ථා සංශෝධනය නොවන්නට බැසිල් රාජපක්ෂට ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට ඒමට නොහැකිය. හිටපු ශ‍්‍රීලනිප ජාතික සංවිධායකවරයා නැවත පාර්ලිමේන්තුවට ඇතුළු වන්නේ 2021 ජුලි මාසයේදීය. එසැනින් ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අගමැති මහින්ද රාජපක්ෂ දැරූ එම අමාත්‍යධුරය බැසිල් රාජපක්ෂට හිමිවිය. යුගදනවි මෙහෙයුම ක‍්‍රියාත්මක වන්නේ එවන් පසුබිමකය. නැවත නැවතත් අවධාරණය කළ යුතු වන්නේ විකල්ප කණ්ඩායම කළ ප‍්‍රකාශ චෝදනා පමණක් බවයි.

රටේ ඉහළම අධිකරණය 2021 සැප්තැම්බර් 17 දින රාත‍්‍රියේ අත්සන් කළ යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීම සිදුවන්නේ සිනමන් ග‍්‍රෑන්ඞ් මාධ්‍ය හමුව පැවැත් වූ දිනයේදීමය. එහිදී ආණ්ඩුවට සන්තෝෂ විය හැකි තීන්දුවක් ලැබී තිබෙන බව පවසන්නේ යුගදනවි ගිවිසුමට එරෙහි වූ විමල් වීරවංශය. මූලික අයිතිවාසිකම් පෙත්සම් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව කිසිදු හේතුවක් අධිකරණය ඉදිරිපත් කළේ නැත. එසේ කිරීමට අධිකරණය බැ`දී නැත. නමුත් යුගදනවි ගිවිසුම ජනතා අධිකරණය ඉදිරියට ගෙන ගිය හැකිය.

පොහොට්ටු පක්ෂයට සහ විකල්ප කණ්ඩායමට නැවත කිසිසේත් එක්විය නොහැක. දික්කසාදය අනිවාර්යෙන්ම ස්ථිර විය යුතුය. විකල්ප කණ්ඩායම පොහොට්ටු පක්ෂයට කළ චෝදනා යම්තාක් දුරකට සමාන කළ හැක්කේ එවකට ඒකාබද්ධ විපක්ෂය යහපාලන රජය 2015 කළ ජිනීවා පාවාදීමට පමණය. නමුත් ඉන්දුනීසියාවට හිමි නැගෙනහිර ටිමෝරය නිදහස් රටක් බවට පත් කිරීමට බටහිර බලවේග ක‍්‍රියාත්මක කළ මෙහෙයුමට සමාන දුෂ්ට ක‍්‍රියාවලියක් ශ‍්‍රී ලංකාවේ ද අද ක‍්‍රියාත්මක බව කළ ප‍්‍රකාශය ජිනීවා චෝදනාවලට වඩා ප‍්‍රබලය.

පක්ෂ 11 හේ කණ්ඩායම පොහොට්ටු රජයට කරන චෝදනා අනුව හිටපු ඇමැති වීරවංශ ගේ පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කිසිවකුට ඇමැතිකම් දැරිය නොහැක. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යධුරයේ සිටීම සුදුසුද? ජවිපෙන් කැඞීගිය ජාතික නිදහස් පෙරමුණ පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු (මොහමඞ් මුසම්මිල්) ඇතුළු මහජන නියෝජිතයන් 6 දෙනකු ඇත. එම පක්ෂයේ නායකයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව මන්ත‍්‍රී කණ්ඩායම ආණ්ඩුව සමඟ කටයුතු කරන්නේ කෙලෙසද?

විකල්ප කණ්ඩායම චෝදනා කරන ලෙස විදේශීය අත පෙවීමකට ඉඩ සලසන ආණ්ඩුවක් සමග වීරවංශ ගේ පාර්ලිමේන්තු කණ්ඩායමට තව දුරටත් සිටිය හැකිද? ජාතික හෙළ උරුමයෙන් වෙන්වූ පිවිතුරු හෙළ උරුමය නායක ගම්මන්පිල මන්ත‍්‍රීතුමාට සහ තවමත් අමාත්‍යධුරය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරට ඒ ප‍්‍රශ්නය නැත. ඒ ඔවුන් නියෝජනය කරන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ හිමිවී ඇත්තේ එක මන්ත‍්‍රී ආසනය බැගින් නිසාය. ආසන 145 හිමි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පොහොට්ටුවට මහජන නියෝජිතයන් 117 ඇත. දෙවැනි තැන ආසන 14 ක් හිමි ශ‍්‍රීලනිපයට ය. ආසන 6 හිමි ජාතික නිදහස් පෙරමුණ තුන්වැනි ස්ථානයේය. හතරවැනි තැන ආසන තුනක් හිමි මහජන එක්සත් පෙරමුණයි. ආසන දෙකකට හිමිකම් කියන යුතුකම සිවිල් සංවිධානයට අසන 2 යි. නමුත් මහජන එක්සත් පෙරමුණ විකල්ප කණ්ඩායමේ නැත.

විකල්ප කණ්ඩායම පොහොට්ටු පක්ෂයට කරන චෝදනාවලට මහජන එක්සත් පෙරමුණ නැත. නමුත් එම චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණට නිශ්ශබ්දව සිටිය නොහැක. සභා නායක වශයෙන් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවේදී විපක්ෂය අනිවාර්යෙන් ප‍්‍රශ්න කරනු ඇත. තත්ත්වය ව්‍යකූලය. කිසිවකුට ප‍්‍රශ්නය මඟහැර ගිය නොහැක.

ආණ්ඩුව බරපතළ අර්බුදය බව පැහැදිලිය. වීරවංශ සහ ගම්මන්පිල ඉවත් කිරීම සමඟ ක‍්‍රියාත්මක කළ කැබිනට් සංශෝධනය භූමියේ තත්ත්වය කිසිදු ආකාරයකින් වෙනස් නොකළ බව අමුතුවෙන් කියා යුතු නැත. පසුගිය වසරේ අගෝස්තු මස 6 දින සුව අමාත්‍යාංශය අහිමි වීම නිසා පවිත‍්‍ර වන්නිආරච්චි කඳුළු සැලූ බව රහසක් නොවේ. ඇයට විදුලි බල ඇමැතිකම මහත් අභියෝගයක් වනු ඇත. වර්තමාන අභියෝගයේ දිග පළල ඇයට නැත. නව ඇමැතිවරිය තත්ත්වය වටහා ගත්තානම් කැබිනට් සංශෝධනය සිදුවන්නේ අමාත්‍යවරුන්ගේ නොහැකියාව බවට කෙළෙසවත් අදහස් පල කරන්නේ නැත.

වර්තමාන අර්බුදය සමස්ත ජනාධිපතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයටම විශාල අභියෝගයකි. තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදය සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් කොටසක් කැබිනට් මණ්ඩලයේ සෙසු පිරිස රට මුහුණ දෙන තර්ජනය නොසලකා කටයුතු කරන බවට කරන චෝදනාව ද සැලකිල්ලට ගනිමිනි.

වර්තමාන අර්බුදය හමුවේ ආණ්ඩු පක්ෂය දෙකඩ වී ඇත. නමුත් ඉතිරි වසර තුන පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ කිසිදු අපහසුවක් නැත. විකල්ප කණ්ඩායමේ කිහිප දෙනකු දිනා ගැනීම පොහොට්ටුවට අභියෝගයක් නොවේ. නමුත් වීරවංශට හෝ
ගම්මන්පිලට නැවත කිසිදා බැසිල් රාජපක්ෂ සාමාජිකත්වය දරන කැබිනට් මණ්ඩලයක සිටිය හැක්කේ නිර්වස්ත‍්‍රව පමණි. ඒ ඔවුන් බැසිල් රාජපක්ෂට, විශේෂයෙන්ම සහ රාජපක්ෂ පවුලට (ජනාධිපතිවරයාද ඇතුළුව) කළ චෝදනා සලකා බැලීමේදීය. නව දේශපාලන බලවේගයක් ගොඩනැඟීමේ බරපතළ අභියෝගයට හිටපු ඇමැතිවරු දෙදෙනා මුහුණ දී ඇත. එය සුළුපටු අභියෝගයක් නොවේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මැති ඇමැතිවරුන් මෙන්ම ජනතාවද වර්ධනය වෙමින් පවතින ඩොලර් අර්බුදය වටහා ගත යුතුය. තමන් අත ඇති හැන්දෙන් ඇති පදමට බෙදාගත්ත වුන් සහ ඔවුන්ගේ සගයින් මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුතුය. සමස්ත අර්බුදය බැසිල් රාජපක්ෂ නිර්මාණය කළ බවට චෝදනා ඒ ආකාරයෙන් පිළිගැනීමට නොහැකිය. එසේ නම් කැබිනට් මණ්ඩලයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් පමණක් සමන්විත විය යුතුය. කැබිනට් මණ්ඩලයේ නායකත්වය ඔහු සතු විය යුතුය. අදායමට වඩා වියදම් කරන කාගෙත් ඉරණම මෙය විය යුතුය.

ශ‍්‍රී ලංකාව පත්වී ඇති තත්ත්වය අතිශය කනගාටුදායකය. අදහා ගත නොහැක. පාර්ලිමේන්තුව නියෝජනය කරන, කළ එකෙකුට පුරසාරම් දොඩන්නට බැරිය. සමස්ත ආණ්ඩුවම අසමත් වී ඇති අවස්ථාවක කැබිනට් සංශෝධන අතීසාරයට අමුඩ ගැසුවා වැනිය. එහෙව් ආණ්ඩුව සමගි ජන බලවේගය පක්ෂයේ කෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් කරන අතර තුර බිත්තර ප‍්‍රහාරයක් එම කාර්යාලයට එල්ලවීම අවාසනාවන්ත තත්ත්වයකි. ඒ මාර්තු 7 වන දිනය. එදිනම ගම්පහ කලගෙඩිහේනේ ජනවාරි 30 දින පැවති ජවිපෙ සමුළුවට කුණු බිත්තර ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් දෙදෙනකු (හිටපු සාමාජිකයන් ලෙස හැ`දින්වූ) මාර්තු 21 දින දක්වා තව දුරටත් සිරගත කිරීම විශේෂය. කලගෙඩිහේන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවධාරණය කළේ තමන් දෙකයි පනහේ වැඩ නොකරන බවය. නමුත් නැවතත් බිත්තර බළකාය ක‍්‍රියාත්මක වී ඇත. කුණු බිත්තර බළකාය පොහොට්ටුවට කරන හානිය නිමක් නැත. චමුදිත සමරවික‍්‍රමට මෙන්ම හිටපු මන්ත‍්‍රිනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රට ද මෑතකදී අසුචි ප‍්‍රහාරයක් එල්ල වූ බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා චෝදනා කර ඇත.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අසහාය නායකත්වයක් හමුදාවට දුන් ෆොන්සේකාට අසූචි ප‍්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාකිරීමට වීම අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය අසූචි බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment