දේශපාලන නිරුවත වසා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී වස්ත්‍රය උදුරා ගැනීම!

124

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ නිල කටයුතු අරඹමින් කොළඹ ජනාධිපති කාර්යාලයේ සිට රටටම ප්‍රකාශ කළේ ‘ප්‍රතිපත්ති මත වැඩ කරන රටක් ලෙස අප ඉදිරියට යා යුතු බවය. ඒ අයැදුම නිසැකයෙන් ම අද අප මුහුණ දී සිටින සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගැලවීමට තිබෙන එකම මඟ බව ද නිසැකය. ඇත්ත වශයෙන් ම මේ රටට ප්‍රතිපත්තියක් තබා ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් හෝ තිබුණා දැයි අපට නම් ප්‍රශ්නයකි. යටත් විජිත වියගසෙන් අප නිදහස් වුවද මේ රට යළි බැඳ තබන ලද්දේ ආතක් පාතක් නොමැති බලකාමී දේශපාලන වියගසකය. තට්ටුමාරු ක්‍රමයට දේශපාලන බලය හිමිකර ගත් පැලැන්තියට වුවමනා වූයේ රටේ දියුණුව හෝ සංවර්ධනය නොව තම බලකාමී හා ධනකාමී අපේක්‍ෂාවන්ට සරිලන දේශපාලන ක්‍රමයක් නඩත්තු කිරීම පමණි. 2022 වූ කලී ඒ දේශපාලන නිරයෙන් ගොඩඒම සඳහා මේ රටේ තරුණ තරුණියන් මෙන්ම වෙනත් සිවිල් ක්‍රියාකාරීන් සමඟ ජනතාවද නැඟී සිටි අභිමානවත් වසරකි. එය මේ රටේ දේශපාලන ඉතිහාසයෙහි රන් අකුරෙන් සටහන් වන විප්ලවීය ජනතා ප්‍රතිචාරයකි. ගාලුමුවදොර අරගලය විසින් රටට දෙන ලද අලුත් පණිවුඩය වූයේ ද රටට අලුත් ගමනක් – ප්‍රතිපත්ති මත පදනම් වූ ගමනක් වුවමනා බව ය.

හැටනව ලක්‍ෂයක ජනවරමක් සහිත අසාමාන්‍ය බලයක් අතැතිව රට මෙහෙයවීමට භාර වූ ගෝඨාභයට ඒ ගමන සඳහා අවශ්‍ය වූ ප්‍රතිපත්තිමය දැක්මක් සහිත දේශපාලන විඥානයක් නොවූ බව අද වැඩිපුරම පවසන්නේ එදා ඔහු ඔසවා තැබූ කණ්ඩායම් හා දේශපාලන චරිත වීම ද එක්තරා ආකාරයක් සරදමක් වැන්න. කුමක් වුවද 2022 සිදු වූ දේශපාලන හෙයියම්මාරුව විස්මිත ප්‍රාතිහාර්යයක් වැන්න. එය ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍ෂේත්‍ර සියල්ල උඩු යටිකුරු කළා වූද, එතෙක් පැවති සම්ප්‍රදාය හා වැඩවසම් දේශපාලන ප්‍රභූ පැලැන්තියේ බරපතළ කඩාවැටීමක් ද සනිටුහන් කළා වූද, ඓතිහාසික වෙනසක සමාරම්භයකි. එහි නියත ඵලය වූයේ රාජපක්‍ෂ පවුල කේන්‍ද්‍ර කරගත් දේශපාලන කඳවුර දෙදරා යෑමය. එයට හේතු වූයේ ගාලුමුවදොර කේන්ද්‍ර කර ගනිමින් වැඩුණු විරෝධතාව හා එයට එක් වූ නිර්පාක්‍ෂික සමාජ බලය හා ජනතා දායකත්වයයි. එහෙත් අවාසනාවකට මෙන් ඒ ඓතිහාසික අරගලය කිසියම් සාහසික හා ප්‍රචණ්ඩ කණ්ඩායමක් අතට පත්වීම ද ඒ විජයග්‍රාහී අභිමානය පළුදු කරන්නක් විය.

දේශපාලන නිරුවත වසා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී වස්ත්‍රය උදුරා ගැනීම!

කෙසේ වුවද ගෝඨාභය සිය ධුරය පවා අතහැර පලායෑමෙන් පසු දිස් වූ අරාජිකත්වය මර්දනය කිරීමට ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගත් රනිල් වික්‍රමසිංහට හැකි විය. ඒ වනවිටත් ව්‍යාප්ත වෙමින් තිබුණු ප්‍රචණ්ඩත්වයෙන් පීඩනයට පත් දේශපාලනඥයන්ට මෙන්ම සාමකාමී පුරවැසියන්ට ද අලුත් බලාපොරොත්තුවක් ලබාදීමට ජනාධිපති රනිල්ට හැකි විය. කුමක් වුවත් ගෝඨාභයට ලබා දුන් හැටනව ලක්‍ෂයේ ජනවරම රනිල්ට හිමිවීම එක් අතකින් දේශපාලන ඇටෝනි බලපත්‍රයකින් මෙන් ඔහුට ලැබුණු භාරකාරත්වයක් වැන්න. 2022 ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්වීම හා ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක් වීමේ ආසන්නතම වගඋත්තරකරුවන් වූයේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රය බව ද නිසැකය. එහෙත් ජනාධිපති රනිල්ට සිය සමාජ දේශපාලන මෙහෙයුම් සඳහා යොදාගත හැකි වූයේ පොහොට්ටුවේ බහුතරයකි. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳව සංවාදයක් තිබුණත් විවිධ සාධනීය හේතු මෙන්ම වෙනත් දේශපාලන බල අරගල නිසාද එය යථාර්ථයක් බවට පත් වූයේ නැත. එහෙත් ශ්‍රීලනිප හා සජබ පක්‍ෂවලින් කීපදෙනෙක් ද ජනාධිපති රනිල් සමඟ එක්වූහ.

මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභාපතිවරුන් ඇතුළු සුපිරි කොටස් ඇතුළත් නොවෙති. මෙය බලවත් අසාධාරණයක් බව රජයේම ඇතැම් නිලධාරීහු පවසති. ඉහත සඳහන් කළ පරිදි විශේෂ වරප්‍රසාද සහිත මේ අයට නිදහසේ තවදුරටත් සිය සුපුරුදු ජීවන රටාව පවත්වාගෙන යෑමට මේ බදු බරින් මිරිකී සිටින පොදු ජනතාවට සිදුවීම අවාසනාවක් නොවේද? විශේෂයෙන් බංකොලොත් රටක පීඩාවට පත්ව සිටින රටක ජනතාව වෙනුවෙන් කවර හෝ පරිත්‍යාගයක් නොකරන ජනතා නියෝජිතයන් හැඳින්විය යුත්තේ කෙසේද? මෙයට අමතරව මේ බදු දැලට හසු නොවන තවත් පිරිස් ද වෙති. වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තිකයන් අතර ද එබඳු වාසනාවන්තයෝ සිටිති. චීනය මහා විපතකට මුහුණදීමේදී මාඕසේතුං ප්‍රකාශ කළේ කුඩා දරුවන්ට හැර අනෙක් සියලුම නිලධාරීන්, පාලකයන් ඒ සඳහා දායක විය යුතු බවය. අඩුම තරමින් මේ මහජන නියෝජිතයන්ට තම ජනතාව
ගැන කැක්කුමක් වත් තිබේ නම් විදුලිබිල ඉහළ දැමීම, බදුබර ආදිය ගැන මෙයට වඩා සංවේදී විය යුතුව තිබුණි. මේ ජරමර අස්සේ ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි පාඩු ලබන ආයතනවලට බෝනස් හෙවත් පාරිතෝෂික දීමනා ලබා දී තිබීම ද විස්මය දනවයි. පාඩු යැයි කියන ඛනිජ තෙල් සංස්ථාවට ද ඒ වාසනාව පෑදී තිබේ. මේ ගැන ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව තිබේ. පාඩු ලබන ආයතනවල සිදුවන අක්‍රමිකතා ගැන ද විවේචන තිබේ. ඇතැම් ආයතනවල මාෆියාවක් ගැන ඇමැතිවරු ම කියති. එහෙත් රට හිඟමනට වැටුණත් වගේ වගක් නැතිව තම මඩි තරකර ගැනීමට කොටසකට පමණක් ඉඩ සලසා තිබේ නම් ආණ්ඩුව දොඩවන මූල්‍ය පාලනය, විනය, සකසුරුවම්කම නිකම්ම වචන පමණක් නොවේද?

කුමක් වුවත් 2023 දී මේ ආණ්ඩුව මුහුණ දී සිටින අනෙක් උභතෝකෝටිකය වන්නේ දැන් නියම වී තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. විදුලි බිල ඉහළ දැමීම, ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය මෙන්ම ඉතා නුදුරු දිනයකදී පැවැත්වීමට නියම විය හැකි ඒ පුංචි ඡන්දය ද මේ ආණ්ඩුවේ මරණ තුනක් විය නොහැකිද? ඇත්ත වශයෙන් ම විදුලිබිල ඉහළ දැමීම නමැති කරවැලේ එල්ලී බදු ප්‍රතිසංශෝධනය නමැති වියරු ගිජාදාගේ ප්‍රහාරයත් පෙනි පෙනී ප්‍රාදේශීය ඡන්දය නමැති නාගයා දෂ්ට කර දේශපාලන ළිඳකට වැටීමේ අනතුර ආණ්ඩුව ද හොඳින් දනී. දේශපාලන වශයෙන් පරිණත ජනාධිපති රනිල්ට මේ මරණ තුන පැහැදිලිව පෙනී ඇති බව අපගේ අදහසය. එම පළාත් පාලන මැතිවරණයේ කිසිදු කටයුත්තකට තමන් සහභාගි නොවන බව ජනාධිපතිවරයා පවසන්නේ එනිසාය. එසේම ඔහු අවධාරණය කරන්නේ තමන්ට වරමක් ලබා දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට බවය. ඔහු ඒ බව දැනුම් දී ඇත්තේ සිය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ටය. එසේම සාම්ප්‍රදායානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලසුන උසුලන බව ද ඔහු පවසා තිබේ.

රාජ්‍ය නායකයා ලෙස ඔහු මැතිවරණ ව්‍යාපාරවලට සහභාගි නොවීම අගය කළ යුතුය. ඇත්ත වශයෙන්ම රාජ්‍ය නායකයා පක්‍ෂයක් මෙහෙයවමින් ඡන්ද කටයුතු කිරීම ගැන මෙයට පෙර ද සාකච්ඡා වූවකි. එහෙත් මෙහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනා දෙක හා මේ වනවිට එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තිබෙන බෙදීම සමග ගැටගැසී ඒ ප්‍රශ්නය තවත් සංකීර්ණ කරන්නක් බව ද පෙනේ. මේ වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසම ඇතුළේ ද බෙදීමක් ඇති බව වාර්තා වේ. මෙම මැතිවරණය පැවැත්වීමට වුවමනා මුදල් නැති බවට කොමිසමේ කණ්ඩායමක් පැවසීම මෙම ප්‍රශ්නය උග්‍ර කරවන්නකි. සභාපතිවරයාගේ අදහසට අනියමින් අභියෝග කිරීමක් ලෙස මෙන්ම එය මේ ඡන්දය කල්දමා ගැනීමට වුවමනා ආණ්ඩුවේ සමහරුන්ට ද ශක්තියක් ලබාදෙයි. මෙය එක් අතකින් අඬන්න හිටිය මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් වැන්න. එසේ නොවුවද මෙම පුංචි ඡන්දය කල් දමා ගැනීමේ වුවමනාවක් මේ ආණ්ඩුවට තිබුණු බව බොහෝ දෙනෙකුගේ විවේචනයයි. එය මේ රටේ බලකාමී දේශපාලනයේ නග්න යථාර්ථයයි.

අප දන්නා පරිදි මෙරටේ අද වනවිට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යන මැතිරිල්ල විනා එහි භාවිතය නොවේ. මේ ආණ්ඩුවට තිබෙන අප්‍රසාදය රටම දනී. එය ආණ්ඩුව ද දනී. එහෙත් යම් හෙයකින් ආණ්ඩුවට අතිශය ඛේදනීය පරාජයක් හිමි වුවහොත් එයින් රටට වඩා ලොවට ලැබෙන සංඥා බොහෝ ය. ආණ්ඩුවේ පුරාජේරු ඇමැතියෙක් ප්‍රසිද්ධියේ කෙබඳු දේ පැවසුවත් එයින් තමන්ට වන හානිය ඔවුහු දනිති. පළාත් පාලනය කාට ගියත් ඒවාට මුදල් වෙන්කරන්නේ ආණ්ඩුව බව එක් ඇමැතිවරයෙක් කීවේය. තවත් කීපදෙනෙක් ම පැවසුවේ ආණ්ඩුව පෙරළීමට එබඳු පුංචි ඡන්දයකට නොහැකි බවත්, රට ගොඩනැගීමේ වගකීම සඳහා ආණ්ඩුව කැප වී සිටින බවත් ය.

මෙයට අමතරව ඡන්දයට පක්‍ෂව හා විපක්‍ෂව අදහස් ප්‍රකාශ වන්නට ද විය. ආණ්ඩුවේ ඇමැති මහින්ද අමරවීර රටට කියා සිටියේ ඡන්දයට යන මුදල තමන්ට ලැබුණොත් එයින් ගොවියන්ට සහන දිය හැකි බවය. මෙය සද්භාවයෙන් කරන ප්‍රකාශයක් නොව රැවටීමක් බවට ගෙවි සංවිධාන නායකයෝ ම චෝදනා කළහ. අමරවීරගේ භූමිකාව ගැන ද විවේචන තිබුණු හෙයින් එය ව්‍යාජ කඳුළු සැලීමක් ලෙස කල්පනා කිරීම ද පුදුමයක් නොවේ.

මේ අතර පොහොට්ටුවේ හිටපු ඇමැතිවරයෙක් වූ එස්. එම්. චන්‍ද්‍රසේන ප්‍රසිද්ධියේ කීවේ තමන් ඡන්දයට සූදානම් බව ය. තවත් අය ඡන්දයට බිය නැති බව ද කීහ. එජාපය ඡන්දයට සූදානම් බව රංගෙ බණ්ඩාර කියද්දී වජිර කීවේ එය තවත් රට බංකොලොත් කරන නාස්තියක් බවය. ඇමැති මනුෂ ද ඒ සල්ලි වැය කිරීමට මෙය සුදුසු නැති බව කීවේය. ඇතැම් ස්වාමීන් වහන්සේලා ද ඡන්දයක් සඳහා ජනතා මුදල් වැය කිරීමට අද යහපත් ආර්ථිකයක් නැති බව කීහ. රාජ්‍ය මාධ්‍යවල ජනතා අදහස්වලදී වැඩිපුර ප්‍රකාශ වූයේ ද ඡන්දය අනවශ්‍ය බවය. එහෙත් වෙනත් මාධ්‍යවලින් ප්‍රකාශ වූයේ ආණ්ඩුව මෙය වැළැක්වීමට යටිකූට්ටු වැඩ කරන බවය. මාධ්‍යවලින් පෙන් වූ ජනමතය මෙන්ම විපක්‍ෂයේ වේදිකාවල අදහසෙහි හරය වූයේ ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකිය යුතු බවත් ය.

මේ අතර මැතිවරණ කොමිසම තුළ පවා ඡන්දය පැවැත්වීම පිළිබඳ බෙදීමක් තිබෙන බව හෙළිවීම නිසා රජය නීතිපතිගෙන් විමසන බවක් ද වාර්තා විය. දැන් එය නීතිය පිළිබඳ ක්‍ෂේත්‍රවල ද සාකච්ඡා කෙරෙන්නකි. එසේම අප ඉහත සඳහන් කළ පරිදිම මෙම ඡන්දය හා සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ජනාධිපති රනිල් කර තිබේ. එනම් මෙම ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගෙන් හාරදහසකට පමණක් දීමනා හා වරප්‍රසාද ලැබෙන බවය. එසේම ඔහු තම පක්‍ෂයට කියා තිබුණේ 40% ක් අලුත් මුහුණු තෝරා ගත යුතු බවය. එසේම ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී අගමැති දිනේෂ් විසින් පළාත් පාලන මැතිවරණය සම්න්ධ වූ පනත් කෙටුම්පතක් ද ඉදිරිපත් කළේය. එය දොලවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාවකි. කුමක් වුවත් එහිදී උණුසුම් සංවාදයක් ද ඇති විය. විපක්‍ෂය ඒ ගැන අදහස් දැක්වූ අතර ආණ්ඩුව පැහැදිලිවම කියාසිටියේ රජය මැතිවරණ කොමිසමට බලපෑම් නොකරන බව ය. කුමක් වුවත් ආණ්ඩුවත් මැතිවරණයට නාමයෝජනා දෙන අතරේ මේ කටයුත්ත ගැන උනන්දුවීම පොදුවේ විපක්‍ෂයේ සැකයට හේතු වීම පුදුමයක් නොවේ.

කොහොමටත් මේ ඡන්දයෙන් පලායෑම ආණ්ඩුවේ අරමුණ වූ බව සැඟවිය නොහැක. එහෙත් ඒ සඳහා ඔවුන්ට බාධාවක් වූයේ මෙයට පෙර ඡන්දය කල් දමා තිබීමත් එය පැවැත්වීමට නියමිත කාලයත් ප්‍රකාශ වීම නිසාය. විපක්‍ෂය පමණක් නොව පැෆරල් සංවිධානය හා වෙනත් සිවිල් සංවිධාන දිගින් දිගටම ඡන්දය පැවැත්විය යුතුය යන හඬ නැඟීම ද ආණ්ඩුව දුර්මුඛ කරන්නක් විය. ජනතාවගෙන් බහුතරයකට මේ මැති ඇමැතිවරුන්ගේ වචන ගැන විශ්වාසයක් ද නැත. කාගේත් බල තෘෂ්ණාව, දේශපාලන යටිකූට්ටු ගැන බොහෝ දෙනෙක් දනිති. වචීපරම ප්‍රජාතන්ත්‍රවාදයක් විනා ඒ මත පදනම්ව යන ගමනක් නැති බව ද ඔවුහු කියති. අවසන් වශයෙන් තවත් එක් දෙයක් ද කිව යුතුය. එනම් මෙරටේ පැවති හැම ආණ්ඩුවක්ම තමන්ට අවාසිදායක පසුබිමක ඡන්ද කල්දැමීමට අලජ්ජී ලෙස ක්‍රියාකර තිබෙන බව ය. 1970 බලයට පත් සිරිමාවන්ගේ ආණ්ඩුව 1972 ව්‍යවස්ථාවෙන් සියුම් ලෙස වසර දෙකකින් මැතිවරණය කල් දැමුවාය. ඊට පසු 1982 දී ජේ. ආර්. ජයවර්ධන ජනමත විචාරණයකින් වසර හයක් තම පාලනය දිගුකර ගත්තේය. එය 1931දී සර්ව ජන ඡන්ද බලය අශිලාචාර ලෙස මංකොල්ල කෑ දුෂ්ට මෙහෙයුමක් බව බොහෝ අයගේ අදහසකි. ‘කුප්‍රකට ලාම්පු – කළගෙඩි සෙල්ලම’ ලෙස ඒ අශෝබන කැළල අපේ මැතිවරණ ඉතිහාසයේ සටහන්ව තිබේ. එනිසා කවුරුන් කෙසේ සිදු කළත් මහජන අයිතියක්, ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් වන ඡන්ද අයිතිය උදුරා නොගත යුතු බව ප්‍රකාශ කරන විද්වතුන්, වෘත්තිකයන් මෙන්ම දේශපාලන පක්‍ෂ සමඟ අපට ද එකඟවීමට සිදුවේ.

ජනාධිපති රනිල් මෙහිදී වඩාත් පරිණත නායකයකු ලෙස ක්‍රියාකරනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුරවැසියෝ ද අපේක්‍ෂා කරති. එසේම ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදිම ප්‍රාදේශීය දේශපාලනයට අලුත් මුහුණු යහපත් පිරිස් එක්වන්නේ නම් එය රටේම වාසනාවකි. මන්ත්‍රීකම, බලය දඩමීමා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ඇදගෙන යන බෙලිඅත්තේ ප්‍රාදේශීය සභාවෙන් යළිත් සිහිපත් කළේ දේශපාලන ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලු පක්‍ෂ ක්‍රියාකරනු ඇතැයි ද ජනතාව බලා සිටිති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment