දේශපාලන පක්‍ෂ රැසකින් මැයි රැලි සැමරුම්

196


● පො. පෙ. බොරැල්ලේ
● සජබ – ගුණසිංහපුර
● ජවිපෙ – විහාරමහාදේවි උද්‍යානය අසල
● ශ්‍රීලනිප – මහනුවර
● එජාප – සුගතදාස ක්‍රීඩාංගණයේ
● උත්තර ලංකා සභාගය – හයිඩ් පිටියේදී

137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01 දාට) යෙදී තිබේ. වැඩකරන ජනතාවගේ අභිමානය සමරමින් මෙවර කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක මැයි රැලි සහ සමරු උත්සව පැවැත්වීමට දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදීද, සමගි ජනබලවේගය පක්‍ෂයේ මැයි රැලිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී ද, ජනතා විමුක්ති පෙරමුණේ රැලියේ පෙළපාලිය කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර කොළඹ විහාරමහාදේවි උiානයට පැමිණ එම ස්ථානයේදී පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලිය හිටපු ජනාධිපති පක්‍ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිටදී ද, එක්සත් ජාතික පක්‍ෂ මැයි රැලිය පෙරවරු 9.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.

දේශපාලන පක්‍ෂ රැසකින් මැයි රැලි සැමරුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායක ලෙස මෙම රැලියට සූම් තාක්‍ෂණය ඔස්සේ සුබපැතුම් එක් කිරීමට නියමිතය.

උත්තර ලංකා සභාගයේ මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී සවස 2.00 ට ආරම්භ වේ. ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, විජයධරනි ජාතික සභාව, යුතුකම ජනතා පක්‍ෂය ඒ සඳහා එක්වන බව උදය ගම්මන්පිල මහතා පැවසීය. විහාරමහාදේවි උiානය අසලින් එහි පෙළපාලිය ආරම්භ වේ.

නිදහස් ජනතා සභාවේ මැයි දින රැලිය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී සවස 2.00 ට පැවැත්වේ. මහනුවර සේනානායක වීදිය අසලින් පා ගමනින් පැමිණ රැලිය පැවැත්වීමට නියමිතය.

එමෙන්ම 1993 මැයි 01 දා කොළඹ ආමර්වීදියේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ගුණ සමරු පිංකම ආමර්වීදියේ එම පිළිරුව අසලදී පැවැත්වේ. එහිදී පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකෙරේ.

ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (සී.එම්.යූ) මැයි රැලිය පෙරවරු 9.30 ට කොළඹ 03 ගාලු පාරේ බාලාතම්පෝ පටුමගේ පිහිටි එම සංගම් ශාලාවේදී පැවැත්වේ.

එක්සත් සමාජවාදී පක්‍ෂය කොස්ගස්හන්දියේදී ද, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කොළඹ තිඹිරිගස්යාය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේදී ද පැවැත්වේ. සවස 2.00 ට පැවැත්වෙන මෙම සැමරුමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ද සහභාගි වීමට නියමිතය.

ප්‍රගති බැංකු සේවක සංගමය නව නගර ශාලාවේදී ද, නිදහස් වෙළෙඳ කලාප, ලංකා බැංකු සේවක සංගමය කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය දක්වා පැමිණේ.

වතුකරයේ ප්‍රබල වෘත්තීය සමිති දෙකක් වන ලංකා කම්කරු කොංග්‍රසය හා කම්කරු ජනතා සංගමය ප්‍රධාන මැයි රැලි නොපවත්වා ප්‍රාදේශීය මට්ටමින් මැයි රැලි මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, කම්කරු ජනතා සංගමයේ භාණ්ඩාගාරික හිටපු පළාත් සභා මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු පිරිසක් සහාගි වීමට නියමිතය.
චමින්ද සිල්වා – ප්‍රදීප් සමරකෝන්, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා සහ සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment