දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සැමට යුක්තිය ඉටු කරනවා

113

“පළිගැනීම්වලට ලක්වූ අයට අපේ ආණ්ඩුවක් යටතේ පළමු මාස හය තුළ සැබෑ සාධාරණයක් ඉටුකිරීමට මා ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කරනවා” යැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය පක්‍ෂයේ නායක විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යි. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පිරිස කැඳවා ජාඇල ගුරුගේ නේචර් පාක් ප්‍රධාන ශාලවේ පැවති රැස්වීමක් අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපේ ආණ්ඩුවක් යටතේ පළිගැනීම්වලට ලක්වූවන්ට මහ පාරේ කෑගහලා අපට සාධාරණයක් වුණා කියලා කියන්න පුළුවන් ආකාරයේ සර්ව සාධාරණයක් අපි ඉටු කරනවා. අපි ඒ සහන පළිගැනීම්වලට ලක්වූ සියලු දෙනාට ඉටු කරන්නේ අපේ ආණ්ඩුවේ පළමු මාස හය තුළයි. සමහර ආණ්ඩු වගේ අවසන් කාලයේ නොවෙයි. දශක ගණනාවක් පළිගැනීම්වලට ලක්වූ අයව දුර පළාත්වලට මාරු කරලා තියෙනවා. එයාලගේ පවුල් සම්බන්ධතා නැතිවෙලා ගිහින්. ඊට අනිවාර්යෙන්ම සාධාරණයක් ඉටුකිරීම අපේ විශාල වගකීමක්” යැයි පැවසීය. සමගි ජන බලවේගයේ පළිගැනීම් කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය රන්ජිත් අලුවිහාරේ මහතා සහ ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර එහිදී අදහස් දැක්වූ දේශපාලන පළිගැනීම් විමර්ශන කමිටුවේ උප සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් නායක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා,

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතා මගේ හොඳ මිත්‍රයෙක්. එතුමා දුප්පත් මහජනතාව නඟාසිටුවීමට විශාල සේවයක් කළා. අපි අතර විශාල සම්බන්ධයක්, මිත්‍රත්වයක් තිබුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සමග අපි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා ජනතා ආණ්ඩුවක් පිහිටුවා අසාධාරණයට ලක්වූ සෑම කෙනකුටම සාධාරණයක් ඉටු කරනවා. තම පියා මෙන්ම පොදු ජනතාවට, දුප්පත් මිනිසාගේ ජීවිත සුබ සිද්ධියට කැපවන පරමාදර්ශී නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන සටනට කෙතරම් බාධා ආවද එතුමා ඒ කිසිවකට නොසැලී කැපවීම දේශයේ වාසනාවක්” යැයිද පැවසීය. මෙම උත්සවයට සමාගාමීව දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවක් විවෘත කිරීමද, විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ගුරුගේ නේචර් පාක්හිදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාඇල සමගි ජන බලවේග පක්‍ෂයේ සංවිධායක නීතිවේදී ශිරන්ත අමරසේකර මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ විශාල පිරිසක් සහභාගි වූහ.

කඳාන – රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment